Print this Article


සඳ සේ සෞම්‍ය වෙන්න එනමුත් නො ඇලෙන්න

සඳ සේ සෞම්‍ය වෙන්න එනමුත් නො ඇලෙන්න

“නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

“චන්දූපම භික්ඛවෙ කුලානි උපසංකමථ, අපකස්සේව කායං අපකස්ස චිත්තං, නිච්චනවකා කුලේසු අප්පගබ්භා”

“මහණෙනි, කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහසෙහි චන්ද්‍රයා මෙන් කය ඉවත් කොටගෙන ම, සිත ඉවත්කොට ගෙන ම නිති අලුත්ව කුලයන්හි ගැටීම් රහිතව කුලයන් වෙතට එළඹෙන්න.”

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ කස්සප සංයුත්තයට අයත් චන්දූපම සූත්‍ර දේශනාවේ පළමු දහම් කොටසයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරා වැටුණු ළිඳක් හෝ කඳු බෑවුමක් හෝ ගං ඉවුරු ඇති තැනක කය ඉවත්කොට ම, සිත ඉවත්කොට ම බලන්නේ ද? මහණෙනි, එසේම චන්ද්‍රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ම කුලයන්හි නොගැටී කුලය වෙත එළඹෙන්න.

මහණෙනි, කාශ්‍යප තෙමේ සඳ වැනි ම කය ඉවත් කොට ම, සිත ඉවත් කොට ම, නිතර අලුත් ව කුලයන්හි නොගැටී කුලයන් වෙත එළඹෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කරති. මහණෙනි, නුඹලාට කුමක් ද හැඟෙන්නේ? කෙබඳු භික්ෂුවක් කුලයන් වෙතට එළඹෙන්නට නිසිවේ ද? භික්ෂූහු මෙසේ පිළිතුරු දෙති. අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. මේ ප්‍රකාශයෙහි අදහස භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහ දරන්නාහ, යනුවෙනි.

ඉන් අනතුරුව, භාග්‍යවතුන් වහන්සේ අහසෙහි අත සැලූහ. “මහණෙනි, යම් සේ මේ අත අහසෙහි නො ඇලේ ද, නොගැනේ ද, නොබැඳේ ද, මහණෙනි, එසෙහින් ම කුලයන් වෙත එළඹෙන යම්කිසි භික්ෂුවගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා'යි” කුලයන් හි නො ඇලේ ද නොගැනේ ද නොබැඳේ ද, තමාට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ, වේ නම් එසේ නම් අන් අයට ලැබීමේදීත් සතුටු සිත් ඇත්තේ මනාසින් ඇත්තේ වේ ද මහණෙනි, මෙබඳු භික්ෂුව කුලයන් වෙතට එළඹෙන්නට සුදුසු ය. මහණෙනි, කුලයන් වෙත එළඹෙන කාශ්‍යපගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා’ කුලයන්හි නො ඇලෙයි. නොගැනෙයි. නොබැඳෙයි. තමාට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු භික්ෂුව කුලයන් වෙත එළඹෙන්නට සුදුසු ය.

මෙම අදහස් පෙළ ගිහි පැවිදි දෙපිරිසට ම එකසේ අගනේ ය. භික්ෂුව යනු සසර බිය දක්නා වූ, සතර සතිපට්ඨානයෙන් යුතු මනාව සිහිය පවත්වන, මාර්ග ප්‍රතිපදාවට පිළිපන්, නිවන අරමුණු කරගත් ශ්‍රාවකයා ය. එවැනි ශ්‍රාවකයා ලද චීවරයෙන් සතුටුවිය යුත්තේ ය. ලද පිණ්ඩපාතයෙන් සතුටු විය යුත්තේ ය. ලද සෙනසුනෙන් සතුටු විය යුත්තේ ය. ලද ගිලන්පස බෙහෙතින් සතුටු විය යුත්තේ ය. එවැනි භික්ෂුව ගිහි පිරිස් මැදට හෝ ගෘහයකට එළඹෙන්නේ පිණ්ඩපාතය ලැබීමට හෝ දහමින් පිහිටවීම පිණිස ය.

එම සිතෙහි කාමයන් පිළිබඳ තෘෂ්ණාවක් නොවිය යුත්තේ ය. ඇස්, කන් ආදී ඉන්ද්‍රියන්හි රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වලට වැසූ දොර පියන් ඇත්තා සේ ඉන්ද්‍රියයන් පැවැත්විය යුතු වන්නේ ය. එවැනි භික්ෂුවක් ගිහි පිරිස් කෙරේ එනම් කුලයන් කෙරේ නො ඇලෙයි. නොගැටෙයි. ලෞකික අපේක්ෂාවන්ගෙන් බැහැර වෙයි. තමාට ලැබුණත් ලැබුණ දේ කෙරේත් සතුටු වෙයි. අන් අයට ලැබීමේදීත් ඊර්ෂ්‍යාවකින් තොරව උපේක්ෂා සිතින් යුතුව සතුටු වෙයි.

ලබනු කැමැත්තෝ ලබත්වා'යි ද, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි සිත් උපදවා ගනියි. මගේ හෝ අපගේ පිරිසයි සිතින් බැඳීමකට නො පැමිණෙයි. තම පිරිස තමහට නොලැබේ හෝ අත්හැරේ ය යනුවෙන් නොගැටෙයි. තෘෂ්ණා දෘෂ්ටිය නො උපදවයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ ප්‍රශ්න කරති. “මහණෙනි, කුමක් සිතන්නේ ද? කෙබඳු භික්ෂුවගේ දම් දෙසුම අපිරිසුදු ද? කෙබඳු භික්ෂුවගේ දම් දෙසුම පිරිසුදු ද?” අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇති බැවින්, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇති බැවින්, එම ප්‍රශ්නයෙහි අදහස භාග්‍යවතුන් වහන්සේට ම, වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැන ගන්නෙමු යි, භික්ෂූහු පිළිවදන් දුන්හ.

“මහණෙනි, එසේ නම් අසන්න, මැනවින් මෙනෙහි කරන්න. දේශනා කරන්නෙමි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති.

“මහණෙනි, යම් කිසි භික්ෂුවක් මගේ දහම් අසන්නාහු නම්, අසාත් ප්‍රසාදයට පත්වන්නාහු නම්, පහන් වී පහන් වූ අයුරු මට ප්‍රකාශ කරන්නාහු නම් ඉතා මැනවැයි, මෙබඳු සිත් ඇත්තේ අන් අයට දහම් දෙසා ද,

මහණෙනි, මෙබඳු භික්ෂුවගේ දහම් දෙසුම අපිරිසුදු වෙයි. මහණෙනි, යම්කිසි භික්ෂුවක් මෙබඳු සිත් ඇත්තේ අන් අයට දහම් දෙසා ද, එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ස්වාක්ඛාත ය. (මුල, මැද, අග පිරිසුදුව දේසන ලද ය.) සාන්දෘෂ්ටික ය (තම සන්තානයෙහි ඇති කෙලෙස් සංසිඳෙන අයුරු තමන්ට ම දැකිය හැකි ය) අකාලික ය (කල් නොයවා ම තම තමන්ට ප්‍රතිඵල ලැබෙන බව ය) ඒහිපස්සිකය (එන්න බලන්න නම් ආරාධනාවට සුදුසු ය) ඔපනයිකය (භාවනා ලෙසින් සිතට අරමුණු කරගත හැකි බව ය) නුවණ ඇත්තන් විසින් තම තමන් විසින් ම අවබෝධ කොටගත යුතු යනුවෙනි.

මෙසේ මෙම උතුම් වූ ධර්මය අසන්නාහු නම්, අසාත් ධර්මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදිනාහු නම් ඉතා මැනැවැයි.

මෙසේ ධර්ම සුධර්මත්වය ඇති කොට ගෙන අන් අයට දහම් දෙසා ද, කරුණාව නිසා දහම් දෙසා ද, දයාව නිසා දහම් දෙසා ද අනුකම්පාව නිසා අන් අයට දහම් දෙසා ද, මහණෙනි මෙබඳු භික්ෂුවගේ දහම් දෙසුම පිරිසුදු වේ යනුවෙනි.

“මහණෙනි, කාශ්‍යප තෙමේ මෙබඳු සිත් අත්තේ ස්වාක්ඛාත ආදී දහම් ගුණ මතුකොට ගෙන ධර්ම සුධර්මත්වය නිසා අන් අයට දහම් දෙසයි. කරුණාව නිසා දහම් දෙසයි, දයාව නිසා දහම් දෙසයි. අනුකම්පාව නිසා අන් අයට දහම් දෙසයි. මහණෙනි, ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳු වන්නේ නම් එසේ වීමට නුඹලාට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ නුඹලා විසින් එම අවවාදය පිළිපැදිය යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දෙසුම පැවිද්දන් උදෙසා දේශනා කළත්, ගෘහස්ථ ජීවිත ගත කරන පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කරන උපාසක උපාසිකා පිරිසටත් එකසේ ගැළපේ ම ය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් උපමාව සිහිපත් කරන්න. කිසිවෙක් හෝ කිසිවක් කෙරේ නො ඇලෙමින් අහසෙහි පායන සඳ සේ ජනයා ඇසුරු කරන ලෙස ය.

සඳු සෞම්‍යයයි. හිරු ලොවට අවශ්‍යයි. එහෙත් වරෙක හිරුගේ රශ්මිය පීඩාකාරී ය. සඳුගේ කිරණ කිසි විටෙකත් පීඩා බවක් නොවෙයි. සඳ සෞම්‍ය ලෙසට ලොවට ම එකසේ එළිය පතුරුවයි. හිරුගෙන් පැතිරුණු දාහය නිසා ලොව ද සිත් ද ශාන්ත කරයි. සිත් සුවපත් කරයි. කිසිවකු විසින් සඳ ඇල්ලිය නොහැකි ය. එනමුත් මිනිස් සිත සඳට කැමැති ය. ළං විය නොහැකි ය.

ජනයා ඇසුරු කිරීමේ දී සෞම්‍ය වෙන්න. සිත, කය, වචන නම් වූ අවස්ථා තුනෙන් ම නිවැරැදි වෙන්න. පි‍්‍රය වෙන්න. රාගාදී කෙලෙස්වලින් බැහැර ව නිමෙන්න. නිසල වන්න. දකින්න. අසන්න. කියන්න එනමුත් රාගයෙන් නො ඇලෙන්න. ද්වේෂයෙන් නොගැටෙන්න. තද ආශාවන්ගෙන් යුතුව ඇසුරට යන්නා අපිරිසුදු සිත් ඇත්තෙකි. ගැටීම් බහුල ඇත්තෙක් බවට පත්වෙයි.

බෑවුමකට, අගාධයකට, ප්‍රපාතයකට එබීමේ දී කය සහ සිත් නිදහස් කරගන්නා යැයි පැවසුවේ එයට ඇද නොවැටීමට සිහිය පවත්වා ගත යුත්තේ ය යන අදහසිනි. කය පිටුපසට බර කර ගෙන මනාවූ සිහිය පවත්වන්නා සේ සියල්ලන් ඇසුරු කරන්න.

“හා සංයෝගන්නා වියෝගන්නා” සෑම හමුවීමකට වෙන්වීමක් තිබේ. දම්දෙසුම් උපමාවෙන් පෙන්වූයේ ආත්ම සංඥාවකට, අස්මිමානයට උපකාර නොවී මමත්වය අතහැර සත්වගට දුකින් නිදහස්වීමේ මඟ සැනසිල්ලේ මඟ පෙන්විය යුතු බව ය. එසේ නොවුණොත් ලාභ ලැබීම් අදහසින් වදන් පවසන (ලපනා කුහනා) මායාකාරී පුද්ගලයෙක් බවට පත්වෙයි. ලෞකික ජීවිතයේ අභිවෘද්ධියට ද, ලෝකෝත්තර මාර්ග ඵල සමාධීන්ට ද, ඵල ඤාණයන්ට ද මෙය එකසේ ගැළපේ ම ය. සිව්සස් දහම් අවබෝධය ම වේවා.