Print this Article


පහන් සිතක කවි

බුදු මඟ

මුනිදුන් ඔබයි මේ ලෝකේ දිලෙන හිරු
පැරදූ සේක ඝොර සසරේ රුදුරු මරු
බුදු බව පිණිස නෙක දුක් පාරමී පිරු
මෙම බුදුසසුන ගෞතම හිමි භාර කරු

වියපත් ජීවිතේ ගත වීරිය බිඳුණ
හැකි වේ ජය ගන්න කළවිට මන දමන
කරුණා බරිත සිසිලෙන් අප හද තෙමන
මඟ යා යුතුයි සම්බුදු හිමි දෙසු නිවන

වීතරාගි හිමි වැඩි මග පැහැදී යන්න
ක්‍රෝධය ඉවතලමු නොගනිමු පොලු මන්න
මෙත් කරුණා ගුණය සත වෙත පතුරන්න
මග ඵල ලබා අමනිවනින් සැනසෙන්න


පොඩි සාධු ගමට ඇවිත්

චග්ගුඩු පනිනවා බලන්න
එල්ලේ ගහනවා බලන්න
ඉපනැල්ලට වැඩියා මං

අනේ අම්මෙ මට නුහුරුයි
වෙල්යායේ දැන් සෙල්ලම්

එල් බී ඩබ්ලිව් කියනවා
සික්සර් සෙන්චරි කියනවා

එදා වදන් වෙනදා හඬ
දැන් ඇහෙන්නෙ නෑ අම්මේ
සංඛත සංවර ශීලය අම්මේ
යළි පිරිසුදු කර ගන්නම්


පසිඳුරන් නිසා

පුහුදුන් අයෙක් ලෙස මේ ලොව උපන්නේ
පුහුදුන් බව නිසා පාපෙහි ඇලෙන්නේ
වඩමින් කෙලෙස් සිත් කිලුටින් පිරෙන්නේ
පස් ඉඳුරන් නිසයි මේ සැම ලැබෙන්නේ

රූපය ලස්සනයි සුන්දර යැයි සිතලා
ඇතැමෙක් එහි ඇලෙති මෙය මගෙ කියලා
වයසත් සමඟ වියැකෙන රූපය දැකලා
හැකි වෙද සිතන්නට එය අනියත කියලා

හඬ කන්කලු වේවි හැක සිත් සනසන්න
නහයට හැකි ය සුවඳෙහි තතු දැන ගන්න
වූ විට දුබල ඔබගේ ඉඳුරන් ගොන්න
හැකිදෝ මිහිරි වූවත් එය විඳගන්න

ගොරහැඬි වියළි සම නැහැ දෙන්නේ පහසක්
විකුවට අහර දෙනවද පිවිතුරු රසයක්
දුබලව ගිය සිතට මෙන් ගතට ද සැපයක්
ලැබුමට ඇත්තෙ බුදු දහමයි එය සතුටක්


ජීවිතේ අපේ

කාලයෙ නම් නටුවෙ අගින්
ගිලිහෙන මල් කැකුළු ලෙසින්
ගිලිහී යති කැකුළු පැතුම්
ජීවිත තුර වෙතිනේ
සැමවිට බෝ දුකිනේ

සුවඳ දෙමින් ඒ අතරින්
බෝ වෙහෙසින් පිපෙනා මල්
ලෙසින් පැතුම් කුකුළු ටිකක්
සුපිපෙන්නේ බෝම තුටින්
ජීවිත තුර සරසවමින්

ගිලිහී ගියත් කැකුළු පැතුම්
පිපුණා වුවත් කැකුළු පැතුම්
මිලින වෙන සේ පිපුණ මල්
විනාස වී යයි නියත ලෙසින්
ජිවිතය නම් තුර සැම කල්


සොහොන් කොත...

නම - ගම ඇත
සොහොන් කොත මත
කලක් ගත වී ගියා
සිමෙන්ති - ගල් - වැලි
හැලී - හැලී යයි
ඇතැම්.....
මිනිසෙක් දකින අනියතය
සිත් - පිත් නැහැ
නමුත් සොහොන් කොත
නොවලහා
අපට පවසයි
අනියත


මගේ අම්මා

කොපමණ විහඟුන් ගී ගැයුවත් වන වදුලේ
දිලෙසන තරු පොකුරු තිබුණත් ගුවන්තලේ
සීනු හඬින් බැස ගියත් දිය රැලි ගඟ තලේ
මගෙ අම්මා නැති අඩුව තිබේ හැමදාමත් මිහිතලේ

මොනර සෙබඩ පිල් විහිදා නැටුවත්
සඳ කොමලිය තරු පිරිවර රෑ අහසේ බැබළුණත්
කුරුලු කිරිලියන්ගේ කිචි බිචි හඬ රැව් පිළි රැව් දුන්නත්
මගෙ අම්මා නැතිව කිසිදා නැත මට සැනසීමක්

බාලේ මා දෝතට ගෙන නැළවූ අම්මා
රස මසවුලෙන් බත් ගුලි කොට කැව් මගෙ අම්මා
ලෙඩ වූ විට රෑ නොනිදා මට උවටැන් කළ මගෙ අම්මා
මෙතරම් ඉක්මනින් දෙව්ලොව ගිය මගෙ අම්මා

මලේ රේණු මල අමතක කළා දෝ
විලේ නෙළුම් විල තනිකර ගියා දෝ
හිතේ සිහිල මා අතහැර ගියා දෝ
අම්මේ නුඹ මා තනිකර ගියා දෝ