Print this Article


සදහම් අරණ

පුංචි දුවේ, පුතේ අද බුදුසරණ සදහම් අරණට පුංචි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වැඩම කරනවා. ඒ දුවල පුතාලට ලස්සන බණ කතාවක් කියලා දෙන්නයි. රත්නපුරේ ධම්මරංසි පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ ඉන්නේ කළුතර පයාගල සිරිමුනි විහාරයේ. මේ බණ කතා කියවලා පුංචි ඔබත් බෝසත් ගුණ පුරුදු කරන්න ඕනෑ

ඔන්න, මම අද මගේ යාළුවන්ට කියන්න යන්නේ සුමන මල්කරුගේ කතාව. සුමන මල්කරු බිම්බිසාර රජතුමාගේ මාලිගාව මල්වලින් සරසනවා. එක දවසක් උදෑසනින් ම සුමන මල්කරු මල් කැඩුවා. මල් වට්ටියක පුරවගෙන හිසේ තබාගෙන රාජ මාලිගාව දෙසට ගියා. අතරමඟදී සුමන මල්කරු ඉදිරියට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. “බුදුරජාණන් වහන්සේට මේ මල් ටික පූජා කරන්න ඕනෑ” සුමන මල්කරු සිතුවා.

 ඒත් එයාට හිතුණා රජතුමා මට දඬුවම් දෙයි කියලා. ඒ වුණත් කමක්නෑ කියලා බුදුහාමුදුරුවන්ට මල් ටික පූජා කළා. සම්බුදු සිරසට ඉහළින් මල් ටික වියනක් වගේ සැරසුණා. ඒක දැකපු ගමේ අය සාධුකාර දුන්නා.

රජතුමාට මේ ගැන ආරංචි වුණා. සුමන මල්කරුට මාලිගාවට එන්න කියලා ගොඩක් තෑගිබෝග දුන්නා. බිම්බිසාර රජතුමා කීවා සුමන කර ගත් පිනෙන් කොටසක් මටත් අනුමෝදන් කරන්න කියලා. අනුමෝදන් කළා. අනුමෝදන් වුණා. ඒ වගේ මගේ පුංචි යාළුවොත් පින් කර ගන්නට ඕනෑ.

පෝයදාට පන්සල් ඇවිත් මළුපෙත් අමදින්න ඕනෑ. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න ඕනෑ. හොඳ ළමයින් වෙන්නටත් ඕනෑ.


අසරණ සෝපාක සරණ ලැබූ හැටි

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ පුංචි පිරිමි ළමයෙක් හිටියා. එයාගේ නම සෝපාක. එයා ඉපදුණේ දුප්පත් පවුලක. සෝපාකගේ වයස අවුරුදු හතේ දී තාත්තා මිය ගියා. ඉන්පසු සෝපාකගේ අම්මා තවත් විවාහයක් කර ගත්තා. ඒ බාප්පා නපුරු කෙනෙක්. බාප්පා සෝපාකට හිංසා කරනවා. ඒත් සෝපාක ඉතා කරුණාවන්ත දරුවෙක්.

එක දවසක් ඒ නපුරු බාප්පා මෙහෙම හිතුවා. මේ ළමයා නිසා මට හරි කරදරයි, හිරිහැරයි. ඒත් මේ සෝපාකට මොකුත් කරන්න විදිහක් නැහැ. එයාගේ අම්මා සෝපාකට ගොඩාක් ආදරෙයි. ඉතින් මම මොකක්ද කරන්නේ.

එක දවසක හැන්දෑවක බාප්පා බොහොම ආදරෙන් සෝපාකට කතා කළා. “පුතා සෝපාක යමු ද අපි ඇවිදින්න.” සෝපාක පුදුමයට පත් වුණා. බාප්පාගේ කරුණාවන්ත වචනවලට. ඊට පසුව සෝපාක ඉතා සතුටින් බාප්පත් සමඟ ඇවිදින්න ගියා. ඔවුන් ඇවිද ගියේ කනත්තකට. එහි ගොඩාක් මළ සිරුරු තිබුණා.

බාප්පා සෝපාකව එක් මළ සිරුරකට තබා තදින් ගැට ගැසුවා. ඉන්පසුව බාප්පා පිටව ගියා. පුංචි සෝපාක බයෙන් අඬන්න ගත්තා. ටික ටික රෑ වුණා. සෝපාක තවත් බය වුණා. ඒ හඬ ඇසී වන සතුන් එහි ආවා. නරි රංචුවකගේ හූ හඬ ළඟ ම ඇහුණා. එතකොටම එළියක් පැතිරුණා. ඒ එළිය අතරින්

"පුතා, සෝපාක අඬන්න එපා. මම පුතාට උදව් කරන්නම්’ මුදු මොළොක් වචන ඇසුණා.

ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සෝපාක සමඟ ජේතවනාරාමයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සෝපාක සෝදා පිරිසුදු කර අලුත් ඇඳුම්, ආහාර ලබා දුන්නා.

බාප්පා ගෙදර ආ විට සෝපාකගේ අම්මා ඇසුවා පුතා කෝ කියා. මම දන්නේ නැහැ කියා කීවා. සෝපාකගේ අම්මා රෑ එළිවෙනතුරු පුතා එනකම් බලා සිටියා. පසුදා උදේම සෝපාකගේ අම්මා හඬමින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. පුතා නැතිවූ බව කීවා. කලබල වෙන්න එපා. පුතා ආරක්ෂිත ව මෙහි සිටිනවා. බුදුරජාණන් වහන්සේ පැවසුවා.

පුංචි චීවරයක් දරාගෙන සෝපාක පොඩි හාමුදුරුවෝ අම්මා ඉදිරියට ආවා.

අම්මා ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේටත්, කුඩා සෝපාක හිමිටත් වන්දනා කළා.


රාහුල පොඩි හාමුදුරුවෝ

නෙලුම් මලේ අසිරිය

සවිතු සනුලක පතිරාජ
1 වසර
ගුණපාල මලලසේකර විද්‍යාලය ,
වලස්වැව, මහව

දිමල් සමරසිංහ
4 වසර
මිනු/ හුණුමුල්ල ම.විද්‍යාලය ,

දිවුලපිටිය

 


 

සදහම් අරණට පුංචි ඔබටත් නිර්මාණ යොමු කරන්නට පුළුවන්. ඔබේ නිර්මාණ සදහම් අරණ, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට යොමු කරන්න.