Print this Article


65 වැනි වියට පා තබන නාරම්පනාවේ නන්‍දරතන නාහිමියෝ

65 වැනි වියට පා තබන නාරම්පනාවේ නන්‍දරතන නාහිමියෝ

කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර නාරම්පනාව නැමැති සුන්දර ගම් පියසෙහි 1958 ජූනී මස 30 වැනි දින, වනිගසේකර මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර නම් වූ පින්වත් කුල කුමරකු ඉපදුණි. නාරම්පනාවේ ගලගාවත්තේ ගෙදර උක්කුබණ්ඩා පියතුමා සහ මහනුවර යුගයේ රජ පරපුරකට නෑකම් කියන කරලියද්දේ ගෙදර බිසෝ මැණිකේ යන දෙපළ මවුපියෝ වූහ.

කුඩා කල පටන් මවුපියන් සමඟ උපෝසථ ශීල සමාදානයට හුරු වූ මේ කුඩා දරුවා වයස අවුරුදු 09 දී පැවිදි බවට පත්විය. උතුරු මධ්‍යම දිසාවේ ද්විතීය සංඝනායක ධුරන්ධර එප්පාවල ගල්කන්දේ පුරාණ විහාරාධිපති මීගස්සෑගම ශ්‍රී ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1967 මැයි 03 වෙනි දින සසුන්ගත වීම සිදුවිය. 1978 ජුනි මස 08 වැනි දින එප්පාවල ඛෙත්තාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ද්විතීය සංඝනායක මීගස්සෑගම සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රමුඛාචාර්යාත්වයෙන්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබීය.

මූලික අධ්‍යාපනය සඳහා මහනුවර පිළිමතලාවේ හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහ පිරිවෙනට ඇතුළත් ව පිරිවෙන් අධ්‍යාපනය නිමකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සහ එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්තේ ය. ඊට අමතරව කොළඹ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ද ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද වශයෙන් ශාස්ත්‍රපති උපාධි දෙකක් දිනා ගැනීමට සමත් විය.

ඒ සමඟම හැරමිටිගල ශාස්ත්‍රලංකාර පිරිවෙනෙහි ආචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලබා වසර 10ක කාලයක් තම ගුරු බිමෙහි ම සේවය කිරීමට වාසනාවන්ත විය. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයට උපහාරයක් වශයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිගරු සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව මඟින් කර්මාචාර්ය පදවියක් පිරිනමන ලදී. එතැන් සිට මල්වතු මහා විහාරය මංගල උපෝසථාගාරයෙහි සිදුකෙරෙන උපසම්පදා විනය කර්ම සඳහා ඉතා රුචිකත්වයෙන් සහභාගි විය. එම කාලසීමාව තුළ පිළිමතලාව ගිරාගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ නේවාසිකව වැඩ සිටි අතර එහිදී ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල හා බෝ සෙවණ පුස්තකාලය ආරම්භ කොට ප්‍රදේශයේ උන්නතිය සඳහා විශාල කර්තව්‍යයක් සිදු කරන ලදී.

එසේම යටිනුවර ප්‍රදේශයේ තරුණ භික්ෂූන් වහන්සේ සමඟ “යටිනුවර තරුණ භික්ෂු සංවිධානය” නමින් සංගමයක් ආරම්භ කොට එහි සභාපති ධූරය දරමින් ජාතික හා ආගමික කටයුතු රාශියක් සිදු කරන ලදී. “දැහැමි සිතිවිලි”නමින් වාර්ෂික ප්‍රකාශනයක් ද එළිදක්වන ලදී. එවකට බෝධිමාලකාරාමාධිපති ව වැඩසිටි ගැට්ටපොල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් නොමද සහයෝගයක් ලැබුණු බව සඳහන් කළ යුතු ම ය.

මෙසේ කාලය ගෙවී යද්දී තම ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව 1991 දී එප්පාවල මෙත්තාරාම විහාරස්ථානයේ වගකීම භාරගන්නට සිදුවිය. එහෙයින් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට පත්වීමක් ලබා එප්පාවල ප්‍රදේශයේ ආගමික හා සමාජයීය උන්නතිය සඳහා විශාල සේවයක් සිදු කළහ. එමෙන් ම එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීමට විහාරාංග රැසක් ද ඉදි කරන ලදී. එප්පාවල නාගරික බෞද්ධ සංගමය නමින් බෞද්ධ සංවිධානයක් ද, බෝ සෙවණ දහම් සේවා පදනම නමින් සමාජ සේවා ආයතනයක් ද පිහිටුවා ජාතික මට්ටමින් වැඩ කොටසක් සිදු කරන ලදී. එසේම තලාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ලෙස ශාසන උන්නතිය සඳහා විශාල සේවයක් සිදු කරන ලදී.

අධ්‍යාපනික වශයෙන් බෞද්ධ ධර්මය ගුරු උපදේශක වශයෙන් තඹුත්තේගම කොට්ඨාශ කාර්යාලයේ කලක් සේවය කොට නැවත කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස ද අනුරාධපුර මහා බෝධි මහා විද්‍යාලයේ සහ කටුකැලියාව විද්‍යාදීප මහා විද්‍යාලය යන විදුහල්වල සේවය කළහ. ඒ අතර යුද හමුදාවේ රණවිරුවන් දිරිමත් කිරීම සඳහා උතුරු නැඟෙනහිර යුද හමුදාව සමඟ කටයුතු කළ අතර, යුද්ධයෙන් පසුව ජාතික සමඟි වැඩසටහන් රැසක් සිදු කර ලදී. එහිදී “ද්‍රවිඩ සිංහල සමඟිය තුළින් තිරසාර සාමයක් ගොඩනඟමු” යන නමින් ග්‍රන්ථයක් එළි දක්වා ජාතික සමඟි සම්මන්ත්‍රණ පවත්වන ලදී.

මුන්වහන්සේ ග්‍රන්ථ කතුවරයකු වශයෙන් පොත්පත් රාශියක් රචනාකර ඇත. “කළගුණ සලකමු”, බුදු ගුණ මහිමය, 5000 දී ලෝකය, පාලි ඉගෙනුමට පහසු මග, ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ, උම්මග්ග ජාතකය සංස්කරණය, දේවදත්ත වරුනේ (ශාස්ත්‍රපති නිබන්ධනය), බුදු හාමුදුරුවෝ සහ දේවදත්ත හාමුදුරුවෝ (ළමා කෘතියක්), දැහැමි සිතිවිලි, මහා කඨින පින්කම, වන්දනා ගාථා, ඉන් කිහිපයකි.

උන්වහන්සේ වැඩ සිටි එප්පාවල ඛෙත්තාරාම විහාරය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කළ අතර තලාව, කිරලෝගම මිහිඳු ජයන්ති විහාරස්ථානය අභිනවයෙන් ආරම්භ කොට බෝ සෙවණ දහම් පාසල ආරම්භ කරන ලදී. උන්වහන්සේගේ අභිප්‍රායානුකූලව අවුරුදු 50 දී අනුරාධපුර පූජා භූමිය ආශ්‍රයට පැමිණීමේ අභිලාෂයක් විය. ඒ අනුව අවුරුදු 50 දී අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති ව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා අනුරාධපුර අනුලා මාවතේ බෝ සෙවණ ධර්ම පර්යේෂණ ආයතනය නමින් ස්ථානයක් ඉදි කොට ධර්ම ශාස්ත්‍රීය කටයුතුවලට මුල් තැන දී ක්‍රියා කරන ලදී. ඉන් අනතුරුව ගල්කඩවල කටුකැලියාව මහිලා මාවත බෝ සෙවණ විහාරස්ථානය නමින් අභිනව විහාරස්ථානයක් ගොඩනඟා අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන ලදී. මේ අතර ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේගේ අභියස සෑම පුර පසළොස්වක පොහොය දිනයක දී ම වසර 12ක් පුරා ධර්ම දේශනා පවත්වන ලදී. එසේම රුවන්වැලිසෑයේ පැවැත්වෙන මහා මුළුතැන් බුද්ධ පූජාව ආරම්භයේ සිට වසර තුනක කාලයක් දිනපතා තුන්වරුව අඛණ්ඩ ව පූජා පවත්වන ලදී. එය ජීවිතයේ මහඟු ඵලයක් ලෙස සලකන ලදී.

මේ වන විට කටුකැලියාව බෝසෙවණ විහාරස්ථානාධිපති ව වැඩවසමින් ආගමික හා සමාජයීය වශයෙන් සුවිශාල සේවයක් සිදු කරනු ලබයි. එම සේවාව අතිශයින් අගය කරන අතර උන්වහන්සේගේ 65 වැනි ජන්මෝත්සවය හා කඨින පින්කම වෙනුවෙන් 2023.11.11 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 12 වැනි දින දහවල් මල්වතු මහා විහාරීය අනුනායක අග්ගමහාපණ්ඩිත නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය 65 නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනමනු ලැබේ.

උන්වහන්සේට දීර්ඝායුෂ සැප බල ප්‍රඥා ලැබ වාසනාවන්ත උපන්දිනයක් වේවා!