Print this Article


අවබෝධයෙන් ජීවිතය දකින්න

අවබෝධයෙන් ජීවිතය දකින්න

යම් දෙයක හට ගැනීමක් වේ ද, ඒ සියල්ල නැසී යයි” නො නැසෙන කිසිවක් නැත. නොනැසෙන කිසිවෙක් නැත” මේ ලෝ දහමයි.

ඒ බව හොඳින් අවබෝධ කර ගත් පුද්ගලයා ඇසට – රූප, කනට – ශබ්දය, නාසයට – ආග්‍රහණය, දිවට – රස ආදී වශයෙන් අරමුණු පරිහරණය කිරීමේ දී ලෝභාදී කෙලෙසුන්ගෙන් බැහැර ව සිටී. සිහිය පවත්වා ගැනීමට සිත සකස් කරගනී. යම් කෙනෙකුට ඒ තත්ත්වය අවබෝධ නොමැති වීමෙන් සිදුවන්නේ අන්ධබාල, පෘථග්ජන වු මනෝ භාවය ක්‍රියාත්මක වීමයි.

ඒ කියන්නේ පි‍්‍රය අරමුණුවල, එසේත් නැතිනම් “මම ය – මාගේ ය යන දෘෂ්ඨීන්හි ඇලීමයි. ඒ වගේ ම ඇකැමැති අරමුණුවල ගැටීමයි. එනම් පටිඝයයි. ලෝභය ආදී වූ කෙලෙස් හි ක්‍රියාත්මක වීමයි. ඒ වගේම ආශ්‍රව ධර්මයන්ගේ වැඩීමයි.

මිනිසා ප්‍රාණඝාත සොරකම් ආදී වූ පස්පව් සහ දස අකුසල්හි නිරත වන්නේ මේ ආශ්‍රව ධර්ම වැඩීම හේතුකොට ගෙනයි. තෘෂ්ණාවෙන් බැඳෙන්නේ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස එනම් බලවත් වූ සිත්තැවුල් ආදියට උරුමකම් කියන්නේ ගොදුරු වන්නේ ආශ්‍රව ධර්ම වැඩීම හේතුකොට ගෙනයි.

එලෙසම ඔවුහු මරණින් මතු සතර අපායේ ඉපදීම ම ඉලක්ක කර ගනිති. එහි ම භවය නිර්මාණය කර ගනිති. මේ ආකාරයෙන් කෙළවරක් දක්නට නැති, ආරම්භයක් නොපෙනෙන දිගු සසර ගමනේ අපමණ දුක්විඳින සංසාර චක්‍රයට එකතු වෙති.

මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මහාමේරු පර්වතය යම් වූ දිනක වියැකේ ද, සිඳේ ද, නැසේ ද එය දැකිය හැකි ය. එලෙස ම මහා සාගරය යම් වූ දිනක වියැකේ ද, සිඳේ ද, නැසේ ද එය දැකි හැකි ය. එලෙස ම මේ මහ පොළොව යම් දිනක වියැකේ ද, නැසේ ද, වැනසේ ද, එය ද දැකිය හැකි ය. මේ සිදුවීම් කොයි ආකාරයෙන් වුව ද දුටුවත් අවිද්‍යාවෙන්, වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් නම් දැකිය නොහැකි ය යනුවෙනි.

මේ ආකාරයෙන් මනා පැහැදිලි කිරීමකින් දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඉගැන්වීම, පෘථග්ජන වූ අපට පහසුවෙන් අමතක කළ හැකි ද? නොසලකා හැරිය හැකි ද?

යම් දෙයක් දෙස විශේෂ කොට සිතන්නට, දකින්නට නොහැකි මන්දමානසික පුද්ගලයන් සේ කෙලෙස් සමඟින් අරමුණූු පරිහරණය කරමින් ජීවිතය පවත්වා ගත යුතු ද? යන්න සිතා බැලිය යුතු ය. දුර්ලභ ව ලැබු මෙම උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ වටිනා අර්ථය පිළිබඳ අනවබෝධයෙන් කටයුතු නොකළ යුතුයි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ ව ලැබු මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබන්නට සියලු දෙනා උත්සාහවත් විය යුතු ය. එවන් වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබන විට අතිදුර්ලභ ව මුණගැසුණු සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නො ලබන්නේ නම්, එය මහා අභාග්‍යයකි.

තථාගත බුදුරජාණන් වහන්සේ දෙසු මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවට අනුව ‘ආරම්භ කරන්න, ප්‍රතිපදාවෙහි ගමන් කරන්න. මේ උතුම් බුදු සසුනෙහි වැඩ වඩන්න.

එය මේ ආකාරයි. හස්තිරාජයෙක් බටදඬු ගෙයක් පහසුවෙන් තලා පොඩිකොට සුනු විසුණු කොට විනාශ කොට දමන්නේ යම් සේ ද ඒ ආකාරයෙන් මාර සේනාව විනාශ කරන්න.

“යමෙක් අප්‍රමාදය හෙවත් කුසල් මගට යොමුවී මේ ධර්ම විනයෙහි හැසිරෙන්නේ ද, හෙතෙම සසර සකස්වීම බැහැර කොට හෙවත් ඉපදීම නැතිකොට සියලු දුක් කෙළවර කරන්නේ ය”

මේ වෙනුවෙන් අප විසින් සිදු කළ යුතු ධර්ම මාර්ගය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.

ඒ මෙසේ ය. ‘අප්‍රමාදි වන්න. සතිමන්තො එනම්, පරමාර්ථ ධර්ම වශයෙන් සිහි ඇත්තෙක් වන්න. මනා කොට සීලයෙන් පිරිපුන් වන්න. මනාකොට එකඟ වූ සිත් හා සිතිවිලිවලින් යුක්ත වන්න. කෙලෙස් හෙවත් ආශ්‍රව ධර්මයන්ගෙන් සිත රැක ගන්න. මෙම කරුණ නැවත නැවත සිහිපත් කරමි’යි තමන් තමන්ට ම සිහි කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා තමන් වහන්සේගේ ජීවිත කාලය ම කාලසටහනකට අනුව කටයුතු සිදු කරමින් සියලු සත්වයින් කෙරේ මහා කරුණාවෙන් යුතුව නිවැරැදි මඟ පෙන්වා වදාළහ. ඒ පෙන්වා වදාළ මඟ අප විසින් අවබෝධයෙන් යුතුව, ඒ ප්‍රතිපදාව අනුගමනය කරමින් විමුක්ති මාර්ගය සකසා ගත යුතු වන්නේ ය.

“ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි, සමුත්තේපේසි සම්පහංසේසි“ කුසල් සිත් උපදවන දහම් කතාවක් දේශනා කොට වදාළහ. එහි සමාදන් කළ සේක. උනන්දු කළ සේක. ධර්ම අවබෝධයෙන් ලබන සන්සිඳීම ඇති කළ සේක. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමේ පිළිවෙළයි.

සියලු සංස්කාර ධර්මයෝ වහා නැසෙන සුළු ය. ස්කන්ධ පඤ්චකය මූලික කොටගත් සියලු සංඛත ධර්මයෝ අනිච්ච, දුක්ඛ අනන්ත නම් වු ත්‍රිලක්ෂණ ධර්මයට යටත් ය. ඒ නිසා සැපතේ දී උපාදානය නොවෙන්නත්, දුකේ දී දෝමනස්සයට හෝ පටිඝයට නො එන්නටත් සම්මා ප්‍රඥාව ඇතිකර ගත යුතු ය.

අද පවත්නා දුෂ්කර කාලයේ දී පවා දුර්ලභව ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ උතුම් වූ අවස්ථාවට හානි නොකර ගත යුතු ය. මේ ජීවිත පැවැත්ම කෙටි කාලීන වූවකි. සියලු දෙනාට ම නොවුණත් සම්මතයේ පවතින්නේ සියක් ආයු කාලයකි.

එනමුත් අතීත දුකින් පිරි සසර කොපමණදැයි අපි නො දන්නෙමු. පවත්නා සම්මුතියේ තමන්ට ඇති ගැටලුවලට සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිපදාවන්ට හානි නොවන ආකාරයෙන් විසඳුම් සොයා ගත යුත්තේ ය. එසේ ලෞකික වශයෙන් ආර්ථිකමය හා සාමාජීය ගැටලුවලට පිළියම් පවා දහමෙහි පෙන්වා දී ඇත.

මේ සියල්ල තාවකාලික ය. උපරිමය නම් මේ ජීවිත කාලයට පමණ ය. කෙටිකාලීන ජීවිත පැවැත්මක ඇතිවු ගැටලු නිසා කෙළවරක් දක්නට නැති භවයම අප්‍රමාණ දුකකට හෙළා ගත යුත්තේ දැයි සිහි නුවණින් කල්පනා කොට බලමු.

එදා බුදුරජාණන් වහන්සේ දවස විසාලා මහනුවර පටන් මෙනෙහි කොට බලමු. කලින් කල, වරින් වර විවිධාකාර වු ගැටලු, ප්‍රශ්න පැන නැඟේ. මේවාට මුහුණ දීම තථාගත ධර්මය අනුගමනය කරන පිරිසට හැකි විය යුතු ය. එවිට යම් ආකාරයකින් පවත්නා ගැටලු හා ප්‍රශ්නවලට සහනදායි විසඳුම් ලැබිය හැකි වන්නේ ය.

එහෙත් මේ භවයෙන් නිදහස්වීම පිණිස ඔබ, අප දබර කර ගනිමින්, ප්‍රශ්න ඇති කර ගනිමින්, තණ්හා, මද, මාන හා දිට්ඨි ඇති කරගෙන ඒ ඔස්සේ පිළිතුරු සෙවිය හැකි ද යන්න තම තමන් විසින් සිතන්නට හැකි ය.