Print this Article


සීලය අවබෝධය තුළ සුරැකිය යුතු ය

සීලය අවබෝධය තුළ සුරැකිය යුතු ය

බුදුරජාණන් වහන්සේගේ බාහිර රූපකාය පිළිබඳ ඇලුණු වක්කලී තරුණයා පැවිදි වූයේ උන්වහන්සේගේ රූපශ්‍රීය දෙස නිතර බලා සිටින්නට ය. ඔහු පැවිදිව භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය දෙස බලා සිටී. වක්කලී භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු ශරීරය දෙස බලා සිටිනවාට වඩා පරමාර්ථ ධර්මය ම දකින ලෙස ය.

වර්තමානයේ අප අතරින් බොහෝ පිරිසක් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට වඩා බුදුරජාණන් වහන්සේ විසින් මහත් සේ ප්‍රශංසා නො කරන ලද ආමිසයෙහි නියුක්තව සිටිති. ආමිස පූජාව නොකළ යුතු ය, යන්න මින් අදහස් නොවේ. ශ්‍රද්ධාව පහළ කර ගැනීම පිණිසත්, පස්පව්, දස අකුසල්වලින් ඈත්ව සීල, සමාධි, ප්‍රඥා මඟට යොමුවීමේ පළමු පියවර සේ ම, පිළිවෙත් මාර්ගය පිරිසුදු කර ගැනීමටත්, තම සිත උනන්දු කර ගැනීම පිණිසත් මල්, පහන් පූජා කිරීම්, සජ්ඣායනා ආදී පූජා පැවැත්වීම කළ යුතු වේ.

එනමුත් බොහෝ පිරිසක් එම ආමිස පූජාවෙහි ම නතර වී සිටිනවා විනා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සසර දුකෙන් නිදහස්වීම නම් වූ මඟට උපකාර වන විදර්ශනා මඟ පුරුදු පුහුණු කිරීම අල්ප ය. විදර්ශනා මඟට පැමිණි බව පවසන පිරිස් ද නියමාකාරයෙන් ඒ මඟට සකස් වී නොමැති බව වැටහෙන්නේ කණ්ඩායම්වලට බෙදෙමින් ලෞකික අරමුණුවලට වක්‍රාකාරයෙන් යොමු වී කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බැවිනි.

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු, භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසට ම රූපාදී අරමුණු, කෙලෙස් ඉපදීම පිණිස හේතුවන නිමිති නොගෙන, තම ආධ්‍යාත්මයෙහි කෙලෙස් සන්සිඳෙන ඵල සමාපත්තිය පිණිස වාසය කිරීම පිණිසම දහම් දෙසන ලදහ. මේ බව මැනවින් අවබෝධ කර ගන්නා වූ ගිහි වූ ද, පැවිදි වූ ද ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් පළමුව මනාකොට කායික, වාචසික හික්මීම නම් වූ සීලයෙහි පිහිටීම අත්‍යවශ්‍යය. එනම් කුඩා අණුකුඩා, වරදෙහි පවා අවබෝධයෙන් යුතුව බිය වී දැකිය යුතු බැවින් සීලයෙන් හික්මීමට පැමිණීම අවශ්‍යයයි.

“සෝණදණ්ඩ” සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ ප්‍රඥාව සීලයෙන් පිරිසුදු වන බව හා සීලය ප්‍රඥාවෙන් පිරිසුදු වන බවයි.

මේ නිසා ම සම්බුදු සසුනට පැවිදි හෝ උපාසක ස්වභාවයෙන් පැමිණෙන සෑම අයෙක් ම මනාකොට සිල් ඇත්තෙක්වීම අවශ්‍යයයි සිත, කය, වචනය නම් වූ තිදොරින් අසංවර ව “චාරිත්‍ර වාරිත්‍ර” වලට පමණක් පුරුදු වී සිටින පිරිසකට හැබෑවට ම බුදුරජාණන් වහන්සේට ගෞරව කළ නොහැකි ය. සිරිත් - විරිත් වුව ද සීලයක් සේ අවබෝධයෙන් පවත්වන්නේ නම්, එය යහපත් ය. එහෙත් වර්තමානයේ බොහෝ “සිරිත් විරිත්”වල පවතින්නේ ද ඇලීම් සහ ගැටීම් ය.

බුදුරජාණන් වහන්සේට සැබෑ ආකාරයෙන් ම සිදු කරන පූජාව නම් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමමයි. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බැහැර කරමින් සප්ත බෝධි අංග වැඩෙන මඟ අනුගමනය කිරීම අවශ්‍යයයි. එසේ නොමැතිව දැඩි මසුරුමලින් ද, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ද, අකෘතඥ බවින් ද, තම වැරැදි සඟවා අන් අයගේ වැරැදි දැකගනිමින් ද, තමා උසස් කොට හුවා දක්වමින් අන් අය පහත්කොට දක්වමින් ද ආදී ලෙසින් ජීවිත පවත්වන්නෝ සැබෑ ලෙස ධර්මය නොදකින්නෝ ය.

මුලින් ම තමා තමාට කල්‍යාණවන්තයෙක් විය යුතු වේ. එනම් තමා තමා විසින් ම අත්හැරීමෙනි. මෙහි දී තමා අපිරිසුදුව සිටීම හෝ තම ශරීරය නීරෝගිව පවත්වා නොගැනීම හෝ ලෞකික වශයෙන් ඉගෙනීම, රැකියා වෘත්තිය, ගේ - දොර පවත්වා නොගැනීම මින් අදහස් නොකෙරේ.

එයින් අදහස් කෙරෙන්නේ සීලයෙහි පිහිටා ඒ සියල්ලම දැහැමි ව අවශ්‍ය ආකාරයෙන් කළ යුතු බව ය. එනමුත් මේ ස්කන්ධ පඤ්චකය නම් වූ “මම” අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ

ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවට සිත පුරුදු කොට තමා කෙරෙන් හෝ බාහිර ආරම්මණ නිසා හෝ උපාදානයන් සකස් නොවිය යුත්තේ ය. සම්මුතියෙහි ‘මම’ පැවැත්වූවත් පරම සත්‍යයෙන් ‘මම’ යැයි ස්ථිර වූ යමෙක් හෝ යමක් නැති බව බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයෙහි පවත්වාගෙන ම ධර්ම මනසිකාරය කළ යුතු වන්නේ ය. මෙහිදී ‘තමා අත්හැරීම්’ වැටහෙන්නට පටන් ගන්නේ ය. එනම්, අවබෝධයෙන් ම පස්පව්, දස අකුසල් හි සිත, කය, වචනය නතු නොවීමෙනි. සම්මතයෙහි කොපමණ පි‍්‍රය යමෙක් හෝ යමක් වුව ද උපාදානය නොකර ගනී. යම් වූ ද අකැමැති හෝ අභූත අරමුණක් කෙරේ වුව ද ගැටීමක් නම් ඇති නොවේ. ජීවිතයේ වැඩිපුර ම කාලයක් බාහිර පුද පූජාවන් සමඟ රැඳුනු අයකුට හැබෑම බුද්ධ පූජාව කුමක් දැයි අවබෝධ කොට ගත යුතු වන්නේ ය.