Print this Article


ළමා දිනයට පසුවදනක්

ළමා දිනයට පසුවදනක්

ජාත්‍යන්තර ලෝක ළමා දිනය පසුගිය දා අපි සැමරුවෙමු. පාසල්, දහම් පාසල්, බාහිර පන්ති, මාධ්‍ය නාලිකා, විවිධ ආයතන මෙම ළමා දින සැමරුමට එක්විණි. ලොවේ සම්පත දරුවෝ යන තේමාව යටතේ ඒ දරුවන් ආරක්ෂා කිරීම ළමා දිනයක් ප්‍රකාශ කිරීමේ අරමුණ විය.

මේ අර්ථය යටතේ ළමා දිනය සැමරුවේ ද, එසේත් නැතහොත් තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම උදෙසා ළමා දිනය සැමරුවේ ද යන්න හෘදසාක්ෂියෙන් විමසිය යුතු පැනයකි. බැලූ බැල්මට නම් ළමයින් දඩමීමා කරගෙන තම පුද්ගල ප්‍රතිරූපය ගොඩ නඟාගන්නට හා වානිජ පරමාර්ථ මුදුන් පමුණුවා ගන්නට ගත් තැතක් මිස අව්‍යාජව ළමයින් කෙරෙහි වූ සෙනෙහසක් නම් නොවීය. චේතනාව එසේ වුවා නම් අපරාධ නීතිය යටතේ කුට්ටනය නම් වූ අපරාධය ඒ තුළ සිදුව ඇත.

ළමා ශ්‍රමිකයන් යොදවා ගැනීම, ළමයින් උදෙසා ගෘහස්ථ හා සමාජ හිංසනය, ළමයින්ගේ දුෂ්පෝෂණය, ළමා දූෂණය, ආදි වූ ළමයින් පීඩාවට පත් කරන කරුණු පිළිබඳ සමාජය දැනුවත් කොට, ළමයින් ඒ අනතුරුවලින් ගලවා ගැනීම උදෙසා සමාජ ආකල්ප ගොඩ නැංවීම ළමා දිනයක් නම් කිරීම තුළින් අපෙක්ෂා කරයි.

ළමයින් පීඩාවට පත් කළ මේ කියන දේ එක් කාල වකවානුවකට නොව නිරන්තරයෙන් මේ සමාජය තුළ පවතියි. ඒ සඳහා විසඳුම් සෙවීමේ ක්‍රමවේද පමණක් කලින් කලට වෙනස් වෙයි. වර්තමානයේ කෙරෙන්නේ ළමයින්ට තෑගි භෝග දීම, ආහාර වේලක්, අයිස්කී‍්‍රම් එකක් ලබා දීම, ළමයින් සතුටු කරන්නට වැඩිහිටියන් ගුරුවරුන් නැටුම් නැටීම වැනි කි‍්‍රයාදාමයන් ය. මේ තුළින් ලැබෙන සතුට කෙටිකාලීන වෙයි. නිමේෂයක් තුළ ළමයා යළි පීඩාවට ලක් වෙයි. මේ සඳහා වන සතුට ලෞකිකයි.

ඓහලෞකික, පාරලෞකික, උභය ලෞකික, ලොකෝත්තර සතුට සඳහා ළමයින්ට උපකාර කළ ලොව පහළ වූ එකම පුද්ගලයා ලොව්තුරු ශාන්තිනායක අමා මෑණි වූ අපගේ බුදු පියාණන් වහන්සේ පමණි. උන්වහන්සේ පියකු සේ, මවක සේ කුළුණු මෙත් ගුණ සිත් දරා ළමයින්ට පිහිට වූහ.

සුනීත, රජ්ජුමාලා ළමා ශ්‍රමිකත්වය තුළින් පීඩා විඳි දෙපළකි. සුනීත සැඩොල් කුලයෙහි උපන්නෙකි. උපතින් ඔහුට හිමි වූයේ සමාජයේ උසස් යැයි කියූ අය හෙළන වසුරු බාල්දි ඇදීමයි. මෙලෙස වසුරු කදක් රැගෙන යන විට ඔහු බුදුරදුන්ට මුණ ගැසෙයි. බුදුරදුන් ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට කතා කොට ඔහුට උත්තම පැවිද්ද ලබා දෙයි. ලෞකික සතුට මෙන් ම ලෝකෝත්ර සතුට ලබා දෙයි.

මාලා නම් දැරිය දුප්පත් වූ නිසා සිටු මැදුරක බැල මෙහෙවරකම් කරයි. ස්වාමි දියණිය ඇයට අඩම්තෙට්ටම් කරයි. මාලාට දිග කොණ්ඩයක් විය. ස්වාමි දියණිය කොණ්ඩයෙන් ඇද මාලාට පහර දෙයි. මේ නිසා ඇය කොණ්ඩය කපා දමයි. එවිට ස්වාමි දියණිය ඇගේ කරට ලණුවක් දමයි. දැන් පහර දෙන්නේ ලණුවෙන් ඇද ළං කර ගෙන ය. ලණුවක් කරට දැමූ නිසා ඇය රජ්ජුමාලා විය. ස්වාමි දියණියගේ පීඩාව ඉවසිය නොහැකි රජ්ජුමාලා තම කරට දැමූ ලණුව උපයෝගි කරගෙන ගසක එල්ලී සිය දිවි හානි කර ගන්නට සුදානම් විය. එතැනට පැමිණි බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාට ධර්මය දේශනා කළ සේක. බණ අසා සෝවාන් වූ මාලා සියදිවි හානි කර ගැනීම පසෙකලා නිවසට ගොස් තම කටයුතු නිවැරැදි ව කරමින් සතුටින් විසීය.

සෝපාක, මට්ටකුණ්ඩලි, අංගුලිමාල, චත්තමානවක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට, සමාජ ප්‍රචණ්ඩත්වයට පත් වූ දරුවෝ වෙති. තම පියා මියයෑමෙන් අනතුරුව මව වෙනත් විවාහයක් කර ගනියි. මවගේ දෙවැනි ස්වාමිපුරුෂයා සෝපාකට හිරිහැර කරයි. දිනක් රාතී‍්‍ර‍ ගමින් ඈතක තිබුණ අමු සොහොනකට ගෙන ගොස් සෝපාක මළ මිණියකට තබා බැඳ දමයි. පණපිටින් ම වෘකයන්ගේ, නරින්ගේ ආහාරයක් ව ඔහු විනාශ කිරීම අරමුණ විය. සෝපාක හඬන හඬ කිසිවකුටත් ඇසුණේ නැත.

එහෙත් බුදුරදුන්ට ඇසිණි. උන්වහන්සේ එතැනට ගොස් සෝපාක බැඳ දැමූ බැමි ලිහා ඔහු දෙව්රමට ගෙනැවිත් උතුම් වූ පැවිද්ද ලබා දුන්හ. ප්‍රතිපත්ති පුරා ඔහු රහත් භාවයට පත් විණි.

මසුරු පියකුගේ නොසැලකිල්ලට මට්ඨකුණ්ඩලී ලක් වෙයි. විසිතුරු ඇඳුම් ආයිත්තම් කෙසේ වෙතත් ඔහුට පෝෂ්‍යදායි අහරක් ද නොලැබි දුෂ්පෝෂණය නැතහොත් මන්ද පෝෂණය නිසා පාණ්ඩු රෝගයෙන් පෙළිණි. මසුරු පියා මොහුට නිවැරැදි ඖෂධයක් ලබා දීම හෝ ප්‍රතිකාරයක් කිරීම නොකළේ ය. මරණාසන්න වූ මට්ටකුණ්ඩලි නිවසින් පිටත දැමී ය. මෙය දුටු බුදුරජාණන් වහන්සේ ඔහුට තම රුව පෙනෙන්නට සැලසී ය. බුදු රුව දැක සතුටු වූ මට්ටකුණ්ඩලි දෙව්ලොව ඉපදුණි.

ගුරුවරයකුගේ වැරැදි උපදේශය මත ගුරු පඬුරු සඳහා මිනිසුන් මරමින්, ඇඟිලි කපා ගත් අංගුලිමාල මිනීමරුවකු විය. ගුරුවරයා අපේක්ෂා කළේ ඇඟිලි කපන්නට ගොස් ඔහු කාගෙන් හෝ මරුමුවට පත් කිරීමයි. එහෙත් එය සිදු නොවිණි. මව මරා ආනන්තරීය පාප කර්මය සිදු කර ගන්නට පෙර බුදුරදුන් ඔහුට පිහිට විය. උත්තම පැවිද්ද හා නිවන ඔහුට ලබා දුණි.

ගුරු පඬුරු පුදන්නට වන මැදින් ගිය චත්තමානවකගේ මරණය බුදුරදුන්ට වැළකිය නොහැකි විය. එහෙත් මරණින් මත්තේ නිවන් දකින්නට හැකි අයුරින් ඔහු තෙරුවන් සරණ ගිය පුද්ගලයකු බවට පත් කෙරිණි.

යක්ෂයකුට බිලි වීමට සිටි පඤ්චායුද කුමාරයා හා ආලවක යක්ෂයාට බිලි වීමට සිටි දිඝායු කුමාරයා තම දිවි රැක ගත්තේ බුදුරජාණන් වහන්සේ තුළිණි.

මේ යක්ෂයා වර්තමානයේ දරුවන්ට ඇතිවෙන ලිංගික හිංසා, මත් වතුර, මත්ද්‍රව්‍ය, ජංගම දුරකථනය වැනි දරුවන් බිලි ගන්නා අවස්ථා නිරූපණය කරයි. දරුවන් ලොවේ සම්පතයි. දරුවන් සුරකින්නට ළමා දින පවත්වන සමහර නාලිකා, ඇතැම් මාධ්‍ය ආයතන අනෙක් දිනයන් හි විකාශන තුළින් දරුවන් කායික මානසික වශයෙන් විනාශ කරයි. සමහර බාහිර පන්ති ගුරුවරු ළමයින්ගේ ළමා කාලය විනාශ කර උදේ සිට මධ්‍යම රාති‍්‍රය දක්වා ළමයින්ට උගන්වති. දරුවන් මෙහි දමා සමහර මවුවරු, පියවරු සල්ලි සොයා පිටරටවලට ඉගිලෙති. සල්ලි රැගෙන එන විට දරුන්ට විපත් සිදු වී හමාර ය. ඇතැම් ගුරුවරු, මවුපියෝ, වඩිහිටියෝ දරුවන්ට හිංසා කරති. ලිංගික හිංසා කරති. එසේ නම් මෙම පීඩාවන්ගෙන් ළමයින් සුරැකීමට විය යුතේ ළමා දින සැමරීම ද? බුදුරජාණන් වහන්සේ මෙන් ඔවුන් කායික මානසික වශයෙන් සුපෝෂණය කිරීම ද?

දරුවන් රටේ අනාගතය නම් ඒ දරුවා කායික වශයෙන්, මානසික වශයෙන් සුපෝෂණය කිරීමට සෑම වැඩිහිටියකු ම, වග බලා ගත යුතුයි. ළමයින්ට වන හිංසා පීඩා සියල්ල නැති කළ යුතු යි. ඒ රටේ රජයේ, අධ්‍යාපනයේ වගේ ම වැඩිහිටි පුරවැසියන්ගේ යුතකමයි.