Print this Article


සතුට ලැබෙනුයේ තණ්හාවේ දාසයකු නොවන තරමටයි

සතුට ලැබෙනුයේ තණ්හාවේ දාසයකු නොවන තරමටයි

“සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඨයේ අදහස “සතුට සියලු ධන සම්පත් අතර උතුම්ම ධනය” වන බවයි. අද සමාජය තුළ ජීවත් වන බොහෝ දෙනෙකුගේ ජීවිත දෙස බැලීමේ දී පෙනී යනුයේ ඔවුන් භෞතික සම්පත් අතින්, තනතුරු නම්බුනාම ආදියෙන් ආඪ්‍ය වූව ද, පරිපූර්ණ වුව ද සතුට නම් වූ සංකල්පය ඔවුන්ගේ ජීවිත තුළින් බොහෝ දුරට ඈත්ව ඇති බවකි.

එයට හේතුව “සතුට” යනු කුමක්දැයි බොහෝ දෙනා හරි හැටි හඳුනා නොගැනීම ය. මේ ලිපියෙන් කෙරෙනුයේ බුදු දහමට අනුව “සතුට” යනු කුමක් දැයි පැහැදිලි කිරීමට උත්සාහ කිරීමකි.

“සන්තුට්ඨස්සානං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස” මේ ධර්මය සතුටින් සොම්නසින් ජීවත් වෙන්නට බලාපොරොත්තු වන අයටයි. අසතුටින්, කනගාටුවෙන් ජීවත් වන අයට නොවේ“ යන ප්‍රකාශයෙන් ධර්මය හා සතුට අතර ඉතා සමීප සබඳතාවක් පවතින බව පෙනේ. බුදු දහමට අනුව වීර්යවන්ත ව, උත්සාහයෙන්, ධාර්මික ව ධන ධාන්‍ය හරි හම්බ කර ගන්නට කිසිදු බාධාවක් නොමැත. (උට්ඨාන වීරියාධිගතා, බාහාබල පරිචිතා, ධම්මිකා ධම්ම ලද්දා) එසේ හරි හම්බ කරගත් යමක් තමා සන්තකව තිබීම නිසා ඇති වන සතුට අත්ථි සුඛය බව බුදු දහමේ සඳහන් වේ.

එසේ ම ඒ උපයා ගත් ධනය නිවැරැදිව පරිභෝග කිරීම නිසා ඇති වන සතුට භෝග සුඛ ලෙසත්, ණය නැතිකම නිසා ඇති වන සතුට අනණ සුඛ ලෙස ද, ධාර්මික වූ නිවැරැදි ජීවිතයක් ගත කිරීම නිසා ඇතිවන සතුට අනවජ්ජ සුඛ ලෙස ද දහමේ පෙන්වා දේ. මෙහිදී අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තියනවා. යම් අයෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා, ගොඩක් ලැබුණත් ටිකක් ලැබුණත් ඒ ලැබෙන තරමින් සෑහීමට සතතුටට පත් වෙන්න පුළුවන් නම් ඒක ඉතා උසස් ගුණාංගයක්. ඒ උතුම් ගුණාංගය ධර්මයේ හඳුන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න ඉගන ගත්තොත් හැමදා ම සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. “සන්තුස්සකෝච” යන කරණීය මෙත්ත සූත්‍රයේ එන දහම් පාඨයෙන් ද අවධාරණය වන්නේ එයයි. එහෙත් ඇතැම් උදවිය ඉන්නවා කොච්චර ලැබුණත් මදි, ඇතිවීමක් නැහැ. තියෙන දේ ගැන හිතලා සතුටු නොවී “අරක නෑ, මේක නෑ” යැයි හිත හිතා දුක් වෙනවා. ලැබුණු දෙයින් ඉන්න තැන ඉඳගෙන සතුටු වෙන්න අපි ඉගෙන ගෙන නෑ. මේ ගැන පැහැදිලි කෙරෙන ලස්සන කතාවක් තිබෙනවා.

කීර්තිමත් ව්‍යාපාරික පාසලක මහාචාර්යවරයෙක් නිවාඩුවක් ගත කිරීම සඳහා දිනක් ධීවර ගම්මානයකට ගියා. එහිදී මහාචාර්යවරයා දැක්කා මාළු අල්ලන ධීවරයෙක් ව. මෙයාට හිතුණා ධීවරයට නොමිලේ උපදේශයක් දෙන්න ඕන කියලා. ඔහු ධීවරයාගෙන් මෙහෙම ඇහුවා.”

මොකද ඔබ උදෙන් ම වැඩ අවසන් කළේ? එතකොට ධීවරයා උත්තර දෙනවා” අනේ මහත්තයා, මේ අල්ලපු මාළු ටික මට හොඳටම ප්‍රමාණවත්. මේකෙන් කොටසක් විකුණලා මුදලුත් අරගෙන අනිත් කොටස ගෙදර අරන් ගිහින් උයලා දරුවනුත් එක්ක භුක්ති විඳිනවා. හවස දරුවොත් එක්ක ක්‍රීඩා කරනවා. රාත්‍රියේ යහළුවොත් එක්ක ගිටාර් වාදනය කරමින් සතුටු වෙනවා. ඒ නිසා මහත්තයා මට සතුටින් ඉන්න මේ අල්ලපු මාළු ටික හොඳට ම ඇති.” මෙය අසා සිටි මහාචාර්යවරයා ධීවරයාට මෙහෙම දේශනයක් දෙනවා.

“යාළුවා, ඔබ හවස්වනතුරු මුහුදේ සිටියොත් මේ වගේ දෙගුණයක් මාළු අල්ලගන්න පුළුවන්. ඒ අමතර මාළු විකුණගත්තම ඔබට මාස හයක දී බෝට්ටුවක් මිලදී ගන්න පුළුවන්. සේවකයන් යොදවා ඉන් වසරක දී ධීවර යාත්‍රාවක් ගත හැකියි. තවත් වසර හයක දී ඔබ යාත්‍රා හය හතක අයිතිකරුවෙක් වේවි. කෝටිපතියෙක් වේවි.”

මෙය අසා සිටි ධීවරයා මහාචාර්යවරයාගෙන් මෙහෙම ප්‍රශ්න කරනවා.

“මහත්මයාණනි, කෝටිපතියෙක් වුණාම මම මොනවද කරන්නේ?” මහාචාර්යවරයා “යාළුවේ කෝටිපතියෙක් වුණා ම ඔබට පුළුවන් නිදහසේ ඉන්න. මේ වගේ වැඩ කරන්න ඕන වෙන්නෑ. පුංචි බෝට්ටුවක් අරගෙන ලස්සන ධීවර ගමකට ඇවිල්ලා, මාළු ටිකක් අල්ලගෙන සතුටින් ගෙදර ගිහින් දරුවොත් එක්ක ආහාර ගන්න. සවස ටිකක් නිදාගන්න. මිතුරන් එක්ක හවසට සතුටු වෙන්න. බලන්න කෝටිපතියෙක් වුණාම සතුටින් ඉන්න ලැබෙන හැටි,

“මෙය අසා සිටි ධීවරයා “ඒ වුණත් මහාචාර්යතුමනි, කෝටිපතියෙක් නොවුණට ඔය කියපු ඔක්කොම මම දැනුත් කරනවනේ.”

සතුට සොයා ගන්නට පෙර බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කොට පොහොසත් වී සිටිය යුතු යැයි සිතීමට වඩා ඉන්න තැන සිට ලද දෙයින් සතුටු වන ආකාරය මෙම කතාවෙන් කියා දෙනවා. නමුත් අපි ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගෙන තියනවද? ඇත්තට ම නැහැ. අපට කොච්චර ලැබුණත් මදි. “ඌණො ලොකො අතිත්ථො තණ්හාදාසො ලෝකයා හැම තිස්සෙම ඉන්නේ අඩුවක් ඇතිවයි. මදියි මදියි කියනවා. අතිතේථා - අතෘප්ති කරයි. සෑහීමකට පත් වෙන් නෑ. තණ්හාදාසො තෘෂ්ණාව අපව දාසයන් බවට පත් කරලයි තියෙන්නේ. ඒක ඉතා භයානක කෙලෙස් මූලයක්.

ගින්නට කොච්චර දර දැම්මත් ඇති වීමක් නෑ වගේ තෘෂ්ණාවෙන් භරිත කාම භෝගීන් කහවණු වැස්සක් වැස්සත් සතුටු නොවන බව ධර්මයේ සඳහන්. ඒ නිසා අපත් තණ්හාදාසයන් බවට පත් වුණොත් අපටත් හැමදා ම ඉන්න වෙන්නේ අසතුටින්. අසහනයෙන්. අසහනය යන්න අද හැම තැනින් ම ඇසෙන වචනයක්. මොකක්ද අසහනය කියන්නේ? ආසා, බලාපොරොත්තුවල කෙළවරක් නෑ. නමුත් සිතන පතන දේ ඒ විදියට ම ලැබෙන්නේ නෑ. හිතුවට ගොඩක් ලැබේවි කියලා ලැබුණේ ටිකයි. බලාපොරොත්තු වූ දේයි, ලැබුණු දේයි අතර ලොකු පරතරයක් ඇති වෙනවා. අන්න ඒ පරතරයට තමයි අසහනය කියලා කියන්නේ.

ඒ නිසා අපි අනවශ්‍ය විදියට ප්‍රාර්ථනා, බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ. එහෙම තියාගත්තම ඒ බලාපොරොත්තු කඩ වෙනකොට හිතට දුකක් ඇති වෙනවා. සතුටක්, සහනයක් නෑ. ඒ නිසා නිතර ම අපි අපේ අවශ්‍යතා හඳුනාගන්න, ආසාවල් පාලනය කරගන්න උත්සාහ කරන්න ඕන. ආශා, බලාපොරොත්තු අඩු වුණාම, තමාව පහසුවෙන් පෝෂණය කළ හැකි සරල අයකු බවට පත් වුණාම ජීවිතය බොහෝම සැහැල්ලු වෙනවා. එයාගේ ජීවිතය කිසි කෙනකුට බරක් නැහැ. සන්තුෂ්ටියෙන් ම මනුෂ්‍ය ජීවිතය ගත කරන්න පුළුවන්.

සමහරු හිතනවා යාන වාහන, ගෙවල් දොරවල් මිල මුදල් වැනි භෞතික සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න සතුටත් වැඩි වේවි කියලා. එය සත්‍ය නම් පොහොසතුන් ළඟ දුක කනගාටුව තියෙන්න බෑ. ඇත්තට සතුට යන්න බාහිරව සම්බන්ධ වෙච්ච දෙයක් නො වෙයි. ඒක ආධ්‍යාත්මයට සම්බන්ධ වූ දෙයක්. ඒ බව අපට පුංචි නිදසුන් කතාවකින් දැන ගන්න පුළුවන්.

දැඩි සහෝදරත්වයෙන් කල් ගත කළ සොහොයුරන් දෙදෙනෙක් සිටියා. කලකදී මල්ලීට දරුණු අසනීපයක් හැදුණා. කිසි ම බෙහෙතකින් සුව කරන්න බැරි වුණා. නක්ෂත්‍රකරුවකු අයියට කීවා “සතුටින් ඉන්න කෙනකුගේ කමිසයක් ගෙනවිත් අන්දවන්න. රෝගය සුව වේවි” කියලා අයියා සතුටින් ඉන්න කෙනකුගේ කමිසයක් සොයා ගෙන ගියා. පොහොසතුන් ළඟට. කුලවතුන් ළඟට, රූමත් අය ළඟට, අනේ කිසි කෙනෙක් සතුටින් නැහැ. හැම දෙනා ම මොකක් හෝ අඩුවකින් පෙළුණා. අයියා වෙහෙසටත්, කලකිරීමටත් පත් වුණා. පෙරළා එන ගමනේ දී පාරේ කොනක වැතිරී සිටි යාචකයකු දුටුවා. කෝකටත් කියලා සිඟන්නා ළඟටත් ගිහින් ඔබ සතුටින් ද ඉන්නේ කියා ඇසුවා. සිඟන්නා කීවා “ඔව් මම ඉන්නේ හරිම සතුටින්.” කාරණය පැහැදිලි කළ අයියා ඉක්මනින් ළඟ තියෙන කමිසයක් ලබා දෙන ලෙස කීවා. නමුත් සිඟන්නා කියනවා “ආයුබෝවන්ඩ මට ඔබට දෙන්න කමිසයක් කොහෙන්ද? මම ජීවිතේට ම කමිසයක් ඇඳලා නෑ” කියලා මෙයින් අපට පෙනෙනුයේ “සතුට” බාහිරට සම්බන්ධ වූවක් නොව ආධ්‍යාත්මය හා බැඳී පවතින්නක් බවයි.

කෙනකුගේ සතුට නැති වෙන්න බලපාන තවත් කාරණයක් තමයි අභිධ්‍යාව. අනුන්ගේ වස්තුව ඉවසන්න බැරිකම. අසල්වැසි ළමයෙක් ඉගෙන ගන්න කොට, කෙනකුට රැකියාවක් ලැබෙන කොට, කෙනෙක් ගෙයක් දොරක් හදා ගන්න කොට සමහර අය ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා අපි අන් සැපතට ඊර්ෂ්‍යා නොකර මුදිතාව පුරුදු කරගන්න මහන්සි වෙන්න ඕන.

ඒ නිසා ඔබත් ඉන්ද්‍රිය පාලනය, යථාලාභ සන්තෝෂය, සුභරතාව, ධර්මානුකූල ජීවිතය වැනි ගුණාංගයන් පුරුදු කොට සතුටින් සිටින්නට උත්සාහ කරන්න.