Print this Article


සංසාර දුක නිවන මහානීය ඖෂධය ශ්‍රී සද්ධර්මයයි

සංසාර දුක නිවන මහානීය ඖෂධය ශ්‍රී සද්ධර්මයයි

යො චේ ගාථා සතං භාසෙ
අනත්ථපද සංහිතා
එකං ධම්මපදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති

යො සහස්සං සහස්සේන
සංගාමෙ මානුසෙ ජිනෙ
ඒකංච ජෙය්‍ය අත්තානං
සවෙ සංගාම ජුත්තමො

රජගහනුවර ඉසුරුමත් සිටුකුලයක සිටු දුවක් සත්මහල් ප්‍රාසාදයක උඩුමහලේ සොළොස් වයස් ඉක්මවා වාසය කරන්නී ය. සම්පත් සුව අධික නිසා කම් සැප ආශාවෙන් පුරුෂයන් ගැන සිතමින් කල් ගෙවන්නී ය.

මෙකල සොරකුට දඬුවම් දීම සඳහා රාජ භටයෝ කස පහර දෙමින් සිටුමැඳුර අසලින් ගෙන යන්නෝ ය. ඒ ශබ්දය ඇසී මෙම සිටු දේවිය එම සොරා දැක ඔහු කෙරෙහි පෙම් බැඳ ඔහු පතා ශෝකයෙන් තැවෙන්නී ය. දෙමව්පියන් මේ තත්වය දැක නොයෙක් ආකාරයෙන් එහි ආදීනව හා නීති විරෝධී බව පවසා එම අදහස් අත්හරින්නට කී නමුත් බුද්ධියෙන් අඩුකම නිසා ඇය එම අදහස තිරසරව ම ගත්තීය.

ඒ නිසා රාජපුරුෂයන්ට අල්ලස් දී සොරා මුදාගෙන දියණියට දී සනසන ලදී.

මෙසේ කල් යවන කල්හි සොරාගේ ස්වභාවික හොර හිත මතුවන්නේ සිටුදුවගේ රන්,රිදී, මුතු, මැණික්, අබරණ පිළිබඳ ආශාවක් ඇතිවී එම අබරණ ටික ගෙන පැන යාමේ උපායක් සිතමින් දිනක් සිටුදේවියට මෙසේ කීවේ ය.

මා වදයට ගෙන යන දවසේ මා විසින් සොර පර්වතයට බාරයක් විය. එබැවින් අපි දෙදෙනා ම ගොස් එම පර්වතයේ දෙවියන්ට බාරය ඔප්පු කරමු යැයි දිනය, වේලාව සූදානම් නියම කර ගත්තේ ය.

එසේ නියම කර ගත් දින දෙදෙනා ම පර්වතයට නැඟ ගත් පසු සැමියාගේ ස්වරූපය වෙනස් වූ බව දැනගත් සිටු දේවිය “හිමියනි, නො මරන්න. ඔබට අවශ්‍ය අබරණ ගන්න. එසේ නො මැරි නම් අවසාන මොහොතේ ඔබ සිඹ ගැන්මට අවසර දෙන්න යැයි පවසා සිඹ ගන්නා ආකාරයක් හඟවා සොරා කන්දෙන් පහළට තල්ලු කළා ය.

පසුව පර්වතයෙන් බැසගත් මෙම කුණ්ඩල කේසී සිටුදුව තැනින් තැන ඇවිදිමින් උගත් තවුසන් සමඟ වාද කරමින් ජය ගෙන සැවැත්නුවරට පැමිණ සැරියුත් මහරහතන් වහන්සේ හමුවී වාද කොට පැරද මෙහෙණවරකට පැමිණ මහණ ව බවුන් වඩා රහත් විය. දම් සභා මණ්ඩපයේ දී මේ කාරණය නිමිති කරගෙන අප තථාගතයන් වහන්සේ මුලින් දැක්වූ ගාථා දෙක මාතෘකා කර ධර්ම දේශනා කළ සේක.

අවැඩට මඟ සැලසෙන සියක් ගාථාවලට වඩා ඇසුවන් සන්සිඳුවන එක දහම් පදය උතුම් ය. යමෙක් සටන් බිමෙහි ලක්ෂයක් මිනිසුන් පරදවා ජය ගනී ද, එය උතුම් නොවේ. යමෙක් තමාගේ ආත්මය ජයගනී ද එය උතුම් වන්නේ ය.

පින්වත්නි, සත්වයන් සතර අපායේ වැටෙන්නට නොදී ධාරණය කරන අර්ථයෙන් ධර්මයට ඒ නම් යෙදී ඇත. ලෝක ධර්මය, ස්වභාව ධර්මය, මානව ධර්මය ආදි නයින් විවිධ ධර්ම ඇතත් අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ උත්තම තම ධර්මය පමණක් සත්වයන්ගේ සංසාර දුක්වේදනා සදහට ම නැති කිරීමට මහෝපකාරි වන්නේ ය.

දහම් පද සතරක් නම්.

අනභික්ඛා ධම්මපද – ලෝභය නැති කරන දහම් පද

අව්‍යාපාද ධම්මපද – ක්‍රෝධය නැති කරන දහම් පද

සම්මා සති ධම්ම පද – මනා සිහිය ඇති කරන දහම් පද

සම්මා සමාධි ධම්මපද – සිත සමාධි කරන දහම් පද

ස්වාක්ඛාත වූ, මුල, මැද අග යහපත් වූ, අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ අක්ෂරයක්, වචනයක් ගාථාවක්, සූත්‍රයක් පාසා ඇසීමෙන් ධාරණයෙන්, එයට අනුගත ව හැසිරීමෙන් වන්නා වූ යහපත, ශාන්තිය, සුවය, සහනය අපමණ වන්නේ ය. එහෙත් එම ධර්මය සෑමදා ම ලෝකයේ පවතින්නේ නැත. “සද්ධම්මෝ පරම දුල්ලභො” මෙම මනුෂ්‍ය ලෝකයේ සජීවී ව පැවතී ඒ උතුම් ධර්මය සත්වයන්ගේ අභාග්‍ය නිසාම ක්‍රම ක්‍රමයෙන් නැතිවී අන්තර්ධාන වන්නේ ය.

සත්වයා ජීවත් වන්නේ තණ්හාව අරමුණුූ කරගෙන ය. ධර්මය මතක් වන්නේ වේදනාවට ප්‍රතික්‍රියාවක් වශයෙනි. තණ්හාව සත්වයාගේ ජීවනධාරය නිසා නිතර අරමුණු කර ගන්නේ තණ්හාවෙන් තෘප්තිමත් වීමට ය. මේ ස්වභාවයට බාධා වන විට ආගම, දහම, නීතිය, සදාචාරය වැනි විෂයයන් කරා යොමු වන්නේ ය. බුදු, පසේබුදු, මහරහත් යන ආර්ය උත්තමයන් සත්වයාගේ මෙම සංකීර්ණ ස්වභාවය නැතිකොට සදාකාලික සැනසීමක් ලබා දීමේ අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, ලෝකෝත්තර ධර්මයක් දේශනා කරන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය සංක්ෂේපයෙන් ගත්විට සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවයි. මුල, මැද අග යහපත් වූ, අර්ථවත්, ඒ ක්ෂණයෙහි ම ප්‍රතිවිපාක ලබන උත්තම තම ධර්මයක් මානව සමාජයට ලබා දුන් අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවන පරමාදර්ශයෙන් ධර්මයේ ඇති උත්තරීතරභාවය ප්‍රකාශ කොට වදාළ සේක.