Print this Article


සම්බුදු සසුනේ පිහිට ලබන්නට නම්...

සම්බුදු සසුනේ පිහිට ලබන්නට නම්...

හුදෙකලා බවට පුරුදු නැති කෙනා නිතර සිතන්නේ යාලුවෙක් දැන් ආවා නම් හොඳයි. අද නෑදෑයෝ අවා නම් හරි. අද මේ අය ළඟට යන්න ඕන යනුවෙන් තමයි. එකතු වෙලා හිනාවෙවී ඕපාදූප කියවන්න කැමැති අයට මේ දහමේ නියම උරුමක්කරුවෝ වෙන්න බෑ. සම්බුදු දහම පටන්ගත් වීර්යය ඇති අයටයි, කුසීත පුද්ගලයාට නෙමෙයි

මේ කාලය වනවිට අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ භග්ග ජනපදයේ සුංසුමාරගිරි කියන නගරය අසල වූ බේසකලා වනයේ. බේසකලා වනයට නැඟෙනහිරින් වුණ චේතී කියන ජනපදයේ තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ කාලයේ දී වැඩසිටියේ.

දිනක් බණ භාවනා සිදු කරගෙන වැඩසිටිය අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිතට අදහස් කීපයක් ඇති වුණා. මේ සිතිවිලි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැක බලවත් පුරුෂයෙක් දික්කල අතක් හකුලුවන්නේ යම් සේද එලෙස සුංසුමාරගිරියේ බේසකලා වනයෙන් නො පෙනී ගොස් චේතී ජනපදයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අසලින් පහළ වුණා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉතා ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පිළියෙළ කරනවා.

පැනවූ අසුනේ වැඩහුන් තථාගතයාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වදාළා. “සාධු! සාධු! අනුරුද්ධ, මීට මොහොතකට කලින් ඔබේ සිතේ පහළ වු මහා පුරුෂ විතර්ක සත ඉතා අගනේ ය. අනුරුද්ධය එසේ නම් මේ අටවන මහා පුරුෂ විතර්කයත් මෙනෙහි කරන්න. මේ දහම තියෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි අලුනු තැනැත්තාට ය, කෙලෙස් ඇතිවන අයුරින් ප්‍රපංචයන්හි ඇලුණු තැනැත්තාට නොවේ” කියලා.

පසුව තථාගතයාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ අෂ්ඨ මහා පුරුෂ විතර්කයන් පිළිබඳ අපූරු අනුශාසනාවක් සිදුකර හැකිලූ අතක් දිග හරින්නේ යම් සේක් ද, එසෙයින් ම චේති ජනපදයෙහි පාචීනවංසයෙන් නො පෙනී ගොස් භග්ග ජනපදයේ බේසකලා වනයේ පහළ වෙලා පැන වූ අසුනේ වැඩ සිට භික්ෂූන් වහන්සේට මතක් කරනවා “පින්වත් මහණෙනි, මා ඔබට අෂ්ට මහා පුරුෂ විතර්කයන් දේශනා කරනවා මැනවින් අසා මෙනෙහි කරන්න” කියලා.

1- මහණෙනි, මේ දහම තියෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය. ලාමක ආශාවෙන් යුතු පුද්ගලයන්ට නොවෙයි.

අල්පේච්ඡ කියලා කියන්නේ ආසාවන් අඩුවෙන් සරල ව ජීවත්වීමයි. යම් කෙනෙක් බොහෝම සරල චාම් දිවියක් ගෙවනවා, එයා නිතර හිතන්නේ මගේ මේ සරල ජීවිතය ගැන කාටවත් නො පෙනේවා කියලා. තමන් ගුණවත් ව ඉන්නවා. නමුත් තමන් ගුණවත් කියලා අනුන්ට හුවාදක්වන්න යන්නේ නෑ. ඒක අල්පේච්ඡකම. ඒවගේමයි ඔහු ලද දෙයින් සතුටු වෙනවා නමුත් ඒක ලෝකයාට පෙන්නන්න යන්නේ නෑ. ඔහු හුදෙකලාවේ වාසය කරනවා, හොඳීන් සිහිය පිහිටා ඉන්නවා, හොඳින් චිත්ත සමාධිය වඩනවා, තමන්ට හොඳට ධර්මය වැටහෙනවා, තමන් නිවන තුළ වාසය කරනවා නමුත් ඒ එකම ගුණයක්වත් අන් අයට කියන්න යන්නේ නෑ. දැන් හිතාගන්න පුලුවන් නේද මොකක්ද මේ අල්පේච්ඡකම කියන්නේ කියලා.

දැන් මේකේ අනිත් පැත්ත බලමු. ඒ තමා මහිච්ඡකම. ඒ කියන්නේ තමන්ගේ ගුණ මුලු ලෝකයාට ම කියනවා, පෙන්නනවා. බණ අහනවා. භාවනා කරනවා කියලා සියලු දෙනාට කියනවා. හුදෙකලාවේ හිටියත්, ලද දෙයින් සතුටු වුණත් ඒවා කරන්නේ ලෝකයාට පේන්න විතරයි. නිතරම තමන්ගේ ගුණ ලෝකයාට ප්‍රකට කරනවා. නමුත් මේ දහමේ සැබෑ උරුමක්කරුවා අල්පේච්ඡ පුද්ගලයා.

මහණෙනි, මාගේ මේ ධර්මය ලද දෙයින් සතුටු වන කෙනාටයි, ලද දෙයින් සතුටු වෙන්නේ නැති කෙනාට නෙමෙයි.

ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ නැතුව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑ. පිණ්ඩපාතේ වඩිනකොට මොන දේ ලැබුණත් ඒක වළඳන්න හයියක් ඕන. සමහර විට යොදුන් ගණන් පයින් ගොස් පොලුයි බතුයි විතරක් වෙන්න පුලුවන් ලැබෙන්නේ. ඒ ලැබෙන දේ වළඳලා සතුටු වෙන්න පුලුවන් වෙන්න ම ඕන. එලෙස ම චීවර, සේනාසන, ගිලන්පස යන මේ සෑම දෙයක් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු දේ දිහා බලා සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන.

මහණෙනි, මාගේ මේ දහම හුදෙකලා විවේකයෙන් වසන අයටයි, පිරිස සමඟ ඇලුණු අයට නෙමෙයි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තනි අඟකින් යුතු කඟවේනෙක් වගේ හුදෙකලාව වාසය කරන්න කියලා. එලෙස වාසය කරන හිමිනමක් අසලට කවුරුන් ගියත් ඒ අය හා නො ගැටී හුදෙකලාවේ ම ඉන්නට පුරුදු වෙන්න ඕන. මේ හුදෙකලා බවට පුරුදු නැති කෙනා නිතර සිතන්නේ යාලුවෙක් දැන් ආවා නම් හොඳයි. අද නෑදෑයෝ අවා නම් හරි. අද මේ අය ළඟට යන්න ඕන යනුවෙන් තමයි. එකතු වෙලා හිනාවෙවී ඕපාදූප කියවන්න කැමැති අයට මේ දහමේ නියම උරුමක්කරුවෝ වෙන්න බෑ.

මහණෙනි, මාගේ මේ දහම තියෙන්නේ පටන්ගත් වීර්යය ඇති අයටයි, කුසීත පුද්ගලයාට නෙමෙයි

පටන්ගත් වීර්යය කියන්නේ කෙනෙක්ගේ හිතේ කෙලෙස් හටගන්නකොට ම ඒවා ප්‍රහාණය කරන්න මහන්සි ගැනීමට. ඒවාගේම කුසල් උපදවාගන්න වීර්යය කිරීමට. කුසීත පුද්ගලයා කියලා කියන්නේ තමන්ගේ සිතේ ලෝභ දෝසාදී ක්ලේෂ ධර්මයන් ඇතිවෙනකොට ප්‍රහානය කරන්න මහන්සි ගන්නේ නැති කෙනාට. එතකොට මොකද වෙන්නේ අකුසල්වලින් සිත යට වෙලා යනවා. පසුව ඒ කෙලෙස් නැති කරන්න අධික වීර්යයක් කරන්න ඕන. අන්න ඒ නිසයි මේ දහම පටන්ගත් වීර්යය ඇති පුද්ගලයාටයි කියලා කිව්වේ.

මහණෙනි, මාගේ මේ දහම තියෙන්නේ එළඹසිටි සිහි ඇති පුද්ගලයාටයි, මුළාවුණු සිහි ඇති පුද්ගලයාට නෙමෙයි

එළඹසිටි සිහිය කියන්නේ සතර සතිපට්ඨානය තුළ ම වාසය කිරීම. අපට සිහිය තිබ්බොත් පමණයි අප වරදක් වුණොත් මේක වරදක් කියලා දකින්නේ. සිහි නැත්තම් ඒක දන්නෙත් නෑ. ඉතින් සිහිය තියන කෙනාටයි වැරැදි හදාගෙන ඉදිරියට යන්නන් පුලුවන්. සිහි නැත්තම් ධර්ම මාර්ගයේ තියා ගෙදර දොරේ එදිනෙදා වැඩවත් හරියට කරන්න බෑ.

මහණෙනි, මාගේ මේ දහම තියෙන්නේ සමාහිත සිත් ඇති අයටයි, එකඟ නොවූ සිත් ඇති අයට නෙමෙයි

සමාහිත බව කියන්නේ හිතේ තැන්පත් බවට. දැන් බණක් අහන්නත්, මෙවැනි ලිපි කියවන්නත් හිතේ තැන්පත් බව ඕනමයි නේද? බණ අහන වේලාවට නිවස ගැන හෝ කළයුතු වැඩ කල්පනා කර කර හිටියොත් අපි පරදිනවා. මොන පින්කම කරන්නත් සිත තැන්පත් වෙන්න ම ඕන. ඒ පුද්ගලයාටයි මේ ධර්මය.

මහණෙනි, මාගේ මේ දහම තියෙන්නේ නුවණැති අයටයි, මෝඩ අයට නෙමෙයි

දවසක් භාග්‍යවතුන් වහන්සේ මේ දහම සර්පයකුට උපමා කරනවා. සර්පයාගේ කොහෙන්ද අල්ලන්න ඕන. ඔලුව පැත්තෙන් නේද? එහෙම නැතුව වලිගය පැත්තෙන් අල්ලුවොත් සර්පයා පැන පැන දෂ්ඨ කරනවා. අන්න ඒ වගේ තමයි මෝඩ පුද්ගලයන් ධර්මය අල්ලන්නෙත්. වැරැදි පැත්තෙන් ධර්මය ඇල්ලුවහම ඒ ධර්මයෙන් ම යි ඔහු විනාශ වෙන්නේ. ඒකයි මේ දහමේ නියම උරුමක්කරුවා ප්‍රඥාවන්තයා කියලා කිව්වේ. ප්‍රඥාවන්තයා නුවණින් විමසනවා, නුවණින් කල්පනා කරනවා, නුවණින් මෙනෙහි කරමින් හරි වැරැද්ද තේරුම් ගන්නවා.

මහණෙනි, මාගේ මේ දහම තියෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි අලුනු තැනැත්තාටයි, කෙලෙස් ඇතිවන අයුරින් ප්‍රපංචයන්හි ඇලුණු තැනැත්තාට නොවේ.

ප්‍රපංච කියලා කියන්නේ කෙලෙස් ගැන හිත හිත ඉන්න එකට. ඔහේ නිකන් හිත හිත සිතිවිලිවලට ගලාගෙන ඒමට ඉඩදීලා මනෝ ලෝකවල ජීවත් වෙනවා. රූපයක් දැක්කත්, ශබ්දයක් ඇසුණත් ඒවා ගැන හිත හිත යනවා. කිසි පාලනයක් නෑ. ප්‍රපංචවලින් පංචනීවරණ තමා වැඩෙන්නේ. ප්‍රපංච රහිත නම් ඒ කිසිවක් නෑ. ආර්ය සත්‍යය හොඳීන් මෙනෙහි කරන්නට පුලුවන්කම ලැබෙනවා.

මේ ආකාරයට තථාගතයාණන් වහන්සේ විසින් මහා පුරුෂ විතර්ක අටක් භික්ෂූන් වහන්සේට දේශනා කරන්නට යෙදෙනවා. මේ දහමේ සැබෑ උරුමකරු ප්‍රඥාවන්තයෝ කියලා පැහැදිලියි.