Print this Article


චිත්තවේග පාලනයට බුදු දහමෙන් උපදෙස්

චිත්තවේග පාලනයට බුදු දහමෙන් උපදෙස්

චිත්තවේගය යනු මනසෙහි එක්තරා කලබලකාරී තත්ත්වයකි. එසේම යම් උත්තේජනයක් උදෙසා දැක්වූ බලවත් හදිසි අවිධිමත් ප්‍රතිචාර චිත්තවේග නම් වේ. පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව ඔහු තුළ ඇතිවන උත්තේජනයන් ප්‍රකාශයට පත්වීම චිත්තවේග නම් වේ. මීට අමතරව චිත්තවේග යනු මනසෙහි සමබරතාවය නැවතී ගොස් ආකූලතාවක් ඇතිවීමයි.

චිත්තවේග පිළිබඳ බෞද්ධ විග්‍රහය වන්නේ “සංජානානිති” අභිජානන්ති, අභිනන්දති, නිහිකන්දං, යන ක්‍රියාවලිය මඟින් සිදුවන කාර්යයන් වශයෙනි. මෙහිදී සංජානානි හෙවත් ඉන්ද්‍රිය අරමුණක් ලෙස යමක් හඳුනා ගැනීමෙන් අභිජානන්ති හෙවත් යමක් පිළිබඳ ඉන්ද්‍රිය ඥානය ලබා ගැනීමත් හේතුවෙන් යමක් පිළිබඳ ආශා කිරීම අභිනන්දති හෝ යමක් පිළිබඳ විරති “නභිනන්දති” චිත්තවේග ඇති කිරීමෙහිලා සමත් වේ.

චිත්තවේග සඳහා බුදු සමය ත්‍රිවිධ ව්‍යවහාරයක් දක්වනු ලැබේ. එහිදී ධනාත්මක චිත්තවේග සුඛ වේදනා වශයෙන් ද, සෘණාත්මක චිත්තවේග දුක්වේදනා වශයෙන් ද චිත්තවේගයන්හි ලෝකෝත්තර අවස්ථා අප්‍රකටව ම සුඛ වේදනා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේම ධනාත්මක චිත්තවේග සාමිස සුඛ වේදනා හා නිරාමිස සුඛ වේදනා වශයෙන් ද්විදය බුදු සමයේ චිත්තවේග පහළ වීම පියවර තුනක් යටතේ දක්වනු ලබයි.

1. අනුසය - චිත්තවේග නිදාගත් අවස්ථාව

2. පරියුත්තානං - චිත්තවේග හටගත් අවස්ථාව

3. විතික්කම - චිත්තවේග කායික හෝ මානසික අවස්ථාව

යනුවෙන් බුදු සමය ධනාත්මක චිත්තවේග කුසල සහගත චිත්තවේග, අකුසල සහගත චිත්තවේග වශයෙන් හඳුන්වනු ලැබේ.

අකුසල සහගත චිත්තවේගවලදී ත්‍රිවිධ අකුසල මූල අනුසය ධර්ම, පංචනීවරණ, සතර, අගති ආදියයි. කුසල සහගත චිත්තවේගවල දී දස අනුස්සති, දස කසින, අප්පමඤ්ඤ චතුබ්‍රහ්මවිහාර ආදිය පිළිබඳ සාකච්ඡා කෙරේ.

යම් චිත්තවේගයක් පහළ වීමෙන් අනතුරුව එය ප්‍රහාණය සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග නිවාරාත්මක ක්‍රියා මාර්ග වන අතර, යම් චිත්තවේගයක් පහළවීමට පෙර එය මැඬ පවත්වා ගැනීම ප්‍රතිකාරාත්මක වේ.

ප්‍රතිකාරාත්මක අකුසල සහගත චිත්තවේග පහළවීමෙන් පසු එය මැඬ පැවැත්වීමේ ක්‍රමවේදයක් ඇත. එනම්,

දස්සනා - ගැටලුව හඳුනා ගැනීම, බල පෑ හේතු, සංවර - ඉන්ද්‍රියයන් හය මනාව පවත්වාගෙන යාම, පට්සේවන - තමන් සතු දේ තෘප්තියෙන් යුතුව භාවිත කිරීම, අධිවාසනා - අසතුටුදායක තත්ත්වයක් ඉවසා සිටීම, පරිවජ්ජතා - අතීතයට මුල් වූ හේතු, විනෝදතා - චිත්තාපර තර්කනය මඟින් ඉවත් කිරීම, භාවනා - මනස පුහුණු කිරීම යනුවෙනි.

චිත්තවේග කළමනාකරණය

තමන් තුල කළකිරීම්, ඉච්ඡා භංගත්වයන්, අපහසුතා හැඟීම් හා මානසික ආතතීන් ආදිය පලවා හරිමින් තමන් සහනශීලී වීමේ හැකියාව මින් අදහස් කරයි. සැකෙවින් දක්වන්නේ නම්, තමාගේ චිත්තවේග මනාලෙස හසුරුවා ගැනීමේ හැකියාව ගම්‍ය වේ. චිත්තවේග කළමනාකරණය පිළිබඳ හැකියා පරීක්ෂා කළ හැකි කුසලතා දර්ශන කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

ඔබ තුළ කායික උද්වේගකාරී තත්ත්වයක් වෙනස් වන විට ඒවා හඳුනා ගැනීමේ හැකියාව උදාහරණ ලෙස නිදිමත, කම්මැලිකම, තෙහෙට්ටුව, ඇඟරිදීම වැනි දේ අනුව චිත්තවේග පාලනය කර ගැනීමට හැකියාව ඇත.

උද්වේගකාරී හෝ කලහකාරී අවස්ථාවන්හි දී ඊට උචිත ගතින් සිතින් ලිහිල් වීමේ හැකියාව.

ඔබ කාංසාවෙන් පසුවන අවස්ථාවල දී වුව ද ඵලදායිව ක්‍රියා කිරීම. කෝප වූ අවස්ථාවක ඉක්මනින් යළි සිත සන්සුන් කර ගැනීමේ හැකියාව.

විවිධ කායික සංඥා හා බැඳුණු චිත්තවේගී අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව. චිත්තවේගී අවස්ථාවලට බලපාන ආතතීන් සම්බන්ධ ස්වයං කථනයක් යොදා ගැනීමේ හැකියාව.

හැඟීම් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම.

යම් කලකිරීමක්, එපා වීමක්, මනසට පීඩාකාරී නොවන උපේක්ෂාවෙන් බැලීමට ඇති හැකියාව.

අන්‍යයන්ගේ කෝපයට ඔබ ලක් වූ අවස්ථාවක සන්සුන්ව සිටීමේ හැකියාව.

චිත්තවේග හා චිත්තවේග කළමනාකරණය කර ගැනීම සඳහා මෙම කාරණ ප්‍රමාණවත් වේ.