Print this Article


මෙලොවදී ම අනුසස් ලැබෙන දානය

මෙලොවදී ම අනුසස් ලැබෙන දානය

දස පාරමිතා අතරේ මුල්ම පාරමිතාව දානයයි. ඒ වගේ ම දසරාජ ධර්මයන් අතරත්, සතර සංග්‍රහ වස්තු අතරත් ප්‍රධාන තැනක් ලැබෙන්නේ දානයට යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දාන, සීල, භාවනා ජීවිතයේ කොටසක් කර ගන්නා ලෙසටයි.

තමන් සතු දේ පරිත්‍යාග කිරීම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. පූජා බුද්ධියෙන් දීම, අනුග්‍රහ බුද්ධියෙන් දීම. මෙතැන පූජා බුද්ධියෙන් දෙනවා කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් වෙනුවෙන් කරන පූජාවන්ට යි.

දුගී, මගී, යාචක, බලු, කපුටු ආදීන්ට අනුකම්පා සිතින් යමක් දීමේ දී ඇති වන්නේ, පහළ වන්නේ අනුග්‍රාහ බුද්ධියයි. මේ දීමනා දෙක වෙන් වශයෙන් වටහා ගන්න ඕනෑ.

දන්දීම කියන මහා කුසලය කරන පුද්ගලයා කෙනකුගේ මෙහෙයවීමක් නැතිව තමා සිතා ම දන් දෙයි නම්, ඒ තැනැත්තාට ඇති වන්නේ “සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික” මහා කුසල චිත්තය යි. කාමාවචර මහා කුසල් අතර මුල්තැන ලැබෙන කුසල් සිත ඒකයි. මුල, මැද, අග කියන අවස්ථා තුනේ දී ම සිත සතුටින් දන් දෙන පින්වතා විශාල ආනිශංස රාශියක් මෙලොව පරලොව දෙකේ දී ම ලබන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

දන් දෙන තැනැත්තා ලෝවැසි ජනයාට පි‍්‍රය වූ පුද්ගලයෙක් වෙනවා. ඔහු ඇසුරු කරන්නට සෑම දෙනා ම කැමතියි. ඒ වගේ ම උසස් කීර්තියක් සමාජයෙන් ලබා ගන්නවා. ඕනෑම තැනකට භය නැතිව, විශාරද පුද්ගලයෙක් විදිහට යනවා.

පින්වතුනි, සියලුම පින්කම්වලට මූලික වන්නේ දීමයි. දානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ආමිස දානය, අභය දානය, ධර්ම දානය, මෙයින් ආමිස දානය කියන්නේ ආහාර පාන, බෙහෙත්, කෙත්වතු, රන්රිදී, මුතු මැණික් ආදී බාහිර දේ දන්දීම, ඒ වගේම ඇස්, ඉස්, මස්, ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් දන්දීම ශරීරය දන්දීම ආදිය ආධ්‍යාත්මික දානය යි. අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කරදීම අභය දානය යි. සොර සතුරන්ගෙන්, ජලයෙන්, ගින්නෙන්, නපුරු සතුන්ගෙන් ආදී ඕනෑම විපතකින් ආරක්ෂා කරන්න පුළුවන්.

ඒ වගේම මස් පිණිස ගෙන යන ගවයන් ආදී සතුන් මුදල් දී නිදහස් කරන්න පුළුවන්. එය ඉතා වටිනා පින්කමක්. ඒ වගේම අහිංසක සතකුගේ ජීවිතය ආරක්ෂා කිරීමක්.

දානමය පින්කම් අතර උතුම් ම පින්කම “ධර්ම දානමය පින්කම” යි. සියලු දානයන් පරදවා ධර්ම දානය දිනනවා. “සබ්බදානං ධම්මදානං ජිනාති” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ නිසයි. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදිය ගැන නොසිතා ධර්මය කියන්න ඕනෑ.

විශේෂයෙන් ධර්මය නො දන්නා අයට කරුණා, මෛත්‍රියෙන් එම ධර්මය කියා දෙන්න ඕනෑ. එසේ බණ කීමට නොහැකි නම් බණ කියා දෙන ධර්ම කථිකයන්ට සත්කාර සංග්‍රහ කරන්න ඕනෑ. පොත් පත් මුද්‍රණය කර නොමිලේ බෙදා දෙන්න ඕනෑ. මෙසේ ධර්ම දානමය පින්කම කරන්න පුළුවන්. දන්දීම මෙලොව දී ම විවිධ ආනිශංස ලැබීමට හේතු වෙනවා. දුන්නොත් ලැබෙනවා කියන විශ්වාසය තිබෙන්න ඕන.

“ජිනෙ කදරියං දානෙත” යනුවෙන් මසුරුමල දුරු කරන්න තිබෙන්නේ දන් දීමෙන්.

අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරණ සමයේ දී අනන්ත අප්‍රමාණ දන් දීලා තිබෙනවා. මහා සාගරේ ජලය පරදවා ලේ දන් දුන්නා. මහපොළොව පරදවා ඇඟ මස් දන් දුන්නා,

මහ මෙර ප්‍රමාණයට හිස් ද දන් දුන්නා. අහසේ තරු ප්‍රමාණයට ඇස් ද දන් දුන්නා.

මෙසේ බෝධිසත්වයන් වහන්සේගේ දන්දීම ඉතා ඓශ්චර්යයි. බුදුරදුන් තරම් දන්දීමේ ආනිශංස යමෙක් දන්නවා නම්, ඔහු කන කෑම පිඟානෙන් පිඬක් දන් නොදී අනුභව කරන්නේ නැහැ.

බුද්ධ දේශනාවේ හැටියට අපට ලැබිය හැකි, ලැබිය යුතු ප්‍රධාන සැප දෙකක් තිබෙනවා. ඒ තමයි ලෞකික සැප, ලෝකෝත්තර සැප. තවත් ක්‍රමයකට කියනවා නම් සසර වසනතුරු ලබන සැප. ඒ වගේ ම, සසරින් එතෙර වී ලබන නිර්වාණ සැපය කියන මේ සැප වර්ග දෙක ඔය සෑම සැපයක් ම ලබන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.