Print this Article


සියයක් බුදු පුතුන් සසුනට දායාද කරන සුපින්බර වෑයම

සියයක් බුදු පුතුන් සසුනට දායාද කරන සුපින්බර වෑයම

බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් සම්බුදු සසුනට දායාද කිරීම වර්තමානයෙහි නම් ඉතා දුර්ලභ අවස්ථාවක්. එවන් බුදු පුතුන් සියක් නමක් සම්බුදු සසුනට දායාද කිරීමට ගන්නා උත්සාහයේ ම වටිනාකම මොනතරම් ද? එය ඉතාම දුෂ්කර කාර්යයක්.

එහෙත් එවැනි මහාර්ඝ පින්කමකට මූලාරම්භය දෙන විශේෂ විහාරස්ථානයක් තිබෙනවා. ඒ සිරිමුනි විහාරයයි. විහාරස්ථානය පිහිටා තිබෙන්නේ කලුතර පයාගල. හොරණ පාතකඩ බණ්ඩාර දේවාරාම පුරාණ රාජමහා විහාරය ද මෙම විහාරස්ථානයට ම සම්බන්ධයි.

පාතකඩ චන්දානන්ද නාහිමියන් ගේ අවවාද අනුශාසනා මූලික කරගෙන මෙම ශාසනික මෙහෙවර සිදුකරනු ලබන්නේ ශාස්ත්‍රපති කන්දකැටියේ ධම්මරතන හිමිපාණන් වහන්සේයි. කුල දරුවන් සසුන්ගත කිරීමේ උතුම් පින්කම පිළිබඳ උන්වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසයි.


ශ්‍රී සද්ධර්ම මධුරභානී, ශාසන ශෝභන කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය
කන්දකැටියේ ධම්මරතන හිමි

අද දවසේ අවශ්‍යතාව බැලුවත්, ශාසනයේ අනාගතය දෙස බැලුවත් ගමට, රටට පින්වන්ත ව, ශක්තිමත් ව වැඩ කරන්නට හැකියාව තිබෙන, දහමින් පෝෂිත දක්ෂ යතිවරයාණන් වහන්සේගේ හිඩැසක් තිබෙනවා. ඈත අතීතයේ සිටම ගමත්, පන්සලත් අතර තිබූ අවියෝජනීය බැඳීම අද වන විටත් මේ තරමට හෝ රැකී තිබෙන්නේ විනයගරුක දක්ෂ භික්ෂූන් වහන්සේ පිරිසක් තවමත් මේ ලක් දෙරණමත වැඩ සිටින නිසයි. බොදු සමාජයේ ඉදිරි අනාගතය සඳහාත්, ගිහි පැවිදි සම්බන්ධය ගොඩනඟා ගත යුතු වෙනවා. දායක සත්පුරුෂයන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා වගේ ම දහම් පිපාසය සංසිඳුවීමට උගත් වියත් යතිවරයාණන් වහන්සේගේ යම් අඩුවක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහායි මගේ තරුණ ජීවිත කාලය කැප කරල සියයක් පොඩි හාමුදුරුවරුන් ශාසනයට පූජා කරන මෙහෙවර ආරම්භ කළේ. මේ සියලු කටයුතු කරන්නේ බොහෝ බාධක මැද්දේ, සීමිත ඉඩකඩක අඩු පහසුකම් යටතේ යි.

සිරිමුනි විහාරය තවමත් ගොඩනැඟෙමින් පවතින්නේ. පුංචි ස්වාමීන් වහන්සේට වැඩ සිටින්නට සංඝාවාසයක් තිබුණත් පුංචි කාමර දෙකක තමා මේ පොඩි ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ. උන්වහන්සේ අසනීප වෙන අවස්ථාවල, පිරිවෙන් වැඩ කටයුතු කරන්න, නිදහසේ සුව සේ වැඩ ඉන්න පුලුවන් පරිසරයක් තවම මේ ස්ථානයේ නෑ. ආවාස කුටි සහ සංඝාවාසය මේ වන විට ඉදිවෙනවා. දැනට පොඩි හාමුදුරුවෝ දහඅට නමක් වැඩ සිටිනවා. ඉදිරි කඨින පින්කමේ දී තවත් කුලදරුවන් පස් දෙනෙක් සසුන්ගත වෙනවා,

අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පෙර බෝසත් අවධියේ පවා අත්හැරීම කියන ගුණය බොහෝ සේ පුරුදු කළ ශාස්තෘන් වහන්සේ නමක්. ඒ මඟ ගමන් කරන මම මේ ශාසන කැපවීම බොහෝ සතුටින් සිදු කරන්නේ. මම පාසල් ගුරුවරයෙක් ලෙස වැඩ කරනවා.

බුදුරජාණන් වහන්සේ අපිට අත්හැරීම කියන දේ පුරුදු කළා. ශාසනය වෙනුවෙන් කැප වෙන විට අනාගතයේ දී සමහර විට මේ කටයුතු කරද්දී ගුරු වෘත්තියේ කටයුතු මඟ හැරෙන්නට පුළුවන්. සමහර අවස්ථාවක දී ගුරු වෘත්තිය අතහැර දාන්න පවා සිදු විය හැකියි.

නමුත් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ කරන කටයුත්තේ දී මම ඒ සියල්ල පැත්තකින් තබා මේ වෙනුවෙන් එවන් තීරණයක් වුවත් ගන්නට ඉඩ තිබෙනවා.

මේ පුංචි සාමණේරයන් වහන්සේ මටත් වඩා දැන උගත්, රටට වැඩදායි, පණ්ඩිත හිමිවරු ලෙස ලොවට දායාද කිරීමයි මගේ බලාපොරොත්තුව. මම ඒ වෙනුවෙන් බැඳී සිටින්නට අදිටන් කර ගත්තා.

ගමන දුෂ්කර වුණත් එය යථාර්ථයක් කර ගෙන සම්බුදු සසුන් කෙත සුපෝෂිත කරන්නට එක්වන ලෙස මම සත්පුරුෂ ඔබටත් ආරාධනා කරනවා. ඒ වගේම ඔබට පුලුවන් මේ පොඩි නමකගේ කැපකරු දායකත්වය භාරගෙන උන්වහන්සේ යම් මට්ටමකට අධ්‍යාපනය හදාරන තුරු දායකත්වය ලබා දෙන්න. එය ශාසනික වශයෙන් ඔබ කරන උපකාරයක් ද වෙනවා.

මේ පොඩි හාමුදුරුවරු අතරේ සිටිනවා පවුලේ එකම දරුවා ශාසනයට පූජා කළ මවුපියන්. ඒ මවුපියන් හිත හදාගෙන තමන්ගේ එකම දරුවා ශාසනයට පූජා කළේ. ඒ මවුපියන් දවසක වයසට යනවා. ඔවුන් තනි වෙනවා. අසනීපවලට ගොදුරු වෙනවා. කිසිවකුගේ පිහිටක් නැති වෙන්නන් පුලුවන්. ඒ නිසා මගේ ඊළඟ අරමුණ වන්නේ මේ බුදුපුතුන් සසුනට පූජා කළ අම්මා, තාත්තා ලෙඩ වූ විට ඖෂධ සඳහා යම් මුදලක් මාසික ව පරිත්‍යාග කරන්න. ඒ වගේ ම ආර්ථික වශයෙන් බොහෝ දුෂ්කරතා තිබෙන මවුපියන්ට හිසට සෙවණක් නැත්නම් නිවසක් තනා දෙන්න.

මම හිතන්නේ සසුනට දරුවෙක් දායාද කළ කිසිදු අම්මා, තාත්තා කෙනකු මහලු නිවාසවල, අනාථාගාරවල තනිවිය යුතු නෑ. ඒ අම්මා, තාත්තා ආරක්ෂා කරන්න අවශ්‍ය බුදුපුත් මාපිය සෙවණක් නිර්මාණය කරන්නත් මම දැඩි අධිෂ්ඨානයක සිටිනවා.

ඒ මවුපියන්ට ආගමික පරිසරයක් නිර්මාණය කරලා ඔවුන්ගේ අවසාන කාලයේ දී ආදරණීය ව රැක බලා ගෙන සතුටින් තබන්න තමයි මගේ උත්සාහය. එතකොට ඒ පුත්‍ර ස්වාමින් වහන්සේටත් හිතේ දුකක්, බරක් නැතිව සුව සේ බණ භාවනා කරමින් ශාසනයේ උපරිම ඵලය නෙළා ගන්නත් හැකි වේවි.

මේ සියලු ම කටයුතු මම ශාසනය වෙනුවෙන් කරන්නේ. ඒ සඳහා මම ඔබටත් ආරාධනා කරනවා, අප හා අත්වැල් බැඳගන්න කියලා.

ඒ වගේම අප විහාරස්ථානයේ ඉදිරි පැවිදි පින්කමත් සමඟ ම ස්වාමින් වහන්සේ 25 නමක් සම්පූර්ණ වෙනවා. මේ සියලු කටයුතුª බාධාවකින් තොරව කර ගෙන යන්න මේ වෙනුවෙන් ඔබටත් අත හිත දෙන්න පුළුවන්. මේ යුගයේ අපේ කාර්යයන් සේ සලකලා දායක වෙන්න පුලුවන්. සම්බුදු සසුනේ යහපත පතන සැමට ම මම මෙත් සිතින් ආරාධනා කරනවා ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා.