Print this Article


ශ්‍රී සද්ධර්මය නිවැරැදිව විමසා ජීවිතයට ප්‍රායෝගික කර ගන්න

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව විමසා ජීවිතයට ප්‍රායෝගික කර ගන්න

සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට දෙව් මිනිසුන් ට ධර්මය දේශනා කොට, ධර්මය තුළ විශාරදභාවයට පැමිණීමෙනි. බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණි සච්චක ආදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජක පිරිස්, වාද නොකරම බුදුරජාණන් වහන්සේ සරණ ගියහ.

සමහර පිරිස් වාදයට පැමිණියේ කල්තබා ම ප්‍රශ්න සකස් කර ගෙන ය. නිගණ්ඨනාථපුත්තගේ පෙළඹවීම මත බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණි අභයරාජ කුමාරයා අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයකු බවට පත් විය. (අභය රාජ කුමාර සූත්‍රය ම.නි.2)

එමෙන් ම නාලන්දාවේ වාසය කළ නිගණ්ඨනාථපුත්තගේ අග්‍ර දායකයෙක් වූ උපාලි ගෘහපතිතුමා, බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණියේ ද නිගණ්ඨනාථපුත්තගේ අනුදැනුම ඇති වය. විවිධ විසිතුරු උපමා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ විට අතිශයින් පැහැදුණ උපාලි ගෘහපතිතුමා අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් විය. (උපාලි සූත්‍රය ම.නි. 2)

තම මිය ගිය පුතු නිසා උමතුභාවයට පත් වූ කිසාගෝතමියට, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ ඉතා සරල ප්‍රායෝගික ක්‍රියාකාරකමක් උපකාරයෙනි. එම කරුණු එතුමියට මුළුමනින් ම සසරින් නිදහස් වීමට හේතු විය.

බුදුරජාණන් වහන්සේගේ අපරිමිත අවබෝධයට අභියෝග කළ හැකි කිසිවකු මිනිසුන් අතර, පමණක් නොව දෙවියන්, මරුන් අතර ද නැත. එම අපරිමිත අවබෝධය අප නිතර සජ්ඣායනා කරන “ඉතිපි සෝ භගවා අරහං.........” ආදී පාඨයෙන් ගුණ පද නවයක් ඔස්සේ පැහැදිලි කර ඇත.

අතීතයේ විසූ ධර්මධර පඬිවරුන් මේ එකම එක ගුණ පදයක් මුල්කොට ගනිමින් පූජාවලිය, බුත්සරණ ආදී සාහිත්‍ය ග්‍රන්ථ නිර්මාණය කළේ බුදු ගුණ අපරිමිත වන බැවිනි.

ඒ සැම ගත් කතුවරයකු ම, ආරම්භයේ දී ම ප්‍රකාශ කළේ බුදු ගුණ කියා හෝ ලියා අවසන් කළ නොහැකි බවයි.

මෙම බුදුගුණ පාඨයට අමතර ව බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී අවබෝධය පිළිබඳ සඳහන් වන සූත්‍ර දේශනා රාශියක් ඇත. සත්‍ය වශයෙන් ම මුළු ත්‍රිපිටකය ම බුදුරජාණන් වන්සේගේ අප්‍රමාණ වූ අවබෝධය පෙන්වා දෙන කැඩපතක් වැනි ය. එසේ වුවත් මහා සීහනාද සූත්‍රය, වේසාරජ්ජ සූත්‍රය, මිගසාලා සූත්‍රය, පුරිසින්ද්‍රියඤාණ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල අවබෝධයෙහි විශේෂ වූ කරුණු රාශියක් පැහැදිලි කර ඇත. මේ අතරින් වේසාරජ්ජ සූත්‍රයෙහි ( අංගුත්තර නිකාය - 2) බුදුරජාණන් වහන්සේගේ විශාරද ඤාණ සතරක් පිළිබඳ විස්තර සඳහන් වේ. යම් විශාරද බවකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ ද, පිරිස් මැද සිංහනාද කරන්නේ ද, උතුම් ධර්මචක්‍රය පවත්වන්නේ ද එබඳු වූ විශාරද ඤාණ හතරකින් සමන්විත වේ.

තථාගතයන් වහන්සේ, තමන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි ලොවට ප්‍රකාශ කරන විට, මේ මේ කරුණුවලින් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නොවේ යැයි කියා හේතු සහිත ව, කරුණු සහිත ව චෝදනා කළ හැකි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ වෙනත් කිසිවෙක් හෝ කිසිදු ලෝකයක නැත. එවැනි කිසිවකුත් නො දකින මම උවදුරු නැති බවට පත්වූයෙමි. (ඛේමප්පත්තෝ) බිය රහිත බවට පත් වූයෙමි. (අභයප්පත්තෝ) විශාරද බවට පත්වූයෙම් ( වේසාරජ්ජප්පත්තෝ) මේ පළමු විශාරද ඤාණයයි.

සම්මා සම්බුද්ධ යනු, වෙනත් කිසිවකුගේ උපකාරයක් නැතිව තමන් වහන්සේගේ නුවණින් ම අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළ බවයි. මෙය චතුරාර්ය සත්‍ය අවබෝධය ලෙස හඳුන්වයි. ආර්ය සත්‍ය සතරක් වශයෙන් හඳුන්වා දෙනු ලැබුවත්, උපන්නා වූ සියලු සත්වයන්ට පොදු ධර්මතාවක් වන “දුක” අවබෝධ කිරීම ආර්ය සත්‍ය අවබෝධය යි. සියලු සත්වයන් මරණයට පත්වෙමින් නැවත නැවත ඉපදෙමින් යන සංසාර ගමන දුක වේ. එයට හේතුව වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස (සිත) යන ආයතන පරිහරණය කිරීමේ දී අනිත්‍ය බව නො දැන ආශාවෙන් (තණ්හා) පරිහරණය කිරීමයි. එම නිසා සියල්ලෙහි මූලික පදනම වන අනිත්‍ය බව අවබෝධ කළා නම් සියල්ල අවබෝධ වූවා වේ.

භාග්‍යවතුන් වහන්සේ මේ අනිත්‍ය බව, කිසිවකුගේ උපකාරයක් නැතිව ම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ බවට ප්‍රතිඥා දුන් සේක. එනිසා ම දම්සක් පැවතුම් සූත්‍රයෙහි ‘පෙර නො ඇසූ දහමක් පිළිබඳ දහම් ඇස පහළ විය” යනුවෙන් වදාළ සේක.

විවිධ තපස් රකිමින් වෘත සමාදානයෙන් දුකින් මිදීමට උත්සාහ කළ එකල කිසිවකුටත් මෙම අනිත්‍ය දර්ශනය පිළිබඳ අවබෝධය ලැබීමට නො හැකි විය. සියල්ලෙහි පදනම වන අනිත්‍ය බව පිළිබඳ සියලු ආකාරයෙන් ලත් අවබෝධය නිසාම, ඕනෑම කෙනකුගේ වාද විවාද, ප්‍රශ්න ගැටලුවලට නොපැකිළ පිළිතුරු ලබා දීමේ හැකියාව බුදුරජාණන් වහන්සේ සතු විය.

බුදුරජාණන් වහන්සේ, සියලුම ආස්‍රව ප්‍රහාණය කරන ලදියි කියා ලොවට ප්‍රකාශ කරන විට, මේ මේ ආස්‍රව මුළුමනින් ම ප්‍රහාණය වී නැතැයි කියා හේතු සහිත ව කරුණු සහිත ව චෝදනා කළ හැකි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ වෙනත් කිසිවෙක් කිසිදු තැනක නැත. එවැනි කිසිවෙකුත් නැති බව දකින මම උවදුරු නැති බවට පත්වූයෙමි. බිය රහිත බවට පත්වූ යෙමි. විශාරද බවට පත්වූයෙමි. මේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි විශාරද ඤාණයයි.

සසර පුරාවට, රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් ප්‍රවාහය වේගයෙන් තමා දෙසට ම ගලා එන බැවින් ආස්‍රව ලෙස හඳුන්වයි. පංචකාමයන් මුල්කොට ගත් කෙලෙස් (කාම ආස්‍රව) පැවැත්ම මුල් කොටගත් කෙලෙස් (භව ආස්‍රව) නොදැනීම (අනවබෝධය) මුල්කොට ගත් කෙලෙස් (අවිජ්ජාස්‍රව) වශයෙන් ආස්‍රව තුන් ආකාරයකි. ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගද සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන සුවපහසුව යන මේවාට සියලු සත්වයන් ආශා කරති.

පංචකාමයන්ට ඇති මෙම ආශාව පුද්ගලයා හා දැඩි ලෙස බැඳී ඇති බැවින් කාම ආස්‍රව ලෙස හඳුන්වයි. උපන්නා වූ සෑම සත්වයෙක් ම තම පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කරයි. ඒ ඒ තැන ඇලෙන ස්වභාවය සියලු සත්වයන් තුළ පොදු දුර්වලතාවකි.

මම, මගේ යන සංකල්පය මූලික කොට පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කිරීමෙන් බොහෝ කෙලෙස් ඇතිකර ගනී. ඒවා භව ආස්‍රව ලෙස හඳුන්වයි. අනිත්‍ය බව නොදැනීම හේතු කොට ඇතිවන සියලු කෙලෙස් අවිජ්ජා ආස්‍රව ලෙස හඳුන්වයි.

තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ ම මේ සියලු ආස්‍රව ක්ෂය කළහ. එම ආස්‍රව ක්ෂය වීම පිළිබඳ ඤාණය, ආසවක්ෂය ඤාණය ලෙස හඳුන්වයි.

සියලුම රහතන් වහන්සේ ද සියලු ආස්‍රව ක්ෂය කිරීමෙන් ලබන ආසවක්ෂය ඤාණයෙන් පරිපූර්ණ වෙති. සත්‍ය වශයෙන් ම අරිහත්වයට පත්වීම යනු ආස්‍රව ක්ෂය කිරීම යි. සියලු ආස්‍රව ක්ෂය කළ නිසා ම බුදුරජාණන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේ ද ලෝකයේ කිසිදු දෙයකට ඇලීම් ගැටීම් ඇතිකර නොගනිති. සියලු තැන්හි ස්ථිර පැවැත්ම නම් වූ මෙය බුදුරජාණන් වහන්සේගේ “තාදී” ගුණය ලෙස ද විස්තර වේ.

බුදුරජාණන් වහන්සේ යමක් නිවනට අන්තරායකර යැයි දේශනා කොට වදාළා නම්, ඒවා ඇසුරු කිරීම නිවනට අන්තරායකර නොවේ යැයි කියා ප්‍රකාශ කළ හැකි, ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ වෙනයම් අයෙක් හෝ ලෝකයේ කිසිදු තැනක නැත. එබඳු කිසිවකු ලොව නැති බව දකින මම උවදුරු නැති බවට පත් වූයෙමි. නිර්භය බවට පත්වූයෙමි. විශාරද බවට පත්වූයෙමි. මේ බුදුරජාණන් වහන්සේගේ තුන්වන විශාරද ඤාණය යි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටි” අරිට්ඨ” භික්ෂුව මෙම අදහස දැඩිව ගෙන සිටි අයෙකි. එබැවින් එහි වරද පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේ ‘අලගද්දූපම සූත්‍රය’ (ම.නි. -1) දේශනා කොට වදාළහ.

ආනන්තරීය පාප කර්ම පහ සහ නියත මිථ්‍යා දෘෂ්ටිය මුළුමනින් ම නිවනට අන්තරායකර වේ. එවැනි කිසිවකුට මේ ජීවිතය තුළ අවම වශයෙන් සෝතාපන්න ඵලයට හෝ පත් විය නොහැකි බව ‘සාමඤ්ඤඵල’ සූත්‍රයෙන් ඔප්පු වේ. පීතෘ ඝාතක අජාසත්ත රජුට, බුදුරජාණන් වහන්සේ පැවිද්දෙහි ආනිශංස දක්වමින් සාමඤ්ඤඵල සූත්‍රය දේශනා කළ ද, පීතෘ ඝාතක අකුසල කර්මය කළ බැවින් අවබෝධ කළ නොහැකි වූ බව දේශනාවේ සඳහන් වේ.

එසේම ආර්යය උපවාදය ද නිවනට අන්තරායකර වේ. නමුත් උපවාදය ලත් කෙනාගෙන් සමාව ගැනීමෙන් උපවාදයෙන් මිදිය හැකි බව අටුවාහි සඳහන් වේ.

භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ශික්ෂා පද දැන දැන චේතනාත්මක ව කඩ කිරීමෙන් සද්ධාවට හානි සිදුකර ගන්නා බැවින් එය ද නිවනට අන්තරායකර බව සඳහන් කළ හැකි ය. එසේම භවයට ඇලුම් කරන සමහර පුද්ගලයන් පින් රැස් කරමින් දෙව්ලොව උපත ප්‍රාර්ථනා කරයි. නැවත උපත ලැබීම දුකක් බව වටහා නොගත් ඔවුනට, දෙව්ලොව උපත ප්‍රාර්ථනා කිරීම ද නිවනට අන්තරායකර වේ.

බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධය පිණිස ධර්මය දේශනා කරන කල්හි, ඒ ධර්මය පරිපූර්ණ වශයෙන් පුරුදු පුහුණු කළත් නිවන් අවබෝධ කළ නොහැකි ය කියා හේතු සහිත ව, කරුණු සහිත ව චෝදනා කළ හැකි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ වෙන කිසිවෙකුත් හෝ නැත. එබඳු කිසිවකු ලොව නැති බව දන්නා මම උවදුරු රහිත බවට පත්වූයෙමි. බිය රහිත බවට පත්වූයෙමි. විශාරද බවට පත්වූයෙමි. යන මෙය බුදුරජාණන් වහන්සේගේ සිවුවන විශාරද ඤාණයයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මුළුමනින් ම ප්‍රායෝගික ප්‍රතිපදාවකි. එය ඕනෑම තරාතිරමක අයකුට පහසුවෙන් තම ජීවිතයට ගළපාගත හැකි බව, එකල සිටි ශ්‍රාවක පිරිස් පිළිබඳ විමසා බැලීමෙන් තේරුම් ගත හැකි ය. පසුකාලීන ව ධර්මය විෂයානුබද්ධ ඉගෙනීමක් බවට පත්වූ නිසා ම, ප්‍රායෝගික භාවිතයෙන් බැහැරව වාද – විවාද ඇති විය. නමුත් නිවැරැදිව විමසා බලන ඕනෑම අයකුට ඕනෑම කාලයක දී ඒ ධර්මය තම ජීවිතයට ඉතා පහසුවෙන් ගළපාගෙන සාර්ථක ජීවිතයක් සකස් කර ගත හැකි ය.