සුවපත් මනසක් සුවබර දිවියක් -
07 කොටස
පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් අත්පත් කර ගන්නට විපස්සනා භාවනාව පුරුදු කරන්න
ආචාර්ය
හේනේපොල ගුණරතන මහනා හිමි
නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල
බව නිසාම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට
භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ
භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය
කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස
ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත
Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති
අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත.
උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන
අතර මේ එම ලිපි මාලාවේ හත්වැන්නයි.
වසර දෙදහස් පන්සීයක් පැරැණි වූ බුදුදහම, ඒ වටා තට්ටු ගණනින් චාරිත්‍ර හා
වත්පිළිවෙත් වර්ධනය වීමට ප්‍රමාණවත් කාලයක් තිස්සේ පැවතිණි. කෙසේ වෙතත්, බුදුදහමේ
මූලික ආකල්ප, අත්හදා බැලීම්වලට ගොදුරු කළ හැකි හා නිදහස් චින්තනයට අනුබල දෙන
සුලුයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ සම්ප්‍රදාය විරෝධී වීමට හා පිළිගත් සම්මතයෙන් බැහැර ව
කටයුතු කිරීමට නිර්භය වූ පුද්ගලයෙක් වූහ. උන්වහන්සේ තමාගේ ඉගැන්වීම් ලෝකයට ඉදිරිපත්
කළේ ආගමක් ආකාරයෙන් නොව, තමන් හට පරීක්ෂා කර බැලිය හැකි යෝජනා මාලාවක් ලෙස ය.
උන්වහන්සේගේ ආරාධනාව වූයේ “ඇවිත් බලන්න” යන්නයි.
“තමාගේ හිසට උඩින් අන් පුද්ගලයකුගේ හිසක් පැළඳ නොගන්න” යැයි කීහ. බුදුරජාණන් වහන්සේ
එම කියමනෙන් අදහස් කළේ පිටස්තර පුද්ගලයකුගේ වචන පිළිනොගන්න කියා ය. ඔබ විසින් ම දැක
ගත යුතු ය.
මෙම ලිපියේ සෑම වදනක් පාසා ම ඔබ එම ආකල්පය උපයෝගී කර ගත යුතු ය. මෙම විෂයය පිළිබඳ
විශාරද දැනුමකින් යුක්ත යැයි සිතා ඔබ සියල්ල පිළිගත යුතු යැයි නොකියමු. අන්ධ
විශ්වාසයට තැනක් නැත. මේවා අත්හදා බැලිය හැකි යථාර්ථයන් ය.
ඔබගේ දැකීම මෙම ලිපියෙහි සඳහන් ආකාරයට සකස් කර ගැනීමට ඉගෙන ගත් විට, ඔබට ම එය
දකින්නට පිළිවන. ඔබගේ විශ්වාසයට පදනම් වන්නේ එය පමණක් ම ය. විපස්සනා භාවනා පුහුණුව
අතිශයින් පර්යේෂණාත්මක වූ පෞද්ගලික ගවේෂණයකි.
බුදුදහමේ මූලික කරුණු ඇසුරෙන් සාරාංශයක් අපි මෙහිදී ඉදිරිපත් කරමු. විස්තරාත්මක ව
කරුණු ඉදිරිපත් කිරීමට වෑයම් නොකරන්නේ ඒ කාර්යය හොඳීන් කරන ලද වෙනත් පොතපත ඇති නිසා
ය. එසේ වුවත් විපස්සනා භාවනා පුහුණුව සඳහා ඉතා අවශ්‍ය වන මෙම කරුණු තරමක් හෝ සඳහන්
කිරීම අත්‍යවශ්‍ය වේ. මනුෂ්‍යයින් වන අප ජීවත් වනුයේ අමුතුම තාලයකට බව, බෞද්ධ
දර්ශනයට අනුව බලන කල පැහැදිලි වේ. අප අවට ඇති සියල්ලක් ම වෙනස් වන නමුත් එම
තාවකාලික දේ ස්ථිර ලෙස දැකීමට අපි පුරුදු වී සිටිමු. වෙනස් වීමේ ක්‍රියාවලිය
නිරන්තර මෙන්ම සදාකාලික ය. ඔබ මේ ලිපිය කියවන මොහොතේ ඔබගේ සිරුර වයසට යමින් පවතියි.
නමුත් ඔබ එයට අවධානය යොමු කරන්නේ නැත. පුවත්පත් ද දිරා යමින් පවතියි. මුද්‍රිත
අකුරු මැකී යමින් පවතින අතර පිටු ලිහිල්වී ගැලවී යයි. ඔබ අවට තිබෙන බිත්ති දිරාපත්
වෙමින් තිබේ. බිත්තිවල අංශු ඉතා වේගයෙන් කම්පනය වන අතර සෑම දෙයක් ම වෙනස් වෙමින්,
කැබලි බවට පත් වී, දියවී යමින් පවතියි. ඔබ ඒවාට ද අවධානය යොමු නොකරයි. පසුව, යම්
දිනෙක හදිස්සියේ ම, ඔබ අවට වටපිටාව දෙස බලනු ඇත. ඔබගේ ශරීරය රැලි වැටී ඇත. හන්දිපත්
වේදනා දෙයි. පොත්පත් කහ පැහැ ගැන්වී අකුරු මැකී ඇත. ගොඩනැඟිල්ල කඩා වැටෙමින්
පවතියි. තාරුණ්‍යය ගෙවී යාම පිළිබඳ ඔබ දුක්වෙයි. ඔබගේ වස්තුව අහිමි වනවිට හඬා
වැලපෙයි. මේ වේදනාව පැමිණෙනුයේ කොහේ සිටද? එය ඔබගේ ම අනවධානය නිසා පැමිණෙයි. ජීවිතය
සමීප ව දැකීමට ඔබ අසමත් විය. නිරන්තර වෙනස්වීම් දැක ගැනීමට ඔබට නොහැකි විය. “මම”,
“පොත” සහ “ගොඩනැඟිල්ල” ආදී වශයෙන් මානසික නිර්මාණ එකතුවක් ඔබ ගොඩනඟාගෙන තිබුණි. ඒවා
ශක්තිමත් යථාර්ථවාදී වස්තූන් බව ඔබ උපකල්පනය
කළේ ය. ඒවා සදහට ම වෙනස් නොවී, එසේ ම පවතීවි යැයි ඔබ විශ්වාස කළේ ය. කවදාවත් එසේ
නොවෙයි. නමුත් දැන් ඔබට එම නිරන්තර වෙනස් වීමට කන්යොමා ගෙන සිටිය හැකියි. නිරන්තර
ගලායෑමක් ලෙස ඔබගේ ජීවිතය දැකීමට ඔබට ඉගෙන ගත හැකියි. හේතු නිසා හටගන්නා සියලු දේ
නිරන්තර ප්‍රවාහයක් බව ඔබට ඉගෙන ගැනීමට පුළුවන. ඒ සඳහා ඔබට පුහුණුව සහ කාලය පමණක්
අවශ්‍ය කෙරේ.
මනුෂ්‍යයින් වන අප, සමහර අවස්ථාවල දී යමක් කියන්නේ හෝ තේරුම් ගන්නේ පුදුමාකාර
අනුවණකාරී බවකිනි. අපට ලැබෙන මුළු ඉන්ද්‍රිය උත්තේජකවලින් සියයට අනූනවයක් ම අපි
නොසලකා හැර, ඉතිරිය අපගේ රුචිය අනුව මනසින් ස්ථාපිත කර ගනිමු. පසුව, එම මානසික
වස්තූන් කෙරෙහි පුරුදු වී ඇති පරිදි ප්‍රතිචාර දක්වමු.
උදාහරණයක් මෙන්න : එක්තරා රාත්‍රියක ඔබ තනිව සිටින විට ඈතින් බල්ලකු බුරන හඩ ඇසෙනවා
යැයි සිතන්න. තනිව ගත්විට එය හොඳ හෝ නරක නොවන සිදුවීමක් පමණි. නිසල බව තුළින් ශබ්ද
තරංග ගලා එයි. ඔබට ඇසෙන සංකීර්ණ ශබ්ද ඔබගේ ස්නායු පද්ධතිය තුළදී දීප්තිමත්
විද්‍යුත් උත්තේජක බවට පරිවර්තනය වීමක් සිදුවෙයි. මෙම ක්‍රියාවලිය අනිත්‍ය, දුක්ඛ
හා අනාත්ම ධර්මතා පිළිබඳ අත්දැකීමක් ලෙස භාවිත කළ හැක.
මිනිසුන් වන අපි එය මුළුමනින් ම නොසලකා හරිමු. ඒ වෙනුවට අපි එම දැකීම මානසික
වස්තූන් හැටියට පදිංචි කර ගනිමු. එයට මානසික පින්තූරයක් අලවා ගන්නා අපි මෙලෙසින්
ආවේගශීලී හා සංකල්පිත ප්‍රතික්‍රියා මාලාවක් දියත් කරමු.
“අන්න අර බල්ලා අදත් බුරනවා. ඌ බුරන්නේ රෑටමයි. සෑම රැයක ම මුගෙන් කෙතරම් කරදරයක්
ද? මම පොලිස්කාරයකුට කතා කරනවා. නෑ. බල්ලන් අල්ලන පුද්ගලයකුට කියනවා. එහෙම නැත්නම්
බල්ලාගේ අයිතිකරුවාට තදින් ලියුමක් ලියනවා. නෑ, ඒකත් කරදර වැඩක්. එක්කෝ මම කන් දෙකට
ඇබ ගසා ගන්නවා.” මේවා හුදෙක්ම සම්ප්‍රජානන මානසික පුරුදු වෙයි. ඔබ අවට සිටින
වැඩහිටියන්ගේ සම්ප්‍රජානන පුරුදු අනුකරණය කිරීම මඟින් කුඩා අවධියේ දී ඔබ මෙලස
ප්‍රතිචාර දැක්වීමට ඉගෙන ගෙන ඇත. මෙවැනි ප්‍රතිචාර ස්නායු පද්ධතිය තුළ සහජයෙන්
පවතින්නක් නොවෙයි. තවද ඔබග් මානසික යාන්ත්‍රණය පාවිච්චි කළ හැකි එකම ක්‍රමය මෙය
නොවෙයි. කලින් ඉගෙනගත් දේ අමතක කළ හැක. ඔබ කරන දෙය එම මොහොතේ ම වටහාගෙන, එය දෙස
නිශ්චලව බලා සිටීම එහි පළමු පියවරයි.
බෞද්ධ දැකීමට අනුව බලන විට මිනිසුන් වන අපට ඇත්තේ ජීවිතය පිළිබඳ පසුගාමී දැක්මකි.
ඇත්ත වශයෙන් දුකට හේතුව දෙස බලා එය සතුට ලෙස ගැනීමට අපි පුරුදු වී සිටිමු. දුකට
හේතු වන්නේ අප කලින් ද කී පරිදි ඇලීම් - ගැටීම් රෝග කාරකයයි. ඔබගේ සිතට යම් අරමුණක්
පිවිසුණා යැයි සිතමු. රූමත් ගැහැනියක්, කඩවසම් තරුණයෙක්, අධිවේගී බෝට්ටුවක්,
බේකරියක පාන් පුළුස්සන සුවඳ, පසුපසින් ලුහුබඳීන මෝටර් රථයක් හෝ එබඳු ඕනෑම දෙයක් විය
හැකියි. අපගේ ක්ෂණික ප්‍රතික්‍රියාව වන්නේ බොහෝ සංවේදී ව එයට ප්‍රතිචාර දැක්වීමයි.
උදාහරණයක් ලෙස සිත් තැවුල නොහොත් සාංකාව ගන්න. අපි බොහෝ සිත් තැවුල් උපදවා ගනිමු.
එයම ප්‍රශ්නය වෙයි. සිත්තැවුල පියවර සහිත ක්‍රියාවලියකි. හුදු මනෝභාවයක් නොව
ක්‍රියාපටිපාටියකි. ඔබ කළ යුත්තේ එම ක්‍රියාපටිපාටියේ මුල් අවස්ථාව දෙස බැලීමයි.
වඩාත් ව්‍යාකූල වීමට පෙර තිබූ මුල්ම අවස්ථාව දැකීමට වෑයම් කිරීමයි. සාංකාව නමැති
දම්වැලේ ආරම්භක පුරුක ඇලීම් - ගැටීම් ප්‍රතික්‍රියාව බව එවිට පෙනේ. කිසියම් අරමුණක්
සිතට ඇතුළු වූ විගස අපි එය මනසින් අල්ලා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙමු.
සිත් තැවුල් නොහොත් සාංකා ක්‍රියා පටිපාටිය ආරම්භ වන්නේ එතැනිනි. වාසනාවකට, මෙය ඒ
මොහොතේ ම නිෂේධ කර දැමීමට සමත් කුඩා මෙවලමක් අප සතුව තිබේ. ඒ විපස්සනා භාවනාවයි.
අපගේ සිතිවිලි ක්‍රියාවලිය ඉතාමත් ම නිවැරැදිව පරීක්ෂාවට භාජන කරන්නේ කෙසේදැයි
විපස්සනා භාවනාව අපට උගන්වයි. සිතිවිලි හා සංකල්පනා සිතෙහි පැනනඟින අන්දම සන්සුන්
ව, ඇලීමකින් තොරව බලා සිටීමට අපි ඉගෙන ගනිමු. විවිධ උත්තේජකයන්ට අප ප්‍රතික්‍රියා
දක්වන අන්දම ද නිසලව, පැහැදිලිව දැකීමට අපි ඉගෙන ගනිමු. ප්‍රතික්‍රියාවල නොපැටලී,
ප්‍රතික්‍රියා දැක්වීමට අප පටන් ගන්නා බව අපිම දකිමු. සිතිවිලිවල පීඩාකාරී බව
ටිකින් ටික පහව යයි. අපට විවාහ වීමට අවශ්‍ය නම් තවම එය කළ හැකි ය. අප ලුහුබැඳ එන
මෝටර් රථය මාර්ගයෙන් ඉවත්වීමට තවම පුළුවන. එහෙත් ඒ එකක්වත් නිසා අනවශ්‍ය සිත් පීඩා
ඇති කර ගැනීමට දැන් වුවමනා නැත.
මෙලෙස, සිතිවිලිවල පීඩාකාරී බවෙන් මිදීම තුළින් යථාර්ථය පිළිබඳ මුළුමනින් ම නැවුම්
දැක්මක් අපට ලැබෙයි. මෙය අපගේ චින්තනයේ පූර්ණ පරිවර්තනයකි. පීඩාකාරි සිතිවිලිවලින්
නිදහස් වීමේ ප්‍රමෝදය එය රැගෙන එයි. මෙම ප්‍රයෝජන නිසා, අරමුණු මේ ආකාරයෙන් දැකීම
“නිවැරැදි දැකීම” ලෙස බුදු දහමේ දී හැඳීන්වේ. බෞද්ධ ග්‍රන්ථවල මෙය ඇත්ත ඇති
සැටියෙන් දැකීම නොහොත් “යථාභූත ඥානය” ලෙස නම් කෙරේ.
විපස්සනා භාවනාව යනු යථාර්ථයේ ස්වභාවය නව ආකාරයකට දැක ගැනීමට අපව ක්‍රමක්‍රමයෙන්
පුරුදු කරන අභ්‍යාස මාලාවකි. මෙහිදී යථාර්ථයේ කේන්ද්‍රය වන “මම” පිළිබඳ ව ද නව
දැක්මක් අපට හෙළි කරයි. අනෙක් සියලුම සිතිවිලි ක්‍රියාවලින් තුළ දී කළ දේ ම අප “මම”
යන්නට ද කර ඇති බව ඉතා සමීප පරික්ෂාවක දී අපට දකින්නට ලැබෙයි. එනම් ගලා යන සිතිවිලි
හා හැඟීම් සංවේදනා නමැති දිය සුළියක් ගෙන එය මනෝමය වස්තුවක් ලෙස කැටි කොට ගනිමු.
පසුව අප එයට “මම” කියා ලේබලයක් අලවමු. ඒ මොහොතේ පටන්, සදහට ම අප එය සලකන්නේ වෙනස්
නොවන කල්පවත්නා දෙයක් ලෙසටයි.
“මම” යන්න අනෙක් සියල්ලෙන් වෙන් ව පිහිටි දෙයක් ලෙස දැකීමට අප පුරුදු වී ඇත අප, අපව
සදාකාලික විශ්වීය වෙනස්වීමේ ක්‍රියාවලියෙන් වෙන් කර තබා, පසුව කොතරම් පාළුවක්,
තනිකමක් දැනෙනවා දැයි දුක් වෙමු. අනෙක් ජීවීන් සමඟ පවතින සහජ බැඳීම නොසලකා හරින
අපි, මා වෙනුවෙන් මා වැඩිපුර ලබා ගත යුතු බව තීරණය කරමු. එසේ කරන අපි මිනිසුන්
කෙතරම් අසංවේදී හා ගිජු බවින් යුතු ද කියා විශ්මයට පත්වෙමු. සෑම දුෂ්ට හා සිත්පිත්
නැති ක්‍රියාවක් ම පැනනඟින්නේ, පවතින සියල්ලෙන් වෙන් කර ගන්නා “මම” යන ව්‍යාජ හැඟීම
තුළිනි.
මෙම තනි සංකල්පයේ මායාව පුපුරවා හැරිය විට ඔබගේ මුළු විශ්වය ම වෙනස්වීමකට බඳුන්
වෙයි. කෙසේ වෙතත්, එය එක රැයකින් කිරීමට බලාපොරොත්තු නොවන්න. ඔබගේ සෑම
සිතිවිල්ලකින් ම, ක්‍රියාවකින් හා වදනකින් ම “මම” සංකල්පය ගොඩනැඟීම සඳහා මුළු ජීවිත
කාලය ම වැය කර ඇත. එවන් දෙයක් ක්ෂණයකින් වාෂ්ප වී නොයයි. ප්‍රමාණවත් කාලයක් හා
අවධානයක් ලබා දුන් කල එය ඉවත් ව යනු ඇත. විපස්සනා භාවනාව මෙම සංකල්පය දියකර හරින
උපක්‍රමයකි. එය දෙස බලා සිටීම තුළින් ම ඔබට එය ටිකෙන් ටික විනාශ කර දැමීමට පුළුවන.
“මම” යන සංකල්පය ක්‍රියාවලියකි. එය ක්‍රියාකරවන්නේ අප විසින් ය. විපස්සනාවේ දී අප
එය කරන බවත්, එය කරන්නේ කෙසේ ද, කුමන වේලාවක දී ද යන්නත් දැකීමට අපි ඉගෙන ගනිමු.
එවිට එය පැහැදිලි ආකාශය තුළින් ඉවත් ව යන වලාකුළක් සේ මැකී පලා යනවා ඇත. එවිට එම
අවස්ථාවට උචිත පරිදි එය කරනවා ද, නොකරනවා ද යන විකල්පයක් අපට තිබෙයි. බලකිරීමක්
නැත. අපට තෝරා ගැනීමක් කළ හැකියි.
මේ සියල්ල, ගැඹුරු දැනුම් කොටස් ය. ඒ සෑම කොටසක් ම මිනිස් පැවැත්ම පිළිබඳ ගැටලුවක්
ගැඹුරින් වටහා ගැනීමක් වෙයි. වෙර දැරීමකින් තොරව, කඩිනමින් මේවා සිදු නොවෙයි. නමුත්
වෙහෙස වී හෝ ලබා ගන්නා ප්‍රතිඵලය අති මහත් ය. එමඟින් ඔබගේ ජීවිතය පූර්ණ පරිවර්තනයකට
යොමු කරවයි.
මින්පසු, ඔබගේ ජීවිතයේ ගෙවෙන සෑම තත්පරයක් ම වෙනස් ය. මෙම මාර්ගයේ දැඩි
අධිෂ්ඨානයකින් ඉදිරියට ගමන් කරන භාවනානුයෝගියා පරිපූර්ණ මානසික සෞඛ්‍යයක් අත්කර
ගනියි. ජීවත්වන සැමට මෛත්‍රීය දක්වයි. තමාගේ දුක මුළුමනින් ම අවසන් කර ගනියි.
මීළඟ කොටස
ඉල් පුර පසළොස්වක පෝදා කලාපයේ |