Print this Article


උතුම් සුවඳ සිල් සුවඳයි

උතුම් සුවඳ සිල් සුවඳයි

දෙව්රම් වෙහෙර වාසි අනඳ මහ තෙරුන් වහන්සේ සඳුන් ආදී හර සුවඳ ද, හිරිවේරිය ආදී මුල් සුවඳ ද, දෑසමන් ආදී මල් සුවඳ ද අගය කොට සැලකූහ. ඒවායේ සුවඳ හමන්නේ යටි අතට මිසෙක උඩ අතට නොවේ. යටි සුළඟටත් උඩු සුළඟටත් පැතිරෙන කිසියම් සුවඳක් තිබිය යුතු යැයි සිතූ අනඳ හිමිපාණෝ බුදුරදුන් වෙත ගොස්

“ස්වාමීනි, සඳුන් ආදී හර සුවඳ ය. හිරිවේරිය ආදී මුල් සුවඳ ය. දෑසමන් ආදී මල් සුවඳ ය. මේ සුවඳ සියල්ල යටි සුළඟට පමණක් හමතත් උඩු අතට හැමීමක් නැත. උඩු අතට හමන කිසියම් සුවඳක් තිබේ දැයි ඇසූහ.

බුදුන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක.

‘ආනන්දය උඩු අතට පමණක් නොව දස අතට ම හමන සුවඳක් ද ඇත්තේ ය. යම් පිරිමියෙක් හෝ ස්ත්‍රියක් හෝ වෙත් ද එම තැනැත්තේ තිසරණයෙහි පිහිටා වෙසෙත් ද, පස්පව් නොකොට වෙසෙත් ද, දන්පින් කිරියවත් පුරත් ද, මසුරු සිත් හැර දමත් ද, මහණ දම් පිළිවෙත් පුරත් ද, ඔවුන්ගේ ගුණ ඒ ඒ දිග මහණ බමුණෝ පවසති. දෙවියෝ පවසති. එසේ හෙයින් එම ගුණ සුවඳ දස දිග ම හමන්නේ ය.

වෙනත් මල් තබා පරසතු මදාරා වැනි මල් පවා යටි අතට මිසෙක සුවඳ උඩු අතට හැමීමක් නැත. සඳුන් ආදී සුවඳක් යටි සුළඟට හමතත් කිසිසේත් ම උඩු අතට නොහමන්නේ ය.

බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ උඩින් අකනිටා බඹලොව දක්වා ද, හරහින් කෙළවරක් නැති සක්වල ද, යටින් නා ලෝ ගරුඬ ලෝ දක්වා ද හමන්නේ ය. පසේ බුදු මහ සව් ආදී උතුමන්ගේ ගුණ සුවඳ සුදුසු සුදුසු සේ උස් මහත් ව සෑම දෙසට ම හමන්නේ යැයි’ ද උන්වහන්සේ වදාළහ.

එසේ හෙයින් ලොව උසස් ම සුවඳ සිල් සුවඳ ය. ඒ සිල් සුවඳ උඩ, යට හා හරස් අතට පැතිර පවත්නා බවක් දැක්වූ බුදුරජාණන් වහන්සේ සඳුන් තුවරලා දෑසමන් යන සුවඳ සමූහයේ සුවඳට වඩා සිල් සුවඳ ම ඉතා උතුම් යැයි අනඳ මහ තෙරුන්ට වදාළ සේක.

සිල් සුවඳ සතර දිගන්තය පැතිර යයි

න පුප්පගන්ධෝ පටිවාතමේති
න වන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති

සාමාන්‍ය මල් සුවඳක් හෝ සඳුන් තැවරූ ඉද්ද වැනි මල් සුවඳක් හෝ උඩු සුළඟට නොයයි. එසේ වුණත් සත්පුරුෂයාගේ සිල් සුවඳ උඩු ගුවනට ගොස්, සතර දිගන්තයට ම සිල් සුවඳ පතුරයි. හැම සුවඳට ම වඩා උතුම් සුවඳ සිල් සුවඳ ය.

චන්දනං තගරං වා පි
උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං
සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන් තුවරලා දෑසමන්, මහනෙල් මේ ආදී මල් ජාතීන්ගේ සුවඳට වඩා සිල් සුවඳ උතුම් වේ.