Print this Article


රත්ගම සුමනනන්ද අනුනාහිමි 14 වැනි ගුණ සමරුව

රත්ගම සුමනනන්ද අනුනාහිමි 14 වැනි ගුණ සමරුව

දකුණු සිරිලක ගාල්ල දිස්ත්‍රික්කයේ, වැල්ලබඩ පත්තුවට අයත් රත්ගම ග්‍රාමයේ දී එච්.කේ. කරෝලිස් මෙන්ඩිස්, මාගිනා මෙරන්ද බබුන්හාමි දෙපළට ලැබුණු පින්වත් පුත් කුමරු සමාරිස් මෙන්ඩිස් නමින් 1920 නොවැම්බර් මස 06 දින ජන්ම ලාභය ලැබීය.

මෙම කුමරාගේ ඇවතුම් පැවතුම් කතාබහ සංවර විය. පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම උතුම් පැවිද්දට සිත නැඹුරු විය. ඒ අනුව රත්ගම මේධානන්ද මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ රත්ගම පඤ්ඤාසේඛර නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් වයස දහ තුනේ දී 1934 වෙසක් මස 22 පුර පසළොස්වක පොහෝදා දඩල්ලේ ශ්‍රී වාලුකාරාම මූල මහා විහාරස්ථානයේ දී උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වුණි. රත්ගම සුමනනන්ද නමිනි. දඩල්ලේ වාලුකාරාමස්ථ ශ්‍රී සද්ධම්මවංසෝධය නම් පියදිගම පුරාණ පිරිවෙනින් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ මරදාන මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරිවෙනට ඇතුළත් ව ධර්ම විනය ඇතුළු සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඡන්දස් අලංකාරාදී දහම් පාසල් ආරම්භ කොට එහි ප්‍රධානාචාර්ය ධුරයන් දරමින් ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය ද දැරීය. එමෙන් ම බොරැල්ලේ සුසමයවර්ධන පාසල ආරම්භ කරමින් ඉඩකඩම් ඒ වෙනුවෙන් යොදමින් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ස්වකීය මෙහෙවර ඉටු කළහ. එනිසාම අමරපුර සිරිසද්ධම්ම වංස මහා නිකාය මඟින් සිරිසුමන ඤාණාලංකාර ජිනශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිතව තත් නිකායෙහි සමලේඛකාධිකාරී ධුරය ද, අනුනායක ධුරය ද, ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනැමූහ.

වර්ෂ 1943 පොසොන් මස 17 දින බලපිටිය, වැලිතර, මහා කප්පින වලව්ව බද ශ්වේජින් උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිපූජ්‍ය බෝගහපිටියේ සීලක්ඛන්ධ මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ රත්ගම පඤ්ඤාසේකර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලය ලැබීය. ස්වකීය ගුරු දෙවිඳුන්ගේ අපවත්වීමෙන් දඩල්ල වාලුකාරාම මූල මහා විහාරය, බොරැල්ල තිලකරත්නාරාම පුරාණ විහාරය, මැදවල ශ්‍රී පුෂ්පාරාමය, මුල්ලේරියාව ශ්‍රී නීලමල්ලිකාරාමය යන චතුර් විහාරාධිපතිත්වයට පත්වූහ.

ධර්මධර, විනයධර, බහුශ්‍රැත තරුණ යතිවරයාණන් වහන්සේ ලක්දිව පුරා සදහම් දේශනා පවත්වමින් ශාසනික මෙහෙවර ඉටු කළහ. පාරිවේණික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් වර්ෂ 1965දී බොරැල්ලේ සිරිසුමන විද්‍යාල පිරිවෙන ආරම්භ කළ අතර දඩල්ලේ ශ්‍රී විද්‍යාරාජ මහ පිරිවෙනද ආරක්ෂා කර ගනිමින් විටෙක පරිවෙනාධිපති ධුරය ද, කෘත්‍යාධිකාරී ධුරය ද දරමින් බොහෝ ගිහි පැවිදි උගතුන් රැසක් රටට දායාද කළහ. මුල්ලේරියාවේ නීල මල්ලිකාරාමයෙහි ද ශ්‍රී සුමනනන්ද මහ පිරිවෙන ආරම්භ කරමින් එහිද ආදීකර්තෘ හිමියන් බවට පත් විය.