Print this Article


සැබෑ දිනීම තමන් දිනීමයි

සැබෑ දිනීම තමන් දිනීමයි

තමන්ට තමා පහනක් කර ගන්න. වීර්යය වඩා නුවණැතියකු වන්න. කෙලෙස්මළ සහිත රාගය දුරු කරන්න. ජාති ජරා ආදියට නො පැමිණෙන්න. තමන් කරන හොඳ වැඩ තුළින් තමන්ගේ ජීවිතය ආලෝකවත් කර ගන්න.

ක්‍රෝධ කරන්නා ජයගත හැකි ක්‍රෝධ නොකිරීමෙන් ය. දුර්ගුණ ඇති තැනැත්තා ජයගත හැකි යහගුණයෙන් ය. මසුරු තැනැත්තා දීමෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද ජය ගත යුතු ය.

ක්‍රෝධ සිතිවිලි ඇති වූ විට හෝ ක්‍රෝධ කරන්නකු සිටින විට හෝ ඔබට ජයගත හැකි වන්නේ ක්‍රෝධ නො කිරීමෙන් හෙවත් මෙත් සිතිවිලි ඇති කර ගැනීමෙන් ය. තමන් තුළ ඇති නපුරු ගති නැති කර ගැනීමට හෝ නපුරු ගතිගුණ ඇති තැනැත්තන් ජය ගැනීමට හෝ යහගුණ ඇති කර ගත යුතු ය. තමන් සතු දේ දීමෙන් මසුරුකම ජය ගත යුතු ය. බොරුව ජයගත හැකි වන්නේ එයින් වැළකී ඇත්ත කතා කිරීමෙන් ය. මේ අනුව ක්‍රෝධය මෛත්‍රීයෙන් ද, නපුරු ගති යහගුණවලින් ද, මසුරුකම් දානයෙන් ද, බොරුව සත්‍යයෙන් ද ජය ගැනීමට අපිත් උත්සාහ ගනිමු.

අතීතයෙහි රජගහනුවර පූර්ණ නම් වූ දුප්පත් තැනැත්තෙක් සිටියේ ය. උත්සාහවන්ත ධාර්මික තැනැත්තකු වූ ඔහු පසුකාලයේ දී මහත් වූ ධන සම්පත් ලැබීය. එබැවින් සිටු තනතුරක් ද ලැබූ ඔහු මහධන සිටාණන් නමින් ප්‍රසිද්ධ විය. තෙරුවන් කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් සිටි මේ සිටුතුමා බුදු පාමොක් මහ සඟනට දන් දී බණ අසා ධර්මාවබෝධය ලැබ සෝතාපත්ති ඵලයට පත් විය. අනතුරුව එතුමාගේ බිරිඳ ද, උත්තරා නම් වූ දියණිය ද සෝවාන් විය.

මෙකල රජගහ නුවර බෙහෙවින් මසුරු තවත් සිටුවරයෙක් ද විසීය. මහා ධන සිටුවරයාගේ දියණිය වූ උත්තරා කුමරිය විවාහ කර දෙන ලද්දේ ඔහුගේ පුතුට ය. මේ නිසා පින් දහම් කිරීමට උත්තරා කුමරියට ඉඩකඩ ඇහිරිණි. තමන්ට අවශ්‍ය විවේකය ලබා ගැනීම සඳහා උපායක් කල්පනා කළ ඕ තොමෝ සිරිමා නමින් ප්‍රකට රූප සුන්දරිය සිටු මැදුරට කැඳවා ගත්තා ය. සිරිත් පරිදි දන් දීමාදියෙහි යෙදුණු උත්තරා කුමරියට සිරිමාගෙන් ලැබුණේ කරදර හා හිරිහැර ය.

මේ සියල්ල ඉවසීමට පුරුදු වූ කුමරිය කෝප නොවූවා ය. කෙසේ හෝ සිරිමාගේ සිත සැනසීමටත්, ඇය යහමඟ හැරවීමටත් උත්තරා කුමරියට හැකි විය. සිරිමා සැදැහැති බෞද්ධ උපාසිකාවක වූවා ය. කුමරියගේ සහය ඇතිව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් දීමට පවා සිරිමා ඉදිරිපත් වූවා ය. මෙතෙක් තමන් අතින් සිදු වූ දරුණු වැරැදි ඉවසමින්, කෝප නොවී, තමන් යහපතෙහි යෙදවීම ගැන උත්තරා කුමරියට ප්‍රශංසා කිරීමට ද ඈ අමතක නොකළා ය. මෙම කාරණය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉහත කී ධර්මාවවාදය දේශනා කළහ.

තමන්ට තමා පහනක් කර ගන්න. වීර්යය වඩා නුවණැතියකු වන්න. කෙලෙස්මළ සහිත රාගය දුරු කරන්න. ජාති ජරා ආදියට නො පැමිණෙන්න. තමන් කරන හොඳ වැඩ තුළින් තමන්ගේ ජීවිතය ආලෝකවත් කර ගත යුතු ය. තමන්ට පිහිට තමන් ම බව සලකා උත්සාහයෙන් කටයුතු කොට නුවණැතියකු වීමට ද, රාගාදී කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත පුද්ගලයකු වීමට ද මෙයින් උපදෙස් දී තිබේ. මේ සියල්ල කරගත යුත්තේ තමන් විසින් වන බැවින් වීර්යය උපදවා ගෙන නුවණැතියකු වීමටත්, කෙළෙස්මළ දුරුකර ගැනීමෙන් සියලු දුකින් මිදීමටත් උත්සාහ ගනිමු.

සැවැත්නුවර ආසන්නයේ ගවයන් මරා විකිණීමෙන් හා ගවමස් කෑමෙන් ජීවත් වූ පවිටු මිනිසෙක් විය. ගවයන්ට දෙන දරුණු වධ හිංසා ඉවසිය නොහැකිව සිටි ඔහුගේ පුතා පියාගෙන් වෙන් ව තක්ෂිලා නුවරට පැන ගියේ ය. එක්තරා රන්කරුවකු සමීපයේ සේවය කළ ඔහු සුළු කාලයක් තුළදී දක්ෂ රන්කරුවෙක් ද විය. තම ස්වාමියාගේ සිත් දිනා ගැනීමට සමත් වූ මේ තරුණයාට රන්කරුවාගේ දියණිය ද ආවාහ කර දුන්නේ ය.

ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔහු මහලු වියේදී තම දූ දරුවන් සමඟ නැවතත් සැවත් නුවරට පැමිණියේ ය. දූ දරුවෝ ද උත්සාහයෙන් කටයුතු කොට දියුණුවට පත් වූහ. දූ දරුවෝ එකතුව මහලු පියා වෙනුවෙන් බුදු පාමොක් මහ සඟනට දානයක් පිරිනැමූහ. එහිදී පියා දහම් අසා සෝවාන් විය. පියා වෙනුවෙන් දූ දරුවෝ නැවත නැවතත් මහ දන් පිරිනැමීමට අමතක නොකළහ. මෙම දානය පිළිගැන්වීම් අරභයා බුදුරජාණන් වහන්සේ ඉහත කී ගාථාවෙන් දහම් දෙසූ සේක. අනාගාමී වූ පියා බඹලොව ඉපදුණි.

තමා විසින් ම කරන ලද පාපයෙන් තමන් කෙලෙසෙයි. තමන් පව් නොකළහොත් තමා ම පිරිසුදු වෙයි. පිරිසුදුවීම හා අපිරිසුදුවීම පවතින්නේ තමන් අතේ ම ය. අනෙකකුට තවත් කෙනකු පිරිසුදු කළ නොහැකි ය. කෙනකු තම ජීවිතය කිළිටි කරගන්නේ තමන් විසින් ම කරනු ලබන පාපකාරී ක්‍රියාවන්ගෙනි. තමන් පාපයෙන් වැළකෙන්නේ නම්, පිරිසුදු අයකු විය හැකි ය. මේ අනුව පිරිසුදු වීම හෝ අපිරිසුදුවීම හෝ පිළිබඳ වගකීම රැඳී ඇත්තේ තමන් වෙත ම ය. එබැවින් සියල්ලන් විසින් කළ යුත්තේ තමන් ම තම පිරිසුදු බව රැක ගැනීම ය. වෙනත් කෙනෙක් තවත් කෙනෙක් පිරිසුදු කරන්නේ නැත. ඒ අනුව අප කළ යුත්තේ පාපකාරි ක්‍රියාවන්ගෙන් වැළකීමට තරයේ සිතට ගැනීම යි.

සිත,කය, වචනය යන තුන් දොරින් වැරැදි නොකිරීමට ද, යහපත් දේ කිරීමට ද, කෙලෙසුන්ගෙන් සිත පිරිසුදු කර ගැනීමට ද සියලු බුදුවරු අනුශාසනා කරති. එම අනුශාසනා පිළිපදින අප විසින් පාපකාරී ක්‍රියාවලින් වැළකිය යුතු ය. කුසල ක්‍රියාවන්හි යෙදිය යුතු ය. එසේම ලෝභ, දෝස, මෝහ යන කෙලෙසුන්ගෙන් මිදී සිත පිරිසුදු කර ගත යුතු ය. ලොව පහළ වන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය මෙයයි.

ධනය, බලය, කීර්ති – ප්‍රශංසා ආදීය තාවකාලික සතුට ලබාදෙන මාර්ගයන් මිස නියම සතුට ලබාදෙන මාර්ග නොවේ. නියම සතුට ලබා ගත හැකි එකම මාර්ගය දියුණු කරන ලද සිත ය. සතුට යනු කිසියම් මානසික තත්ත්වයක් නිසා එය ලබා ගත යුත්තේ දියුණු කරන ලද මනසින් ම ය. සිතෙන් ම ය. මානසික ශාන්තිය ලැබිය නොහැකි යැයි සමහරු සිතතත්, එය සම්පූර්ණයෙන් ම වැරැදි සිතිවිල්ලකි. සිත පිරිසුදු කිරීමෙන් ආධ්‍යාත්මික ශාන්තිය ලබා ගත හැකි ම ය. විනාශ වන, අස්ථිර ලෝකයේ වස්තූන් අත්හැර දැමීමෙන් ස්ථිර නොමියන සතුට ලබා ගත හැකි ය.

ජය ගත හැකි ය, කෙනෙකුට දහසක් දෙනා, දහස් වාරයක් යුද්ධයේ දී එනමුදු දිනන්නන් අතර ප්‍රමුඛයා නම් තමන් ජය ගන්නා පුද්ගලයා ම වේ.