Print this Article


විකසිත කුසුමක් සේ ප්‍රඥාව පුබුදු කරන්න

විකසිත කුසුමක් සේ ප්‍රඥාව පුබුදු කරන්න

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළේ ප්‍රඥාවන්තයින්ටයි. සෑම දිනක ම අලුයම් කාලයේ දී දෙව් මිනිසුන් සහිත ලෝකය, මහා කරුණා සමාපත්තියෙන් බලා වදාළා. ඒ ගැඹුරු ධර්මය තුළින් ප්‍රඥාව විකසිත කර ගන්නට තරම් නුවණින් විමසීමේ හැකියාවක් ඇති ප්‍රඥාවන්තයින් කවුරුන්ද කියා සොයා ගන්නටයි.

“ අයං ධම්මො පඤ්ඤවතානං, නායං දුප්පඤ්ඤස්ස”

“ මේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහාමයි, ප්‍රඥාව දුර්වල අයට නම් නොවේ” යනුවෙන් ධර්මය තුළ බොහෝ වාරයක් දේශනා කළේ ඒ නිසා.

හැමෝට ම සැබෑ බෞද්ධයෙක් වෙන්නට බෑ. සැබෑ බෞද්ධයෙක් වෙන්නට නම් හොඳ නුවණක් ඇතිව උපත ලබා තියෙන්නට ඕනේ. ලොව්තුරා බුදුවරුන්ගේ ධර්මය ඉතා සියුම් ධර්මයක්. පණ්ඩිත වේදනීය ධර්මයක්. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා‍ යමකුට නුවණ නැති නම්” මේ ධර්මය වටහා ගන්න, ඒ ධර්මය තුළ ප්‍රතිපත්ති පුරන්න හැකියාවක් ඔහුට නෑ. තම තමන්ගේ නුවණේ තරමට තමයි මේ ධර්මය අවබෝධ කර ගත හැකි වෙන්නේ.

නිර්වාණාවබෝධය ලැබීම කියා කියන්නේ, ප්‍රඥාවන්තයෙක් ලොව්තුරා බුදු දහම ප්‍රායෝගික කිරීම තුළින් තවදුරටත් ප්‍රඥාව දියුණු කර ලෝකෝත්තර ප්‍රඥාව උදාකර ගැනීමටයි.

ඒ නිසයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භයත්, අවසානයත් ප්‍රඥාවෙන් ම දක්වා තියෙන්නේ. ආරම්භය ලෞකික ප්‍රඥවෙන්. නුවණැත්තෙක්මයි ධර්ම මාර්ගය දියුණු කරන්න යොමු වෙන්නේ. ධර්ම මාර්ගය දියුණු වෙද්දි සීල, සමාධි, ප්‍රඥා යන තුන් ශික්ෂාවන් වැඩී ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්නට පටන් ගන්නවා. ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙද්දි සම්මා ඤාණ සහ සම්මා විමුක්ති කියන අංග දෙකෙන් ලොව්තුරු ප්‍රඥාව උදාකර ගෙන නිර්වාණාවබෝධයට පත් වෙනවා.

බොහෝ බෞද්ධයින් තමන් බෞද්ධ ශ්‍රාවකයකු වූ පසුව කළ යුතු කාර්යය කුමක්දැයි දන්නෙ නෑ. මෑතක කෙනෙක් මගෙන් ඇසුව

“ කළකිරිලා මහණ වුණා ම තව ධර්මයත් ඉගෙන ගන්න ඕනෙද? “ කියලා.

බොහෝ අය හිතන් ඉන්නෙ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා ම කරන්න තියෙන්නෙ නිදහසේ නිකං ඉන්න එක කියලා. එය අනවබෝධය නිසා ඇති වෙන මිත්‍යා මතයක්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසර අසරණ වූ සත්ත්වයන් වෙනුවෙන් සරණ වෙන්නට ආර්ය සත්‍යය සතරක් දේශනා කළා. ගිහි හෝ පැවිදි හෝ බුද්ධ ශාවකයා ඒ ආර්ය සත්‍යය හතර අනුව වගකීම් හතරකට බැඳී කටයුතු කරන්නට ඕනේ.

ආර්ය සත්‍යක් වූ දුක්ඛ සත්‍යය පිළිබඳ ඇසූ තැන්පටන් ඒ ආර්ය සත්‍යයක් වූ දුක යනු කුමක්දැයි පිරිසිඳ දකින්නට වීර්යය වඩන්නට ඕනේ.

දෙවැන්න වූ සමුදය සත්‍යය හෙවත් දුකට හේතුව තෘෂ්ණාව යැයි දැනගත් තැන් පටන්, ඒ තෘෂ්ණාව තමා තුළින් නැති කර දමන්නට වීර්යය වඩන්නට ඕනේ.

සැබෑ සැනසීම වූ නිරෝධ සත්‍යය හෙවත් නිර්වාණය පිළිබඳ දැනගත් තැන් පටන් , නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස නිරන්තරයෙන් වෙහෙසෙන්නට ඕනේ.

ආර්ය සත්‍යයක් වූ මාර්ග සත්‍යය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දැනගත් තැන් පටන්, ඒ ආර්ය මාර්ගය නැමති ප්‍රතිපදාව වඩන්නට වීර්යවත් වන්නට ඕනේ.

මේ සඳහා නිරන්තරයෙන් ධර්මය අසන්නට ඕනේ. ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ධර්ම සාකච්ඡාවෙහි යෙදෙන්නට ඕනේ. දාන සීල භාවනාවන්හි යෙදෙන්නට ඕනේ. විදර්ශනා භාවනාව දියුණු කරන්නට ඕනේ.

සාමාන්‍ය දෙවි මිනිස් ලෝකයා විසින් ලෝකය දකින විදිය එක ක්‍රමයක්. ලොව්තුරා බුදු, පසේබුදු, මහ රහත් යන ආර්ය උතුමන් වහන්සේ ලෝකය දකින ක්‍රමය තවත් ක්‍රමයක්. ආර්යයන් වහන්සේ ලෝකය දකින ක්‍රමය අනුව අපිත් ලෝකය දැක්කොත් සියලු කෙලෙස් නසා දුකින් මිදෙන්නට පුලුවන්. ඒ ආර්ය දර්ශනය අනුව ලෝකය දකින්න උත්සාහ කිරීමයි අපි විදර්ශනා වැඩීමේ දී සිදු කරන්නේ. ඒ සඳහා ධර්මය තුළින් ප්‍රඥාව වඩවඩාත් දියුණු කළ යුතුයි.

“ විසෙසාකාරෙන පස්සතීති විපස්සනා”

විශේෂාකාරයෙන් ලෝකය දැකීම විපස්සනාව යැයි අර්ථකතා තුළ සඳහන් වන්නේ ඒ නිසයි.

ධර්මය තුළින් දියුණු කළ යුතු ඒ ප්‍රඥාව සත්තිස්බෝධිපාක්සික ධර්ම අතරින් ප්‍රධානතම ධර්මයක්. එයට ආර්ය මාර්ගය තුළ මහා බලයක් නිසා ප්‍රඥා බලයැයි කියලා කියනවා.

ආර්ය මාර්ගය තුළ නායකයෙක් වගේ අධිපති බව ප්‍රධානත්වය දරන නිසා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියනවා. ලෞකික ලෝකෝත්තර ඍද්ධි ලැබීමට උපකාරී වන නිසා වීමංසා ඍද්ධි පාදය කියලත් කියනවා.

නිවන් මගට අවශ්‍ය දැක්ම ලබා දෙන නිසා සම්මා දිට්ඨිය කියලත් කියනවා. අවබෝධය ලැබීමට අවශ්‍යම අංගයක් නිසා ධම්මවිචය සම්බොජ්ඣංගය නමිනුත් හඳුන්වනවා.

මේ විදියට බෝධිපාක්ෂික ධර්ම අතර කිහිප වාරයක් ම විවිධාකාරයෙන් ප්‍රඥාව ම යෙදී තිබීමෙන් ම, ප්‍රඥාව දියුණු කිරීම නිර්වාණාවබෝධය පිණිස අනිවාර්ය අංගයක් බව අපිට පැහැදිලි වෙනවා.

කොහොමද අපි ප්‍රඥාව දියුණු කරන්නෙ. ඒ සඳහා හේතුවන උපකාරක ධර්ම අර්ථකථාවල මෙසේ පෙන්වා තියෙනවා.

පරිපුච්ඡිකතා

ස්කන්ධ ,ධාතු, පටිච්ච සමුප්පාදය ආදී ගැඹුරු ධර්ම කරුණු ගැන නැවත නැවත ප්‍රශ්න අසා ධර්ම ඥානය දියුණු කරන්න ඕනේ.

වස්තුවිසද කිරියා

තමනුත්, තමාගේ අවට පරිසරයත් ඉතා පිරිසුදුව තබා ගන්න ඕනේ. නිරවුල් පිරිසුදු පරිසරය නුවණ උපදින්න උපකාරයක් වෙනවා.

ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා

ශ්‍රද්ධා , විරිය , සති, සමාධි ආදී ඉන්ද්‍රිය ධර්ම එකිනෙකට අඩුවැඩි නොවි සම මට්ටමේ තියා ගන්න ඕනේ. අනෙක් ඉන්ද්‍රියයන්ට වඩා වීර්යය වැඩි වුණොත් සිත විසිරෙනවා. සමාධිය වැඩි වුණොත් සිත සමාධි සුවයට ඇලෙනවා. මේ වගේ ගැටලු නිසා සියලු ඉන්ද්‍රිය ධර්මයන් සම තත්ත්වයක තබා ගැනීම වැදගත්. එවිට ප්‍රඥාව වැඩෙනවා.

දුප්පඤ්ඤපුග්ගල පරිවජ්ජනතා

ස්කන්ධ , ධාතු , ආයතන, පටිච්චසමුප්පාද, විදර්ශනා ආදී ගැඹුරු කරුණු නොදන්නා, ධර්මය ගැන වැටහීමක් නැති අසත්පුරුෂයන් ඇසුරු කිරීම නතර කරන්න ඕනේ. එවැනි අනුවණ අය ධර්ම මාර්ගයට බාධා කරනවා. ඒ අයගෙන් දුරස් වීම කළ යුතු දෙයක්.

පඤ්ඤවන්ත පුග්ගල සේවනතා

ධර්මයට නැඹුරු , කෙලෙස් නැසීමට කැමැති, සත්පුරුෂ ධර්ම ඥානය ඇති අය ඇසුරු කරන්නට ඕනේ. ඔවුන් නුවණ දියුණු කරන්නට උපකාරයක්.

ගම්භීර ඤාණ චරිය පච්චවෙක්කනා

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර ඤාණයන් පිළිබඳ ඉගෙන , ඒවා නුවණින් විමසීමත් ප්‍රඥාව වැඩීමට හේතුවක්.

තදධිමුත්තිතා

ප්‍රඥාව දියුණු කරන්නට ම නැවත නැවත සිත නැඹුරු කිරීම, නුවණ දියුණු කිරීමට ම නැඹුරු වූ සිතක් ඇති කර ගැනීම මෙහිදී අදහස් වෙනවා.

මෙන්න මේ විදියට ප්‍රඥාව ( ධම්මවිචය සම්බෝධි අංගය ) දියුණු කරන්නට කටයුතු කළහොත් මේ ජීවිතය තුළදීම අපිට උතුම් ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට පුලුවන්. ඒ කියන්නේ මාර්ගඵල සාක්ෂාත් කරල, නිවනින් සැනසෙන්නට පුලුවන්.

ඒ නිසා මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළම ප්‍රඥාව දියුණු කරන්නට අධිෂ්ඨානයක් ඇති කර ගන්න.