Print this Article


නොබිඳෙන නො සැලෙන පින්කමක පුණ්‍ය මහිමය

නොබිඳෙන නො සැලෙන පින්කමක පුණ්‍ය මහිමය

දාන වශයෙන් සලකන කල්හි ආමිස දානය, අභය දානය, ධර්ම දානය වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කළ හැකි ය. දාන පාරමිතාවක් ලෙස ද, දසරාජ ධර්ම අතර රාජ ධර්මයක් ලෙස ද , සතර සංග්‍රහ වස්තු අතර වතක් වශයෙන් ද , දස පුණ්‍යක්‍රියා අතර පින්කමක් වශයෙන් ද දක්වා ඇත.

එම දේශනා කළ පින්කම් අතර මහා පින්කම් අටක් දේශනා කොට ඇත. එයින් පළමු අංකයට ගැනෙන්නේ කඨින පින්කමයි. එහි අනුසස් අනත්ත අප්‍රමාණ වශයෙන් දක්වා ඇත.

කඨින චීවර පූජාව බුදු දහමේ පෙන්වා ඇති බලගතුම පින්කමයි. බුදුදහමේ ප්‍රධාන අකුසල් පහක් පිළිබඳ දක්වා ඇත. එනම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරේ ලේ සෙලවීම, සංඝ භේදය ආදී වශයෙනි.

මෙම අකුසල් පහ කර ගත් කෙනකුට සසරින් ගොඩ ඒමට අපහසු ය. ඒ තරමට ම එම අකුසල් බලවත් ය. මුගලන් මහ රහතන් වහන්සේ, අජාසත් රජු, දේවදත්ත හිමි යන ගිහි පැවිදි පිරිස් එම අකුසලයට හසු වූ අය වෙති. ඒ හැර ඇතැම් සුළු අකුසල කර්ම කළ කෙනකුට කඨින චීවර පූජා පින්කම කර ගැනීමෙන් ඒවා යටපත් කර ගැනීමට පුළුවන්කමක් ඇත. එයට හේතුව වන්නේ ඇතැම් සුළු අකුසල කර්මවලට විපාක දීමට තරම් කාලයක් නොමැති වීම යි. එම අකුසල කර්ම අහෝසි කර්ම ගණයට අයත් වේ.

කඨින චීවර නම් වූ එම බලගතු පින්කම පිළිබඳ දීර්ඝ විස්තරයක් නාගිතාපදානය තුළින් දැකගත හැකි ය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බුදුරදුන් දෙව්රම් වෙහෙරේ වැඩ වසන කාලයක බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් නාගිත නම් කුමරුවකු සසර කළ කඨින පින්කමේ අනුසස්වල බල මහිමයෙන් බුදුරදුන් හමුවට ගොස් බණ අසා පැහැදී පැවිදි වී සිව්පිළිසිඹියාවට පත්ව රහත්වීමේ කතා පුවතකි.

අප බුදුරජාණන් වහන්සේ නාගිත හිමිගේ මෙම සුවිශේෂී සිදුවීම උන්වහන්සේලවා ම ප්‍රකාශ කරවනු වස් ආනන්ද හිමියන් කැඳවා, “ආනන්දය අද ඒහි භික්ඛු භාවයෙන් පැවිදි බව ලැබූ රහතන් වහන්සේ 500ක් හිමාලයෙහි අනවතප්ත විලට රැස්කරවන්න” යැයි ආනන්ද හිමිට දැන්වූහ.

එම ඉල්ලීම ඉටු කරනු වස් ආනන්ද හිමි ද බුද්ධ නියමය ඉටු කළහ. කහවතින් බැබළී ගිය අනෝතප්ත විල අවට අසිරිය දැකීමට දෙව්, බඹහු ද රැස් වූහ.

බුදුහිමි භික්ෂූන් අමතා මහණෙනි, නුඹලා අතුරින් පෙර භවයක බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ උදෙසා විශේෂ පුණ්‍යකර්මයක් සිදු කළ යම් භික්ෂුවක් වෙසේ නම් මෙහිදී එය ප්‍රකාශ කරන ලෙස වදාළහ.

අනතුරුව නාගිත හිමි දොහොත්මුදුන් දී තමන් කළ එම මහා බලගතු පින්කම පිළිබඳ ප්‍රකාශ කළහ.

මම මෙයට අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුන් කළ බන්දුමතී නුවර ඉපිද දානපතියකු වී බොහෝ දුගී මගී යාචකාදීන් උදෙසා දන් පින් සිදුකරමින්, සිල් ආරක්ෂා කරමින්, දැහැමින් විසුවෙමි.

එසේ සිටි කල්හි දිනක් විපස්සී බුදුරදුන්ගෙන් බණ අසා පැහැදී බුදුපාමොක් මහ සඟනට සපිරිකර සහිත මහ දන් ද පිළිගැන්වූවෙමි. එක් වස් කාලයක භික්ෂූන් වහන්සේ වස් වසවා ගෙන සිව් පසයෙන් උවටැන් කොට අවසන බොහෝ පිරිකර සහිතව කඨින චීවර පූජාවක් පවත්වා එයින් ලැබෙන කුසලය සියලු කෙලෙසුන් දුරු කිරීමට උපකාරී වේවා'යි ප්‍රාර්ථනා කළෙමි.

එම මහා බලගතු පින්කම හේතුවෙන් සතර අපායෝත්පත්තියකට නො වැටී සදෙව්ලොව හා මිනිස් ලොව ඉපිද නොයෙක් සැප සම්පත් ලැබූ ආකාරය බුදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේත්, දෙව්, බඹුනුත් ඉදිරියෙහි විස්තර කර සිටියහ.

මෙම කතා පුවත අපට කඨින චීවරයෙහි අනුසස් දැක්වීමට ඇති හොඳම හා පැහැදිලි ම නිදර්ශනයයි.

මේ අයුරින් එම බලගතු පින්කම පිළිබඳ කරුණු ඉදිරිපත් වෙද්දී බෞද්ධයින් වශයෙන් එම පින්කම කර ගැනීමට අපහසු නම් එයට සම්බන්ධ වීමටවත් උත්සාහවත් විය යුතු ය.

මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නො වන, මහා මේරු පර්වතය මෙන් අධික සුළඟකින් නො සෙල්වෙන, ඒකඝන වජ්‍ර පර්වතය මෙමන් නොබිඳෙන මහා බලගතු එකම පින්කම කඨින චීවර පූජාවයි.

සාමාන්‍ය පුහුදුන් පුද්ගලයන් වශයෙන් සෑම දෙනෙක් තුළින් ම සුළු සුළු අකුසල් සිදුවීමේ ප්‍රවණතාව ඉතා බහුල ය. ඒවාගේ විපාක ද කෙළවරක් නොමැත. එබැවින් මහ බලගතු පින්කම් කර ගැනීම හෝ ඒවාට සම්බන්ධ වී පුණ්‍ය ශක්තිය වැඩි දියුණු කර ගෙන එ තුළින් සුළු සුළු අකුසල්වල විපාක යටපත් කර ගැනීමට උත්සාහවත් වන්නේ නම්, නිවන් දකින තුරු හෝ ලැබෙන දුක් විඳීමේ ප්‍රවණතාව අඩුකර ගැනීමට පුළුවන්කමක් ඇත.

ඉදිරියෙහි එළඹෙන කඨින පින්කම නම් වූ එම බලගතු පින්කමට අතහිත යොදවා පුණ්‍ය ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත. එබැවින් පසුබට නොවී එම බලගතු පින්කම කර ගැනීමට හැම දෙනෙක් ම උත්සාහවත් වීම ප්‍රඥාගෝචර ය. එ තුළින් සංසාරයේ හමුවන සතර අපා දුක්වලින් මිදී, සදිව්‍ය ශ්‍රී සැප සම්පත් අනුභව කොට, එයින් නො නැවතී නිවන ද සක්ෂාත් කොට ගෙන සසර දුකින් මිදීමට හේතු වෙයි.