Print this Article


ප්‍රතිපත්ති දානයෙන් දුරස් වන තරමට ම සංසාර දුක ඔබ සමීපයේ ම ය

ප්‍රතිපත්ති දානයෙන් දුරස් වන තරමට ම සංසාර දුක ඔබ සමීපයේ ම ය

ලොව ජීවත් වන සත්ත්වයෝ විවිධ ය. ඒ අතර අපාද, දිපාද, චතුප්පාද, බහුප්පාද වශයෙන් කොටස් හතරකට බෙදා වෙන් කළ හැකි ය. මොවුන් අතර ශ්‍රේෂ්ඨතම සත්ත්වයා වන්නේ මිනිසා ය. එයට හේතුව වන්නේ උසස් මනසකින් යුක්ත වීම ය. කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳ තීරණයක් කළ හැක්කේ ද මිනිසාට පමණි. නිවන් ලැබීම ද කළ හැක්කේ මිනිසාට පමණි.

“දුල්ලභංච මනුස්සත්තං” යන්නෙන් මිනිසත් බව ලැබීම දුර්ලභ කාරණයක් බව දේශනා කොට ඇත. නමුදු අද සමාජය තුළ එවැනි දුර්ලභ ව ලැබූ මිනිසත්කමේ වටිනාකම නොදැන අන් සත්ත්වයින් සේ ක්‍රියා කිරීමට මිනිසා ද පෙළඹී ඇත.

එවැනි බාල, ළාමක අය මෙතෙරට ම කැමැති වන අතර, මොන තරම් දුක් වින්දත් ඉපදීමෙහි දුක වටහා නොගනිති.

සත්ත්වයා නිරතුරුව ම එකොළොස් ගින්නකින් දැවෙනු ඇත.

එනම් රාග (රාගය), ද්වේෂ (ද්වේෂය), මෝහ (මෝහය), ව්‍යාධි (වයසට පත්වීම), ජරා (දිරීම), මරණ (මරණය), සෝක (සෝකය) පරිදේව (විලාපය) දුක්ඛ (දුක), දෝමනස්ස (නොසතුට) හා උපායාස (බලවත් සිත්තැවුල) ආදී වශයෙනි.

මෙවැනි භයානක දුක්වලට හසුවෙමින් සිටිය ද පස්කම් සැපෙහි ගිජු ව අන්ධකාරයක සත්ත්වයා ජීවත් වනු ඇත. පැණි භාජනයකට ඇඹලයකු ඇතුළු වී එය රසයක් සේ විඳිමින් එතුළින් ම ගිලී විනාශයට පත්වන්නා සේ සත්ත්වයා ද පස්කම් සැප මත ම ඇලී ගැටී විනාශයට පත් වේ. එබැවින් නිවනට යන පිරිස ඉතා අල්ප ය. යමෙක් මහපොළොවෙන් නිය තුඩට වැලි ටිකක් ගත්තොත්, කෙලෙස් බරිතව එහි ම ඇලී සිටින්නවුන්, මහපොළවෙ වැලි සේ නිවනට නොයන පිරිසට සමාන කළ හැකි ය. නිය තුඩට ගත් වැලි ටිකටත් අඩු ප්‍රමාණයක් නිවනට යනු ඇත.

නිවනට නොයන්නෝ කාම සම්පත් ම විඳීමට උත්සාහ කරන අතර, පින්කම් කිරීම හෝ ධර්මයට කැමැති වීමක් සිදු නොකරති. බුදුරදුන් දේශනා කළේ ඔවුන්ගේ ලක්ෂණය වන්නේ ධර්මයට අකැමැති වීම හා ධර්මයට ගැරහීමයි. එවැනි අය පිරිහීමට පත්වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඛුද්ධක නිකායට අයත් පොත් පහළොව අතුරින් දෙවැනි පොත වන ධම්මපදය තුළින් මේ සඳහා ගැඹුරු කරුණු අනාවරණය කොට ඇත. ඒ අතර ධම්මපදයේ පණ්ඩිත වග්ගයට අයත් දහවැනි හා එකොළොස් වැනි ගාථාව ඉතා වැදගත් වේ.

“අප්පකා තෙ මනුස්සේසු
යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා
තීරමෙවානුධාවති”

මිනිසුන් අතුරෙහි යම් ජන කෙනෙක් පරතෙරට යන්නා හු ද, ඒ ජනයෝ ටික දෙනෙකි. එහෙත් සෙසු මේ සත්කැල මෙතෙරට ම නැවතත් දිවයන්මෝ ය.

“යෙච ඛො සම්ම දක්ඛාතෙ
ධම්මෙ ධම්මානු වත්තිනො
තෙ ජනා පාර මෙස්සන්ති
මච්චු ධෙය්‍යං සුදුත්තරන්ති”

යම් කෙනෙක් වනාහි මනාකොට වදහළ දහම් අනුව පවතිද්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා අමාරු වූ කෙලෙස් මරුට නිවෙස් වූ සසර ඉක්මවා පරතෙරට පැමිණෙන්නාහු ය.

ඉහත ගාථා යුගල තුළින් බුදුපියාණන් වහන්සේ බොහෝ සත්ත්වයින් සසර දුක් විඳිමින් ගැවසෙන අයුරුත්, ස්වල්ප දෙනෙක් ධර්මාවබෝධයෙන් සසරින් එතෙර වන අයුරුත් මනාව පැහැදිලි කොට ඇත. රාගයෙන් රත්ව, ද්වේෂයෙන් දූෂිතව, මෝහයෙන් මුළාව, සත්ත්වයා සසර කතර තුළ අනන්ත අප්‍රමාණ දුක්වලට මැදි වී ගමන් කරනු ඇත.

ලොව බුදු කෙනෙක් පහළ වන්නේ එවැනි දුක් විඳින සත්ත්වයා සසර දුකින් මුදාලනු පිණිස ය. නමුදු සියල්ලන්ට ම සසරින් එතෙර වීම අපහසු ය.. එයට හේතුව කාමයෙන් ඇලී ගැලී අස්මිමානය, මමායනය ආදී බැඳීම්වලින් සිටින බැවිනි. ධර්මය වුව ද අවබෝධ කර ගැනීමට ප්‍රඥාව තිබිය යුතු ය. “පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” මාගේ ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා’යි අනුවණයින්ට නොවේ. ආදී වශයෙන් බුදු හිමි දේශනා කළේ එබැවිනි.

සසර කතරින් එතෙර වීමට ප්‍රධාන වශයෙන් ධර්මය අවබෝධ කර ගත යුතු ය. අද බාහිර වශයෙන් විවිධ ආමිසමය වශයෙන් දානමය කටයුතු කළ ද, ප්‍රතිපත්ති දානය දුරස් වී ඇත. එබැවින් අකුසල් සිදු වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත.

ධර්මය ඇසුවට අද බොහෝ දෙනෙක් තුළ ධර්මය නැත. එනිසා දුක් ගිනිදැල් මොහොතින් මොහොත උත්සන්න වෙමින් පවතී.

ස්වභාවධර්මය හා දෙවියන් පවා කෝප වන අයුරින් අධාර්මික ක්‍රියා සිදු වෙති. බුදු හිමි “ධම්මේ ධම්මානුවත්තිනො” යනුවෙන් දහමට අනුව පැවැත්ම අනුමත කළේ එම හේතුවෙනි.

බුදුරජාණන් වහන්සේ ද තම වහන්සේගේ ගුරුවරයා වශයෙන් තබා ගන්නා ලද්දේ උතුම් ශ්‍රී සද්ධර්මයයි. මවකට පියකුට කළ නොහැකි දෙයක් ධර්මය විසින් සිදු කරනු ඇත. එනම් දුක් දුරු කර නිවන් සැපත ලබා දීමයි. එවැනි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් අප සසර කතරින් එතෙර වීමට උත්සාහවත් විය යුතු ය.

බුද්ධෝත්පාද කාලයක උපන්, උසස් මනසක් ඇති සෑම දෙනෙක් විසින් ම උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කිරීම හා ප්‍රායෝගික ජීවිතය තුළ එය ක්‍රියාත්මක කළ යුතු ව ඇත. එසේ කිරීම මෙලොව පරලොව දුක් දුරු කර ගැනීමටත්, එතැනින් නොනැවතී සාංසාරික දුකින් අතමිදී, උතුම් නිවන් සුවයෙන් සැනසීමටත් හේතු වන්නේ ය.