Print this Article


පහන් සිතක කවි

කම් පල

අහසේ හිටියත් කම් පල දෙනවා
උස්මිටිකම් එහෙ නෑ
පොළොවේ හිටියත් ගුටිබැට දෙනවා
කුල මල කිසිවක් නෑ
මුහුදේ හිටියත් පස්සෙන් එනවා
අල්ලස් ගන්නෙ ම නෑ
ජීවිත ගමනේ සසර දනව්වේ
පිහිටට කවුරුත් නෑ

****

යාචකයෝ

ටින් කබලක්
අතට ගෙන
මුදල් – අහර
යදින යාචකයෝ

පවක මහත
කියා දෙනවදෝ
පෙර ආත්මවල
දන් නුදුන් හැටි
කියා දෙනවදෝ
විටෙක
බණ – පොත් බලනවිට
මගේ සිතට එලෙස
බණ පද ගලා එන්නේ

****

නිම් නැති ගුණ කඳ

ඉපදී රුහුණු ගම් පියසේ ‘කුඹුක් වැවේ’
සසුනට පිවිස විඳ ගැනුමට දහම් සුවේ
ගම – රට නගන්නට ඉටු කළ මහ සේවේ
නා සමිඳුනේ අප මතකෙන් බැහැර නොවේ

කීමට බැරි තරම් නිම් නැති ගුණ සමුදා
මතකේ රැඳෙනු නිසැක ය අප ළඟ සැමදා
පිරු දම් බෙලෙන් පව්කම් සතුරන් පරදා
නිවනින් නිවේවා! අප නාහිමි සමිඳා

රන්වන් සිවුර ගත වට කර ඔතාගෙන
පින්බර සිනාවෙන් මුව – කට පුරෝගෙන
පන්සල් බිමට අප එන විට දයාවෙන
ඉන්නේ නැතිද නා සමිඳේ බලාගෙන

ධාතු මැදුර බෝ හිමි වැඩ හිඳින තුරූ
දම් හල තුළින් සිල් සුවඳක් හමන තුරූ
උපතිස් දරු පැටව් රට බබළවන තුරූ
‘හෙම්සිරි නා සමිඳු’ නම බැබළේය සරූ

සතර පේරුවට පහදා හොඳ - නරක
රට දැය සමය වෙනුවෙන් කොට වැඩ නේක
මතු කොට අපේ නෙතු අග කඳුළක් සෝක
නාහිමි අපේ මොක් පුර වෙත වැඩි සේක

****

මගේ ගමන

බුදුරුවනට මල් පිදූ
කල වේ ය පින් සිදු
සසරේ දී පිරිසුදු
ජීවය ධර්මය ලදූ

බුදුහිමියන් උත්තම
ලොව ඇදි දම් සිත්තම
මා දහමින් ගත්තෙම
හිමි වැඩි මඟ උත්තම

තෙරුවන් සරණම යමි
දැහැමින් හරයම ගමි
කඩලා බව දුක් බැමි
සසරේ නිමි මග ගමි

****

පැතුම

ගෙවනා දින ගණන් නිම වන තුරු සසර
කරුණා ගුණය පැතිරූ සැම හට නිතර
තිබුණා දියුණුූ කර ගැනුමට මෙම වෙහෙර
දිලුණා හිමිගෙ උත්සාහය නිරන්තර

සිහිකර දිනක අද වැනි අප හිමි සඳුගේ
කෙරෙන පැතුම මෙය වෙයි අප සැමගේ
පළකර අප සැමගේ සංවේගය මෙලෙසේ
පතනෙමි වජිරකිත් හිමි නිවනට පැතු සේ