Print this Article


අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහනා හිමි 110 වැනි ජන්ම දිනය සැමරේ

අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහනා හිමි 110 වැනි ජන්ම දිනය සැමරේ

දකුණු සිරිලක වැලිගම වල්ලිවෙල දෙනියෙගෙදර කටුකුරුන්ද වෙල්ලාලගේ ඔදිරිස් ද සිල්වා, කොග්ගල වෙල්ලාලගේ බබුන්හාමි මවුපියන්ට දාව දස දෙනෙකුගෙන් යුත් පවුලේ කනිටු පුත් වශයෙන් 1913 ඔක්තෝබර් 14 වැනි දා මෙලොව එළිය දුටහ.

කුඩා අවධියේ සිට ම පිළිවෙත් පුරනු රිසි වූ කරෝලිස් කුමරුවා 1925 නොවැම්බර් 30 වැනි දා තල්පේ මාකඳුගොඩ නිග්‍රෝධාරාමය ගොරකාන ධර්මරක්ෂිතාරාමය යන උභය විහාරාධිපති අහංගම සිරි විමලසාර නා හිමියන් වෙතින් එළුකැටිය බිම්බාරාමයේ දී වැලිගම ඤාණරතන නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූහ.

1930 කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව රාජකීය පණ්ඩිත උපාධිය ත්‍යාග සහිත ව ලබා ගත්හ. 1933 ජුනි 09 වැනි දින වේරගම්පිට සිරි රේවත මහා ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද, පැළෑණේ සිරි වජිරඤාණ මහා නාහිමි, අහංගම පඤ්ඤාලෝක නාහිමි, තල්අරඹේ ඉන්දසාර නාහිමි, කර්මවාගාචාර්යයන් වහන්සේ ලෙසින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායික සුපරිශුද්ධෝපසම්පදාව ලදහ.

උන්වහන්සේ විසින් ලියූ ලොකු කුඩා පොත් ගණන ශතාධික ය. නොයෙක් මාතෘකා යටතේ රචිත ග්‍රන්ථ සමුදාය අති විශිෂ්ට ය. 1954 වර්ෂයෙහි බුරුම රට පැවති ජට්ඨ සංගායනාවට සහභාගී වූ උන්වහන්සේ ජාතක පාලිය සංශෝධනය කළහ.

මහා නාහිමි සාධු චරිතාපදානයෙහි සඳහන් අපූරු පුවතක් මෙසේ ය. ‘1956දී ඉන්දියාවේ බැංගලෝර්හි සීමා බන්ධනයකට සහභාගී ව කළ ආශ්චර්යවත් කාර්යයක් පිළිබඳ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ මෙසේ සඳහන් කළහ.

වැලිගම පණ්ඩිත ස්ථවිරයන්ගේ ස්මෘති ඥානය විශ්මය ජනක වූවක් බව තේරුම් ගන්නට හැකි වූයේ එකල බැංගලෝර්හි පැවති සීමා බන්ධනයෙහිදී ය.

වජිරාරාම භික්ෂූන් පෙරටු කොට ගත් එම භික්ෂු කණ්ඩායමට පාමොක් දෙසීමට ඇවැසි භික්ෂු ප්‍රාතිමෝක්ෂයක් රැගෙන යාමට නොහැකි වූයෙන් බලවත් අපහසුතාවට පත් වූ අවස්ථාවේ වැලිගම පඬිහිමිපාණන් ඉදිරිපත් වී මා හට කහට කෝප්පයක් සමඟ පොතක් සහ පෑනක් ගෙන දෙන්නැයි අයැද සිටි අතර, එම අවශ්‍යතා සපුරා හෝරා තුනක් පමණ ගතවත්ම, මුළු ප්‍රාතිමෝක්ෂය ම කිසිදු ඌණතාවකින් තොරව ලොකු අකුරින් ලියා අවසන් කිරීම එතැනට රැස් වී සිටි මහා සංඝයා විමතියට පත් කළ අසිරිමත් සිදුවීමක් විය.

උන්වහන්සේගේ කාර්ය සාඵල්‍යය අගය කළ හැක්කේ එක් අංශයෙකින් පමණක් නොවේ.

ලක්දිව හොඳම ධර්ම දේශකයා ලෙසින් අභිෂේක ලැබූ උන්වහන්සේ විශිෂ්ට ලේඛකයෙකි. මහා දේශකයෙකි. පාණ්ඩිත්‍යයේ කෙළ පැමිණියෙකි. සැබෑ ගුරුවරයෙකි. දක්ෂ පාලකයෙකි. සෘජු ස්ථිරසාර ගුණ ඇති භික්ෂුවකි. සසුනඹර එකලු කළ යුග පුරුෂයෙකි.

සිය දිවියෙහි 101 වර්ෂයක් තුළ 89 වසරක් පැවිදි දිවිය ගත කොට 2014 වර්ෂයෙහි ජනවාරි මාසයෙහි 17 වැනි දින උන්වහන්සේ අපවත් වී වදාළහ. 110 වැනි ජන්ම දිනය නිමිති කරගෙන මහ නාහිමියන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ දෙකක් නැවත මුද්‍රණය කොට බෙදා හැරීමට කටයුතු යොදා තිබිණි.