දෙදෙව්ලොව
සැප ගෙන දෙන කඨින චීවර පූජාවේ මහානිශංස
මහනුවර
මල්වතු මහාවිහාරයේ, ශ්‍රී සංඝරාජ පිරිවෙනේ,
කහටගස්දිගිලියේ ධීරානන්ද හිමි
“යාවතා සබ්බපරික්ඛාරෙ සංඝස්ස සතකං දදෙ එකස්ස කඨින දානස්ස කලං නාගසති කෙළසිං ගිරිරාජ
සමංරාසිං
සංඝෙ දෙති තිචීවරං එකස්ස කඨින දානස්ස කලං නාගසන්ති සොළසිං”
යම්තාක් සියලු පරිෂ්කාරයන් නිරන්තරයෙන් දිනපතා භික්ෂු සංඝයාට දුන්නේ වී නමුත් එක්
කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම්වත් එය නොවටින්නේ ය)
සම්බුද්ධ ශාසනය තුළ කෙරෙන පූජාවන් අතුරෙහි උත්තමාමිස හෙවත් උතුම් ම ආමිස පූජාවක්
ලෙස කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකේ.
කඨිනං ච පරික්ඛාරාවාසදානං ච
උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්ස දානං ධම්මස්ස
ලේඛනං
බෙත්තදානං ච බුද්ධස්ස පටිමා
කරණම්පි ච
කරණං වච්චකුටියා අට්ඨපුඤ්ඤානි
වුච්චරෙ
කඨිනදානය, අටපිරිකර පූජාව, ආවාස සාදා දීම, බුදුපාමොක් මහ සඟන උදෙසා දන්දීම,
ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුදුපිළිම තැනවීම, වැසිකිළි කැසිකිළි කරවීම යන මේ
පින්කම් අට අට මහා පින්කම් වශයෙන් සැලකේ. මෙම අටමහා පින්කම් අතරත්, සෙසු ආමිස පූජා
අතරත්, කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයේ සැලකේ. ඊට හේතුව වන්නේ භික්ෂු විනයටත්,
බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් කඨිනචීවර පූජාව මහෝපකාරී වන නිසා බව සිතිය හැකි ය.
පඨවිරිව න ජාතු කම්පතෙ
න චලති මෙරුරිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිදමතො කඨිනන්ති වුච්චති
යනුවෙන් කියැවෙන පරිදි කඨින පූජාවේ ආනිශංස කම්පා නොවන මහා පෘථිවිය මෙන් කිසිදු
බාධකයකින් අකම්පිත ව විපාක දෙන හෙයින් ද, මහා සුළඟට කම්පා නොවන මහාමේරු පර්වතය මෙන්
ස්ථිර විපාක දෙන හෙයින් ද, අවි දුනු හී ආදියට දුරු කළ නොහැකි වජ්‍ර පර්වතය මෙන්
ස්ථිර ව විපාක දෙන හෙයින් ද යන උපමා සහිත ව කඨින ලෙස හැඳීන්වෙයි.
කඨින වචනයේ අර්ථය ස්ථිර යන්නයි. වඩාත් පැහැදිලි කළ හොත් ස්ථිර විපාක දෙන යන්නයි.
ශබ්දකෝෂයන්ට අනුව දැඩි බව, තද බව, උසස් කිරීම, ස්ථිර කිරීම යන අරුත් කඨින යන වදනින්
පෙන්වයි.
එහෙත් බුද්ධ කාලයේ කඨින වචනයේ භාවිතාව මීට වඩා වෙනස් වෙයි. කඨිනය භික්ෂු විනය
කර්මයක් වශයෙන් හැඳීන්වීම මීට හේතුවයි. උපසම්පදාව ලැබූ යම් භික්ෂුවක් ඉමස්මිං
විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි. ඉධ වස්සං උපෙමි (මේ වස් තෙමසෙහි මේ ආරාමයේ වස්
එළඹෙමි) යනුවෙන් අධිෂ්ඨාන කොට ස්ථිර ස්ථානයක් සීමාව ලෙස නියම කරගෙන වස් තෙමස
සිහියෙන් යුතුව වැඩ සිටිය යුතු ය. එලෙස වැඩ සිට වස් තෙමස ඇවෑමෙන් පවාරණය කොට චීවර
මාසයේ දී දායකයන් පිරිනමන චීවරය හෝ වස්ත්‍රය කඨින චීවරය ලෙස හැඳීන්වේ.
කඨිනයේ සමාරම්භය
විනය පිටකයේ මහාවග්ගපාලියේ එන කඨිනක්ඛන්ධකයේ සඳහන් වන පරිදි කඨිනය සම්බන්ධ එක්තරා
නිධාන කතාවක් ඇත. ඒ අනුව තේචීවරික වත් (ආරණ්‍යවාසී වීම, පිණ්ඩපාතයෙන් යැපීම,
පාංශුකූලික සිවුරු දැරීම) ආරක්ෂා කරගෙන වැඩ සිටි පාවානුවර භික්ෂූන් තිස් නමක්
බුදුරදුන් බැහැ දැකීමට දෙව්රම් වෙහෙරට වඩිනා අතරමඟ වස් කාලය එළඹීම හේතුවෙන් සාකේත
නුවර වස් විසූහ.
වස් ඇවෑමෙන් බුදුරදුන් කරා ගමන් එළඹීමට ගමන ඇරඹූ නමුත් අතරමඟ දී පතිත වූ වර්ෂාව
නිසා උන්වහන්සේගේ සිවුරු පිරිකර තෙමී අපහසුතාවට පත් විය. ඒ කරුණු දැනගත් බුදුරජාණන්
වහන්සේ අනුජානාමි භික්ඛවෙ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං මහණෙනි, වස්
විසූ භික්ෂූන් හට කඨින ඇතිරීමට අනුදැන වදාරමි යනුවෙන් අනුදත් හ. අනතුරුව කඨිනය
ඇතිරිය යුතු කාලයක් ද අනුදැන වදාළහ. එලෙස වස්සාන සෘතුවේ වප් මස අව පෑළවියේ පටන් ඉල්
මස පුර පසළොස්වක දක්වා පුරා මසක කාලයක් කඨිනත්තාර විනය කර්මය කළ හැකි ය.
කඨිනය සිදු කරන්නේ මෙලෙසයි
සුදුසුකම් සපුරන ලද භික්ෂුවකට ගිහි හෝ පැවිදි සැදැහැවතකු විසින් ඉමං කඨින දුස්සං
සංඝස්ස දෙම යන වාක්‍යයෙන් සඟසතුව පූජා කිරීමෙන් පසු සංඝයා විසින් ඒ වස්ත්‍රය දීමට
සුදුසු භික්ෂුවක් තෝරා සුනාතු මෙ භන්තෙ සංඝො, ඉදං සංඝස්ස කඨිනදුස්සං උප්පන්නං. යදි
සංඝස්ස පත්තකල්ලං, සංඝො ඉමං කඨිනදුස්සං (තිස්සස්ස) භික්ඛුනො දදෙය්ය කඨිනං අත්තරිතුං
එසා ඤත්ති යනුවෙන් පවරති.
ඉන්පසු සංඝයා විසින් ඒ කඨින වස්ත්‍රය සුදුසු ලෙස අඳනයක් හෝ සිවුරක් වශයෙන් එදින ම
පඬු පොවා "කප්ප බින්දුං කරොමි" යනුවෙන් තෙවරක් කප්බින්දු තබා එම භික්ෂුවට එදින ම
ලබා දිය යුතු ය.
කඨින වස්ත්‍රය නිශ්චිත ව සකසා නොමැති නම් එය සේදීම, නූල් ගසා කඩ වෙන් කිරීම, කැපීම,
බොරු නූල් දමා කඩ එකතු කිරීම, මැසීම, පඬු පෙවීම, කප්බින්දු තැබීම යනුවෙන් කළ
පූර්වකෘත්‍යයන් හතක් පිළිබඳව ද, කඨිනයක් ලෙස පූජා කළ හැකි වස්ත්‍ර තුනක් පිළිබඳව ද
විනයේ සඳහන් ය.
සුදු පැහැති වර්ණ ගැන්විය හැකි අලුත් වස්ත්‍රයක්, සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත්
සිවුරක්, සුදුසු පරිදි වර්ණ ගන්වන ලද අලුත් අඳනයක් යන තෙවැදෑරුම් වස්ත්‍ර කඨින
සිවුරු වශයෙන් පිරිනැමීමට හැකි ය.
කඨින සිවුරක් සංඝයා වෙතින් පිදුම් ලද භික්ෂුව නියමිත විනය පිළිවෙත් කොට ඉමිනා
චීවරෙන කඨිනං අත්ථරාමි, මේ සිවුරෙන් කඨිනය අතුරමි වශයෙන් සංඝයා ඉදිරියේ පැවසිය යුතු
ය.
අනතුරුව වස් තෙමස තුළ ශික්ෂාව ආරක්ෂා කළ අනෙක් භික්ෂූන්ට ද පින් අනුමෝදන් කළ යුතු
ය. කඨින සිවුර සමඟ පූජා කරන අනෙකුත් පිරිකර කඨිනානිසංස පිරිකර නම් වෙයි.
කඨිනානිසංස
ඉහත සඳහන් අයුරින් ශාසනයේ දුර්ලභ වූ ද, මහඟු වූ ද මෙම කඨින පූජාවේ ආනිශංස කවරේ දැයි
මීළඟට සලකා බැලිය යුතු ය.
කඨිනානිශංස ඉතා මැනවින් හා චමත්කාර ලෙස විස්තර වන්නේ නාගිතාපදානයෙහි ය.
නාගිත මහ රහතන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ තමා කළ විශේෂ කුසල කර්මය
වූ කඨින චීවර දානයෙන් ලද ආනිශංස මෙසේ වදාළහ.
කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ
ඉතො තිංසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං
උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක්
දුගතියක්
නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.
ආරපථෙ ආරපථෙ
චක්කවත්ති සිරිං ලභෙ
අසීනිං ච චතුක්ඛත්තුං
වත්ති අහොසහං
එක ඉදිකටු සිදුරකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් තිබුණ ද සසර
එපමණ කලක් නොසිටි හෙයින් සුවාසූ චක්‍රවර්තී රාජ්‍ය සම්පත් ලැබීය.
දෙව භවෙ උපජ්ජාමි
දෙවෙ පිච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදාන සසිදං ඵලං
දිව්‍ය මනුෂ්‍ය යන මේ දෙගතිය හැර කිසිම දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි
ආනිශංසයි.
මේ අයුරින් නාගිතාපදානයේ එන නාගිත හිමියන් විසින් උදානයක් ලෙස ප්‍රකාශ කරන ලද
කඨිනානිශංස පිළිබඳ සැලකීමේ දී මෙලොව දී බෞද්ධයකු ලබන උතුම් ම පුණ්‍යකර්මය කඨින
පූජාව වනවාට කිසිදු සැකයක් නැත. |