Print this Article


මරණාසන්න මොහොතේ කිසිවකුට පසමිතුරෙක් නොවන්න කල්‍යාණ මිතුරකු ම වන්න

මරණාසන්න මොහොතේ කිසිවකුට පසමිතුරෙක් නොවන්න කල්‍යාණ මිතුරකු ම වන්න

ඩයරියේ ලියන්නේ මොනවාද? තව කෙනෙකුට බලන්න බැරි කුණූුගොඩවල් තියෙන්නේ. ඕක හංගලානේ තියා ගන්නේ. එතකොට ඒක නිකම් පව් පොතක් වගේ. තිබ්බ කුණු ගොඩවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ඉඳන් අපේ මිනිස්සු අතර තිබ්බේ පින් පොත. තමන් කරන පින් දහම් එකින් එක ලියනවා. දැන් හිතන්න මෙහෙම, ඔබ ඔබේ ජීවිතයේ කළ පින්කම් අඩුගානේ අසවල් දවසේ බණක් ඇහුවා. මෙන්න මේ ධර්ම කරුණු ටික ඉගෙන ගත්තා කියලා සාරාංශය කරලා ලියා ගන්න.

බුද්ධ දේශනා අතර තියෙනවා ඔබ අහල ඇති නකුලමාතා, නකුලපිතා කියලා දෙදෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මගේ ජීවිතයේ ගිහි ශ්‍රාවකයෝ, ගිහි ජීවිතය ගත කරන අය මේ නකුලමාතා, නකුලපිතා ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න කියලා. ඒකට හේතුව නකුලමාතා, නකුලපිතා කියන දෙන්නා තුළ තිබුණ සම ශ්‍රද්ධා (දෙන්නම ශ්‍රද්ධාවෙන් සමාන යි) සම සීල (සීලයෙන් සමානයි) සම ත්‍යාග - (ත්‍යාග සම්පත්තිය හුරු කරන දෙන්නෙක්) සම ප්‍රඥා (ප්‍රඥාව දියුණු කරන අය ) යනාදි ගුණාංගයි.

බුදුරජාණන් වහන්සේ මේ කරුණු ගැන පෙන්වලා දෙනවා මෙන්න මේ අය මේ වගේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන සමාන ගුණධර්මවලින් යුක්ත යි. ඒ නිසා මගේ ගිහි ශ්‍රාවකයෝ මෙවැනි ගුණ ඇති අය ආශ්‍රයට ගන්න කියලා. දැන් එතකොට ආශ්‍රයෙන් ජීවත් වුනත් ලෝකයේ අපි කාටත් උරුම වෙන දේ තමයි කවුරුහරි ඉස්සර වෙනවා. කවුරු හරි මැරෙණවානේ. මේ නකුලපිතා කියන ගෘහපතියා මරණාසන්න වුණා. එක් තැන්වෙලා ලෙඩ වෙලා, ඇඳට වැටිලා, මරණාසන්න වුන වෙලාවේ බිරිඳ ස්වාමියාට කල්‍යාණ මිත්‍රයෙක් වූ හැටි අංගුත්තර නිකායේ නකුලපිතා කියන සූත්‍රයේ සඳහන් ව තියෙනවා.

කාලයක් ආදරයෙන් සිටි මේ දෙන්නා වයසට යනතෙක් බොහොම හිතවත්කමින් ජීවත් වුණා. තම සැමියා මරණාසන්න වූ වෙලාවේ බිරිඳ ඔහු ළඟට ඇවිත් කියනවා හිමියනි, අපි මේතරම් කාලයක් බොහෝ ආදරයෙන් ජීවත් වුණා. හැබැයි දැන් ඔබ මරණාසන්නවයි ඉන්නේ. මෙන්න මේ විදියට හිත පිහිටවන්න. මේ විදියට සිහිකරන්න කියලා උපදෙස් දෙනවා.

මේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, හරකා බාන, රන් රිදී, මුතු මැණික්, ආදී බෝග සම්පත් ඒවා සියල්ල අනිත්‍යයි කියනවා. මේවා නැසී වැනසී යන දේවල්. මේ බෝග සම්පත් ගැන ආශාවක් තියෙනවා නම් අතහැර ගන්න කාලයයි කියනවා. කෙනෙකු මරණාසන්න වෙලාවේ මුලින් අතහරින්න වන්නේ තමන්සතු බෝග සම්පත්, ගෙවල්, දොරවල්, ඉඩකඩම්, හරකබාන, රන් රිදී මුතු, මැණික්, යාන වාහන ආදිය. මට මේවා අතහැර ගන්න කාලයයි කියලා සිහි කරන්න කියනවා.

ඉන්පසු කියනවා, පංචකාමයන් ගැන ආශාවෙන් මැරිල යන, දුගතියේ උපදින අයට බුදුවරු ප්‍රශංසා කරන්නේ නෑ. ඒ නිසා බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ පංචකාමයන් අනිත්‍ය යි. මේවා නැසී වැනසී යන දේ. මේ බෝග සම්පත් සියල්ල අනිත්‍ය වූ දේ ඒ නිසා මේ ගැන තියෙන ඇල්ම අතහැර ගන්න ඔබට කාලය තියෙනවා. ඔන්න පළමුවැනි උපදේශය.

දෙවැනියට මේ බිරිඳ කියනවා දැන් ඔබ හිතන්න කියනවා ඔබට මෙහෙම දෙයක් හිතෙන්න පුලුවන්. අනේ මා මැරුණයින් පස්සේ මගේ දරුවෝ ටික අසරණ වෙයි ද? බිරිඳට පුළුවන් වෙයිද, මේ දරුවන්ගේ වැඩ කර ගන්න. දරුවන් ගැන කවුද බලන්නෙ කියලා. දරුවෝ ගැන හිත හිතා මැරෙන්නත් එපා කියනවා.

ඒ කාලේ තිබ්බ රස්සාවල් ගැන මෙසේ කියනවා. මට ලොම් කටින්න පුලුවන්, මට කපු කටින්න පුලුවන්. ඒ නිසා වෙනදාටත් වඩා වෙහෙස මහන්සිවෙලා දරුවෝ ගැන මා බලා ගන්නම්. ඒ නිසා ඔබ දරුවෝ ගැන හිත හිතා මැරෙන්න එපා. දරුවො ගැන හරි ඇල්මක් හැඟීමක්, ආශාවක් හිතීමක් මතුවෙනවා නම් එයත් අතහැර ගන්න කාලයයි කියනවා.

පළමුවැනියට ම අතහරින්න කිවුවේ බෝග සම්පත්. දෙවැනියට අතහරින්න කියන්නෙ දරුවන් ගැන තියෙන ඇල්ම. තුන්වැනියට කියනවා පෙම්බර සැමිය, ඔබට මම ගැන හරි හිතෙන්න පුලුවන්. අනේ මගේ බිරිඳ මා නැති වුණොත් තනි වෙනවා නේද? බිරිඳ අසරණ වෙනවා නේද? බිරිඳට පුලුවන් වෙයි ද මේවා කර ගන්න කියලා. මම ගැන ඔබට මරණ මංචකයේ දි ආදරයක්, සෙනෙහසක්, ඇල්මක්, උපදින්න පුලුවන්. ඒ නිසා පෙම්බර සැමිය, මම ගැන හරි ඇල්මක් තියෙනවා නම් එයත් අතහැර ගන්න කාලයයි කිවුවා. දැන් ඔන්න අතහරින්න කරුණු තුනක් කිවුවා.

ඊළඟට හිත පිහිටුවූ කරුණු 05 තුළ පලමුවැන්න තමයි තුණුරුවන් ගැන ශ්‍රද්ධාව. ඒ බිරිඳ ළඟ ඉඳගෙන කියනවා, පෙම්බර සැමිය, අපි බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. උන්වහන්සේ ගේ ධර්මය ඇහුවා. මගඵලලාභී ශ්‍රාවකයන් ඇසුරු කළා. දන් පැන් පූජා කළා. උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුවන්න කිවුවා. බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණවලින් යුක්තයි කියලා එකින් එක එකින් එක, බුදු ගුණ කියා දුන්නා.

දැන් අර මරණ මංචකයේ ඉන්න ස්වාමියා වැඳගෙන අහගෙන ඉන්නවා. බිරිඳ බුදුගුණ කියලා ඔන්න ශ්‍රද්ධාවේ හිත පිහිටෙව්වා.

දෙවැනියට කියනවා අපි මෙච්චර කාලයක් සීලවන්ත ජීවිතයක් ගත කළා. පෝයට උපෝසථ ආරක්ෂා කළා. ඒ නිසා ඒ ගැන හිතලා මම කොයිතරම් සීලවන්ත ජීවිතයක් ගත කළ කෙනෙක් ද කියලා සීලයේ හිත පිහිටුවා ගන්න කීවා.

ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ගැන, රහතන් වහන්සේ ගැන අසා තියෙන ධර්මය මෙනෙහි කර ගන්න කියලා. ඥානවන්ත ව දහම් දැනුම ගැන සිහි කරලා හිත පිහිටුවන්න කියලා. හතරවැන්න ත්‍යාග සම්පත්තිය, දන් දුන් හැටි, කළ පින්දහම්, ඒ දානමානාදී පින් දහම් ගැන හිත හිතා ඒ මරණ මංචකයේ දී ඒවා සිහි කරන්න කීවා. ඒ කාලයේ ඉස්සර මිනිස්සු පින්පොත් කියෙව්වේ තමන් කරන පින මරණාසන්න වෙලාවේ සිහි කරන්න. එසේ සිහි කරන්න, සිහිකරන්න පින මතු වෙනවා. පින බලවත් වෙනවා. ඒ නිසා අර බිරිඳ කියනවා ඒ කළ පින් දහම් සිහිපත් කරන්න. අපි මේ විදියට දන් දුන්නා. මේ වගේ පින්කම් කළා. මේවගේ පින් දහම් කර ගත්තා. මේවා ගැන හිත හිතා ත්‍යාග සම්පත්තියේ හිත පිහිටුවන්න කියලා.

ප්‍රඥාව කියන්නේ මේ පංචස්කන්දය ආයතන පහක් ගැන අනිත්‍ය වශයෙන් සිහි කරගෙන ඇතිකර ගන්නා අවබෝධය. එතකොට කරුණු පහක් ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා.

එහෙම නම් බලන්න, බිරිඳ ළඟට ඇවිල්ලා මරණාසන්න ස්වාමියාට කරුණු තුනක් අතහරින්න කිවුවේ. ගෙවල් දොරවල්, ඉඩකඩම් ආදි බෝග සම්පත් ගැන ඇල්ම අතහරින්න. දරුවො ගැනත්, බිරිඳ ගැනත් තියෙන ඇල්ම අතහැර දාන්න. හැබැයි ඒවා හිතින් අතහැරලා හිත පිහිටුවන්න ඕන කරුණු පහක් කියනවා. තුණුරුවන් ගැන ශ්‍රද්ධාව, සීලවන්තකම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මේ පහ තුළ හිත පිහිටුවලා සුගතියේ හිත පිහිටුවාගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. දැන් මේ බිරිඳ කියපු ධර්ම කරුණු ටික අහගෙන අර ස්වාමියා පුදුම විදියට වීර්යයකින් ධර්මයේ හිත පිහිටුවා ගෙන හිටියා. මරණයට බොහෝ ළංව සිටි නකුල පියා බිරිඳගෙන් ධර්මය අහලා ඔහුගේ පින බලවත් වෙලා, පෙර පින මතුවෙලා ධර්මය මෙනෙහි කරන කොට ටිකෙන් ටික, ටිකෙන් ටික සනීප වුණා. දැන් ටිකක් ඇඳෙන් නැඟිටලා ඇවිදගන්න පුලුවන්. දිනක් ඔහු හැරමිටියක් අරගෙන බොහොම අමාරුවෙන් ඇවිදගෙන ගියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි විහාරයට. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගිහින් වන්දනා කර එකත්පස වාඩිවෙලා කියනවා,

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ බිරිඳ මට ලාභයක් ම යි කියලා “මගේ බිරිඳ මට කල්‍යාණ මිත්‍රයෙක් ම යි කියලා ස්වාමීනි, මම මරණාසන්න වෙච්ච වෙලාවේ මගේ බිරිඳ මට මෙන්න මේ උපදෙස් ටික දුන්නා කියලා අර බිරිඳ දීපු උපදෙස් ඔක්කෝම බුදුරජාණන් වහන්සේට කීවා.

බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අනුමත කළා. අනුමත කරලා බුදුරජාණන් වහන්සේ වදාළා ගෘහපතිය, ඔබේ බිරිඳ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් තමයි. ඔබේ බිරිඳ ඔබට ලාභයක් ම යි. මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර, කාම ලෝකයට නො යන ස්වභාවයෙන් සීල, සමාධී, ප්‍රඥා දියුණු කළ යම්තාක් ශ්‍රාවිකාවෝ ඇද්ද, ඔබේ බිරිඳත් ඒ අයගෙන් එක්කෙනෙක් කියලා. එතකොට කාම ලෝකයට ආයෙමත් එන්නේ නැති ස්වභාවයෙන් සීල, සමාධි, ප්‍රඥා වඩාගෙන ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ අනාගාමීවෙලා.

එතකොට බලන්න බිරිඳත් මරණාසන්නව ඉන්න ස්වාමියාට දීපු උපදෙස් ටික. මරණාසන්න මොහොතේ අර ස්වාමියාට කල්‍යාණ මිත්‍රයෙක් වුණේ කවුද? බිරිඳ කල්‍යාණ මිත්‍රයෙක් හැටියට කටයුතු කළා.

ඊළඟට අපි බලමු අපි කවුරුත් දන්නවනේ. දුටුගැමුණු රජ්ජුරුවෝ ගැන. යුද්ධයක් අවසන් කරලා තමයි රට එක්සේසත් කළේ. රජතුමා රුවන්වැලි සෑය හැදුවා. මිරිසවැටිය චෛත්‍ය හැදුවා. ඒ වගේ තව බොහෝ වෙහෙර විහාරස්ථාන ගොඩනැඟුවා. ලෝවාමහාපාය කළා. මේ වගේ මහා විශාල දේ ගොඩනඟලා දුටුගැමුණූු රජතුමා මරණාසන්න වුණා. රජතුමා මරණාසන්න වූ වෙලාවේ අනේ මා මේ මාළිගාවල් දාලා මැරෙන්නේ කොහොමද? මේවා දාලා යන්නේ නෑ කීවද? ඔන්න බලන්න රටම එක්සේසත් කරපු රජ්ජුරුවෝ වුණත් මරණාසන්න වෙච්ච වෙලාවේ අමාත්‍යවරුන්ට කියනවා.

‘අනේ මාව ඇඳක තියාගෙන උස්සන් යන්න. මට රුවන්වැලි මහා සෑය වඳින්න ඕන.’ අන්න මරණ මංචකයේ හිත ගියේ කොතැනට ද බුදුන් වඳින්න. තමන් හදපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් කර සකස් කළ මේ මහා පූජනීය චෛත්‍ය වන්දනා කරන්න තමයි හිත ගියේ. අර පංචකාමයන්ට නොවෙයි. ඒ වෙලාවේ අමාත්‍යවරු ඇවිදින් ඇඳ පිටින් උස්සගෙන ගියා රුවන්වැලි මහා සෑ මලුවට. රජතුමා කියනවා මා සෑය වටේ ප්‍රදක්ෂිණා කරවන්න කියලා. චෛත්‍ය වටේ හිටපු මිනිස්සු මොකද කළේ, අර අමාත්‍යවරු ඇඳ පිටින් ම උස්සගෙන චෛත්‍යය වටේට ම එක්කරගෙන ගියා. ඊටපස්සේ මලුවේ කෙළවරකින් තිබ්බා. ඒ පැත්තට හැරිලා වැඳ ගත්තා. අමාත්‍යවරයෙක් දුවගෙන දුවගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ගේ පින්පොත අරගෙන ආවා. අන්න කල්‍යාණ මිත්‍රයෙක් වෙච්ච හැටි. පින්පොත රජ්ජුරුවන් ළඟ ඉඳගෙන කියවනවා, රජතුමාට මතකද යුද්ධය දිනලා ජයකුන්තය තැන්පත් කරලා මිරිසවැටි චෛත්‍යය හැදුවා කියලා. රජු සාධුකාර දුන්නා. අර මලුවේ කරපු පින් සිහිකර ගෙන ඊටපස්සේ ඊළඟ පිටුව පෙරළගෙන අහනවා, රජතුමාට මතකද සංඝයා වෙනුවෙන් නවමහල් ප්‍රාසාදයක් කරලා පූජා කළා. පෝයගේ කළා. සාධු කාර දුන්නා. පින සිහි කරගෙන මේ රුවන්වැලි සෑයට මංගල උලු තියපු දවස මතකද ඇහුවා. රජ්ජුරුවන්ට ලක්ෂ ගණන් රහතන් වහන්සේ වැඩියා මතකද ඇහුවා. සාධුකාර දුන්නා සිහි කරගෙන. එතකොට බලන්න අර මරණාසන්න මොහොතේ තමන් කරපු සියලු පින් දහම් එක එක එක එක සිහිපත් කළා. සිහිපත් කරලා පින මතු කෙරෙව්වා. පින බලවත් කර දුන්නා. අන්න බලන්න මරණාසන්න කෙනකුට කල්‍යාණ මිත්‍රයෙක් වූ හැටි. ඒ නිසා මරණාසන්න කෙනකුට ඒ විදියට ළඟ ඉඳන් කෙනෙක් පින මතු කරනවා නම් කරපු පින සිහිපත් කරනවා නම් අන්න ඒක තමයි කල්‍යාණ මිත්‍රයකුගේ ක්‍රියාව.

රජුගේ පින බලවත් වුණා. දෙවිවරු දිව්‍ය රථවලින් ඇවිත් අහසේ පෙනී සිටියා. ඉඳලා කතා කරනවා.

රජතුමනි, එන්න අපේ දිව්‍ය ලෝකයට. එන්න අපේ දිව්‍ය ලෝකයට කියලා. දෙවිවරු කතා කරනවා. එහෙම කතා කරන කොට මහරහතන් වහන්සේ වටේ පිරිලා රජ්ජුරුවන්ට පිරිත් දේශනා කරනවා. රජතුමා අතින් කියා හිටියා පොඩ්ඩක් ඔහොම ඉන්න කියලා. මම මේ පිරිත් අහනවා. සමහර පිරිත් කියපු හාමුදුරුවරු සිත දකින්න බැරි බොහෝ භික්ෂූන් වහන්සේ හිතුවා අනේ මේ රජතුමා පිරිත් කියන එක තමයි මේ නවත්වන්න කියන්නේ කියලා. මේ අතින් සංඥා දෙන්නේ කියලා. සමහරු පිරිත් කියන එක නැවැත්තුවා. එතැන හිටපු ගිහි අය බොහෝ දෙනෙක් හිතුවා අනේ මේ රජතුමා මේ තරම් පින්කම් කරලා මරණාසන්න වෙච්ච වෙලාවේ සිහි මුලා වුණා නොවේද? කියලා. එහෙම හිතනකොට ම එතැන හිටියා ථේරපුත්ථාරාම අභය මහා රහතන් වහන්සේ. උන්වහන්සේ දුටුවා මේ මිනිසුන්ගේ සිතිවිලි. රජ්ජුරුවෝ මරණාසන්න වෙලාවේ රජතුමා ගැන වැරැදි අදහසක් මිනිස්සු අතරට යනවා. දිව්‍ය රථ හයක් අහසේ රැඳී තියෙනවා. මේ දිව්‍ය රථවල මල් මාලා රැඳේවා කියලා අධිෂ්ඨාන කරලා ථේරපුත්තාරාම මහ රහතන් වහන්සේ අහසට මල් මාලා විසි කළා. මල්මාලා හයම දිව්‍ය රථවල දැවටුණා. දැන් මිනිසුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ නෑ. දිව්‍යරථ පේන්නෙත් නෑ. හැබැයි අර මල් මාලා හය අහසේ රැඳිලා තියෙනවා පේනවා. අන්න එතකොට සියලු දෙනා දැන ගන්නවා මේ නම් දුටුගැමුණු රජතුමා එක්ක යන්නම දෙවියන් දිව්‍ය ලෝකවලින් වැඩම කරලා කියලා.

එතකොට බලන්න මේ සිදුවීම්වලින් අපිට පේනවා මරණාසන්න මොහොතේ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුලුවන්. ඒ කල්‍යාණ මිත්‍රයෙක් වෙන හැටි තමයි තමන් කළ පින් දහම් බොහෝ දෙනකුට මරණාසන්න වෙන කොට පින සිහි වෙන්නේ නෑ. අන්ත අසරණයි. කරපු පින මරණාසන්න වෙන්න ඕනෑ නෑ.

අපි දැන් අහමු. ඔබෙන් එකපාරට ම මම ඇහුවොත් කරපු පින්කම් 10 කියන්න කියලා. මතකයෙන් 1ක්, 2ක් මතක් කරයි. 3ක් 4ක් කියයි. ඉතිරි ටික මතක නෑ කියයි. එතකොට අපි අපේ ජීවිතයේ කළ පින් දහම් අපිට මතක නෑ. ඒවා දවසයි දෙකයි. අමතක වෙලා යනවා. ඒ නිසා ඉස්සර මිනිස්සු පින් පොත් තියා ගත්තා. තමන් කරන පින් දහම් පොතක ලියාගෙන ඒක නිතර නිතර බලනවා. සිහි කරනවා.හිත හිතා සතුටු වෙනවා. පින ගැන හිතන්න. හිතන්න පින බලවත් වෙනවා. අපි පින්පොත් තියාගත්තාට කවුරුවත් පවු පොත් ලියනව ද? පව කියන එක හිතෙන් අයින් කරනවා. සබ්බ පාපස්ස අකරණං – (පාපී අකුසල් හිතෙන් දුරු කරනවා) ඒවා සිහි කර කර වඩවන්නේ නෑ. පාපී අකුසල්. සිතෙන් අයින් කරලා දානවා. ඒ නිසා අපි කියනවා සබ්බ පාපස්ස අකරණං. දැන් බලන්න අපිට අද පින් පොත නෑනේ. අද තියෙන්නේ ඩයරිය. ඩයරියේ ලියන්නේ මොනවාද? තව කෙනෙකුට බලන්න බැරි කුණූුගොඩවල් තියෙන්නේ. ඕක හංගලානේ තියා ගන්නේ. එතකොට ඒක නිකම් පව් පොතක් වගේ. තිබ්බ කුණු ගොඩවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ඉඳන් අපේ මිනිස්සු අතර තිබ්බේ පින් පොත තමන් කරන පින් දහම් එකින් එක ලියනවා. දැන් හිතන්න මෙහෙම ඔබ ඔබේ ජීවිතයේ කළ පින්කම් අඩුගානේ අසවල් දවසේ බණක් ඇහුවා. මෙන්න මේ ධර්ම කරුණු ටික ඉගෙන ගත්තා කියලා සාරාංශය කරලා ලියා ගන්න. මං අද දවසේ මේ විදියට දානයක් දුන්නා. මං මේ වගේ පින්කමක් කර ගත්තා. මේ වගේ තමන් කරපු පින් දහම් ලියලා පොතක් වෙනම තියා ගත්තොත් අවුරුදු පහක් හයක් යනකොට ඔබේ පොත පිරිලා දන්නෙම නැතුව. ඊට පස්සේ ඔය පොත කියව්වෙ නැතත් පොත පෙරළාගෙන ගියත් හිතට සතුටක් ඇතිවෙන්නේ නැද්ද? මගේ ජීවිතේ මේ තරම් පොත පිරෙන්න පින්කම් කරගෙන තියෙනවා නේද? කියලා සතුටු වෙන්නේ නැද්ද? ලොකු සතුටක් ඇති වෙනවා. ඒ දිහා බලනකොට. අන්න පින මතුවෙන හැටි. අන්න ඒ නිසා දුටුගැමුණු රජ්ජුරුවන්ට මරණාසන්න වූ වෙලාවේ කල්‍යාණ මිත්‍රය වුණේ අර පින්පොත. ඒ වගේමයි, අර අමාත්‍යවරයා තමා පින්පොත කියවලා රජ්ජුරුවන්ට කල්‍යාණ මිත්‍රයෙක් වුණේ.