Print this Article


අනුබුදු මිහිඳු මාහිමි ගුණ අපරිමිත සිහිකර වඳිමු සදහම් ගුණ දරා සිත

අනුබුදු මිහිඳු මාහිමි ගුණ අපරිමිත සිහිකර වඳිමු සදහම් ගුණ දරා සිත

ඉපදෙමින්, මැරෙමින් යන මේ සසර ගමන පටන්ගත් කෙළවරක් දකින්නට බැහැ. එහෙම සසර ගමනකට වැටිලා දුකින් දුකට, නිරයෙන් නිරයට, තිරිසන් ලෝකයෙන් තිරිසන් ලෝකයට මාරුවෙමින් මේ අනන්ත දුක් විඳිමින් අපි මේ සසරේ ගමන් කරන්නේ.

එහෙම සසර ගමන ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළා. අපි ඌරන්, කුකුළන්, ගවයන්වෙලා බෙලිකැපුම් කරද්දී ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව. එවැනි සසරක ගමන් කරන අපට සම්බුදු සසුනක් මුණ ගැසෙනවා කියන්නේ කෙ තරම් වාසනාවක් ද?

ලක්දිව උපන් අප හැම දෙනාට ම මේ මහඟු වාසනාව උදාකර දුන් ගෞතම බුදු සසුන අපට දායාද කළ උතුම් මනුස්ස රත්නයක් මීට වසර 2283 කට පෙර මේ ලක්දිවට වැඩම කළා. සසර නම් මහා සැඩ පහරෙහි පරඬැලක් වගේ එහෙට මෙහෙට ගසා ගෙන යන ජීවිතවලට එදා ඉලක්කයක් ලැබුණා. ඒ අපගේ පරම පූජනීය වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයයි.

මේ මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හතර නමක් ලෝකයට පහළ වුණා. ඒ තමා කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ බුද්ධ ශාසනය මේ ලක් දෙරණේ පිහිටුවා තිබුණා. අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලක් දෙරණේ පිහිටුවීම පිණිස ඒ උතුම් බාරධූර වගකීම පැවැරුණේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේට යි.

සසරේ පුරණ ලද පින් බලයෙන් මහා නැණ බලයෙන්, ස්ථානෝචිත ප්‍රඥාවෙන් වගේම අරහත් තේජසින් අපගේ මිහිඳු මා හිමි බැබළී ගියා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රවර්තනය කළ ඒ අසිරිමත් දහම් සක ලක්වාසී දෙවියන්ගේත්. මිනිසුන්ගේත් සියලු ශෝක, දුක්, තැවුල් නිවාලමින් ගලා ගියා. ඒ උතුම් ධර්ම ප්‍රචාරය කොතරම් අසිරිමත් ද? ඒ ධර්ම ප්‍රචාරය දෙවැනි වූයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ධර්ම ප්‍රචාරයට පමණයි. එනිසයි මිහිඳු මහ රහතන් වහන්සේ “අනුබුදු” කියන උතුම් නාමයෙන් අප හඳුන්වන්නේ.

ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පරම පූජනීය වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කළ තුන්වැනි ධර්ම සංගායනාවෙන් අනතුරුව අපගේ මහා මිහිඳු මහරහතන් වහන්සේ සුදුසු කාලය බලා අප ලක්දිවට වැඩම කළා. ඒ දෙවැනිපෑතිස් රජුගේ රාජාභිශේකයෙන් පසුවයි. අපි දන්නවා රජුගේ නුවණ විමසීමට මහ රහතන් වහන්සේ අඹ පැනය, ඥාති පැනය ආදිය විමසුවා.

ඉන්පසු මිහිඳු මහ රහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රය, විමානවත්ථු, පේතවත්ථු ආදී බෝහෝ දේශනා වදාළා. ඒ දේශනා තුළින් උන්වහන්සේ ජීවිතය ගතකරන ආකාරය, තමන් කරන, කියන, සිතන, පතන දේ අනුව කර්ම සකස් වෙලා, ඒ අනුව දුක සහ සැප විඳින ආකාරය දෙසා වදාළා.

අධර්මයෙන් අප මුදවා ධර්මයට මිනිසුන් ළං කරන්නට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ඒ හැම අවස්ථාවක ම අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ දීප භාෂාවෙන් ම ධර්මය වදාළා. මේ ලක් ධරණීතලයට සැබෑම පිළිසරණක් වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි ජනී ජනයා ධර්ම මාර්ගයේ ගමන් කරවීමට ඇපකැප වූණා.

ඒ වගේම ලක් දෙරණට උතුම් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත්, කාන්තාවන්ට අරහත් ධජය උරුමකර දීමටත් කටයුතු කළා. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක් දෙරණේ රෝපණය වන්නේ මිහිඳු මාහිමියන්ගේ පූර්ණ මැදිහත් වීමෙන්. ලක්වාසි අපට මිහිඳු මහ රහතන් වහන්සේ තරම් ධර්මයෙන් උපකාර කළ වෙනත් උතුමෙක් නැති තරම්.

දුසිල්වත් වූ සිංහලයන් සිල්වත් කළේ මිහිඳු මහ රහතන් වහන්සේ යි. මසුරුමළ බැහැර කර සත්පුරුෂ දානය තුළ අප ව හික්මවූයේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ යි. අපගේ සිහිය, නුවණ, දියුණු කර ගන්නට දහම් දෙසුවේ මිහිඳු මහ රහතන් වහන්සේ යි.

සර්වඥ ධාතුන් වහන්සේ ලක්දිවට වැඩමකරවා මහා ස්තූපය බැඳ අපට වන්දනා කිරීමට මගහසර විවර කර දුන්නේත් උන්වහන්සේ ම යි. ලක්වැසියාට අරහත් ධජය හිමිකර දී ඒ උතුම් උපසම්පදා සීලය ආදී උතුම් නිවනට යොමු වන කෝටියක් සංවර සීලයෙහි හික්මෙන්නට සිංහලයාට අවස්ථාව දුන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ යි.

කරුණාව, ඉවසීම, මෛත්‍රිය, දයානුකම්පාව, අන් අයගේ සැපතේ දී සතුටුවීම, කෙළෙහිගුණ ආදී උතුම් උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වඩන්නට උපකාර කළේත් අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ යි. අද අපි දන්දෙමින් සිල් රකිමින්, කය, වචනය සංවර කරමින් යම් පිනක් රැස් කර ගන්නවා නම්, ඉඳුරන් සංවර කරගෙන කුසල් වඩනවා නම්, මෙත් සිත වඩනවා නම්, අනිත්‍ය මෙනෙහි කරනවා නම් විදසුන් වඩනවා නම් ඒ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අපට ලබා දුන් ධර්ම දායාදයේ ප්‍රතිඵලයක්.

අප සරණගිය ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අපට පරිපූර්ණ වශයෙන් විස්තර කරමින් කියා දුන්නෙත් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ යි. අසූහාර දහසක් වූ ශ්‍රී සද්ධර්මය දරාගෙන අපට ඉතාමත් මැනවින් කියා දෙමින්, ඒ දහම් පද විවරණය කරමින් නැවත නැවත විග්‍රහ කරමින්, අටුවා කතා කියා දෙමින් අපට ඒ දහම මැනවින් වදාළේත් මිහිඳු මහ රහතන් වහන්සේ යි. අපගේ සිත බුදුසසුන කෙරෙහි පහදින්නට උපකාර කළේත් උන්වහන්සේමයි.

ගෞතම බුදුසසුන බැබැළවූ ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් ඒ ගෞතම බුදුසසුන ශෝභමාන කළ උතුම් මහරහතන් වහන්සේ ගැන, මගඵලලාභී උතුමන් ගැන, මගඵලලාභී දෙවි මිනිසුන් ගැන, ඒ ආර්ය මහා සඟරුවන ගැන අපට කියා දුන්නේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ යි.

නොයෙක් මිසදුටු මතවලින් කිළිටි වෙලා කාමයන් පසුපස හඹා යමින්, කිසිදින තෘප්තියට පත් නොවන පැතුම්වලින් පිරී ගිය හිත් තිබුණ, සතර අපායට යන්නට දොරටු හැරගෙන සිටි ලක්වාසී ජනයාට පිහිට වෙමින් ඔවුන්ගේ සිත් සතන් සකසා දහමින් පෝෂණය කළේ උන්වහනසේ යි.

ලෞකික ජීවිතය ගොඩනඟාගන්නා ආකාරයත්, ලෝකෝත්තර ජීවිතයේ සුවපහසුවත් උන්වහන්සේ මැනවින් වදාළා. අපට සුගති රැකවරණයට ද මඟ විවර කර දුන්නේ දීපප්පසාදික අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ යි.

භාග්‍යවතුන් වහන්සේ වදහළ ඒ සුමිහිරි දහම අපට කියා දෙමින් දහමින්, ගුණයෙන්, වගේ ම නුවණින් ද, හෙළයා පෝෂණය කළ අපට අනුබුදු වැනි වූ මිහිඳු මා හිමියන් අදවන් දිනක පිරිනිවීමට පත් වුණා. එවකට උන්වහන්සේ අසූවැනි වියේ පසුවුණා. සියලු ධර්මතාවන් අනිත්‍ය බව පසක් කරමින්, අපගේ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ පිරිනිවන් වැඩිය ද අපට හිමි කර දුන් දායාදය සුළුපටු නොවේ.

උන්වහන්සේ වප් මාසයේ පුර පක්ෂයේ අව අටවක දිනන පිරිනිවන් වැඩි නිසා එකල හෙළ බොදුනුවා එම දිනය “ශ්‍රී මිහිඳු පුර අටවක ලෙස” හැඳින්වූවා.

එකල මෙරට රජ කළේ උත්තිය රජු යි. උන්වහන්සේගේ පිරිනිවීම රජුට දරාගන්න නොහැකි වුණා. රන් දෙනක සුවඳ තෙල් පුරවා ශ්‍රී දේහය එහි තැන්පත් කොට රන්කුළු ගෙයක තබා මහත් ගෞරවයෙන් අනුරාධපුරයට වඩමවා ගත්තා.

ධජ පතාක ඔසවා තොරණ බන්දවා මල් මාලාවන්ගෙන් සරසා, පුන්කලස් තබා නගරය අලංකාර කළා. ශ්‍රී දේහය කූටාගාරයක තැන්පත් කර සත් දිනක් පුරා අපමණ පූජෝපහාර පවත්වනු ලැබුවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ භූමියට ගෞරව පිණිස ‘ඉසිඟුමංගන’ යන නාමය තැබුවා. උත්තිය රජු විසින් එහි අරහන්තක ධාතුන් වහන්සේ තැන්පත් කොට සෑයක් ද කරවූවා.

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවි ගොස් වසර 560කට පසු රජ වූ මේඝවර්ණ රජු මිහිඳු මා හිමියන්ගේ ගුණ සමරා මිහිඳු පුර අටවක දා මහා පින්කම් සිදු කළා. එසේම පසු කලෙක රජ වූ සිරිමෙවන් රජතුමා ද මිහිඳු මා හිමියන් සමරා මහත් වූ පුද පූජාවන් කළ බව මහාවංශයේ සඳහන් වෙනවා.

එහි සඳහන් වන පරිදි රජු විසින් මිහිඳු මා හිමියන්ගේ සිරුරෙහි පමණට ම තනි රනින් පිළිම වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට පෙර දින මිහින්තලාව වැඩමවා අම්බස්ථලයෙහි අටවක දින වැඩ සිටීමට සලස්වා තිබෙනවා. පසුදින ලංකාදීපයේ සියලු භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් ද, සිව්රඟ සේනාව ද නගරවාසී, ලක්වාසීන් ද කැටුව මිහිඳු මහ රහතන් වහන්සේ ගුණ කියමින් වන්දනා කර තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිම වහන්සේ වැඩමවන මාවත් සුන්දර ව සරසා පැමිණෙන සියලු දෙනාට ම දානය ද පූජා කර තිබෙනවා. වාර්ෂික ව එදිනට එවැනි පුද පූජා පවත්වන ලෙස රාජ නියෝගයක් ද කර ඇති බව මහාවංශයේ සඳහන් වෙනවා. සිරිමෙවන් රජුගේ පරම්පරාව එසේ උන්වහන්සේ උදෙසා නො කඩවා වසර 300ක් පුද පූජාවන් පවත්වා ගුණ සිහි කර තිබෙන බව මහාවංශයේ සඳහන් වෙනවා. මෙවර මිහිඳු පුර අටවක පෝ දිනය යෙදෙන්නේ මේ මස (ඔක්තෝබර් ) 22 වැනිදාට යි.

ලක්වාසී අප සියලු දෙනාට ශාසන දායාදය ලබා දුන් අපට අනුබුදු වැනි වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ සමුදාය සිහි කරමින් උන්වහන්සේ වදාළ සදහම් මාවතේ ගමන් කිරීමට අපි ද උත්සුක වෙමු.