Print this Article


තරුණියට වෙනස් කළ නොහැකි වූ සිත

තරුණියට වෙනස් කළ නොහැකි වූ සිත

මරණය නිසා වෙනස් වූ තරුණ භික්ෂුවකගේ කතාව

ශ්‍රී ලාංකීය බෞද්ධ අබෞද්ධ හැමෝම දන්නවා කැලණි විහාරය කියන්නේ බෞද්ධයින්ගේ පරම පූජනීය ස්ථානයක් කියලා. මහින්දාගමනයටත් පෙර අතීතයේ ඉඳලා ම මේ ස්ථානය වැඳුම් පිදුම්වලට භාජනය වූ තැනක්. මිහිදු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් පස්සේ මේ බිම ධර්මය බෙදා දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. විහාරයේ පැවිදි වන හෝ පැවිදි වී නවාතැන් ගන්නා හෝ ආගන්තුකව පැමිණෙන භික්ෂූන් වහන්සේ හෝ විහාරයේ අවශ්‍යතාව අනුව ධර්ම දේශනා පවත්වන්න ඕන.

විහාරයේ වැඩ සිටින නායක තෙරුන් වහන්සේ ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කරනවා. විහාරයේ පැවිදි වූ නවක භික්ෂූන් වහන්සේ ධර්ම ඥානය ලබාදීමටත්, ධර්ම දේශනා පුරුදු පුහුණු කිරීමටත් කටයුතු කරනවා. ඒ සඳහා යොමු කරන්නේ කාළදීඝවාපි කියන විහාරයට. මේ විහාරය ඒ කාලයේ දී කළුදිගාවැව විහාරය කියලත් හඳුන්වා තිබෙනවා. එයට හේතුව ඒ ගමේ නම කළුදිගාවැව නිසා.

කැලණි විහාරයේ වැඩ සිටි නායක තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වුණා කඩවසම් තරුණයෙක්. දකින දකින අය ඔහුගේ රූපයෙන් මත් වෙනවා. විශේෂයෙන් ම තරුණියන් මේ තරුණයාට බොහොම ප්‍රිය කළා. තරුණයාගේ හිත තිබුණේ පැවිදිවෙලා ධර්මය ඉගෙන ගෙන මිනිසුන්ට සේවය කිරීමට හා තමන්ගේ පරලොව ජීවිතය සකසා ගැනීමට.

පැවිදි වෙලා විහාරයේ මාස කිහිපයක් ගත කළා. තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න නම් ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන. මේ නිසා දවසක් තමන්ගේ ගුරුවරයා ළඟට වැඩම කරලා කියනවා ‘ස්වාමිනි, ගුරුදේවෝත්තමයාණන් වහන්ස, මම පැවිදිවෙලා දැනට මාස කිහිපයක් ම ගෙවිලා ගියා, තවම මාව ත්‍රිපිටකය ඉගෙන ගන්න යොමු කළේ නෑ. ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයකට කවදද යොමු කරන්නේ? මම කැමැතියි ඉක්මනින් ම ත්‍රිපිටකය හොඳින් ඉගෙන ගන්න’ යි කියා ඉල්ලා සිටියා.

දවසක් මහෝපාධ්‍යයායන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයාගේ බලවත් ඉල්ලීම නිසා කළුදිගාවැව විහාරයට කැඳවාගෙන ගිහින් ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ තරුණ භික්ෂුවගේ දේහධාරී බවත්, කඩවසම් බවත් හොඳින් දැකලා කියනවා

‘මේ තරුණ හිමිනම නිසා අපගේ විද්‍යස්ථානයට බොහොම විශාල අනතුරක් නොබෝ දවසකින් ම එන්න ඉඩ තියනවා. ඒ නිසා මගේ නම් කැමැත්තක් නෑ මේ තරුණ භික්ෂුවට ත්‍රිපිටකය උගන්වන්න. වෙනත් තැනකට අරගෙන යන්න’යි කියලා බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

තරුණ භික්ෂුව නැවත නැවතත් යාඥා කළා, තමන් පැවිදි බිමට පත් වුණේ ධර්මය ඉගෙන ගෙන සසරින් එතෙර වෙන්න කියලා. ඔහුගේ කතා අහගෙන හිටිය ත්‍රිපිටකධාරී භික්ෂුව අවසානයේ දී කැමැති වුණා ධර්මය උගන්වන්න. ඒ වුණත් තරුණ භික්ෂුවට නීතියක් පැනවූවා. ත්‍රිපිටකය ඉගෙනගෙන අවසන් වනතුරු පිණ්ඩපාතය සඳහා හෝ වෙනත් අවශ්‍යතාවකට හෝ ගමට ඇතුල් වීම තහනම් කියලා.

විහාරයේ ම කාලය ගත කරන්න පුළුවන් නම් බාර ගන්නා බවත් කියා සිටියා.තරුණ භික්ෂුව බොහොම සතුටට පත් වෙලා ගුරුවරයාගේ දෙපා අල්ලා වැඳලා සතුට ප්‍රකාශ කළා. දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය මෙහෙම අවුරුදු කිහිපයක් ම ගත වුණා. තරුණ භික්ෂුවත් බොහොම උනන්දුවෙන්, කැපවීමෙන් ත්‍රිපිටකය හොඳට ඉගෙන ගත්තා.

අවසානයේ දී ගුරුවරයාට පොරොන්දු වුණා වගේ ම ගමට නොයා කටයුතු සියල්ල නිමා කර ගත්තා. කැලණි විහාරයට නැවතත් පිටත්වීමට සූදානම් වුණා. ගුරුවරයාට වන්දනා කළා. පාත්‍රයත් අතින් අරගෙන අනෙක් සිවුරු පිරිකරත් අරගෙන පිණ්ඩපාතයේ යෙදෙමින් ම කැලණි විහාරයට යාමේ ගමන පිටත් වුණා. එන ගමනේ දී තරුණ භික්ෂුව හිතුවා’

මම ආපු පළමු දවසේ ම ගුරුවරයා මට අවවාදයක් දුන්නා ගමට යන්න එපා කියලා. ගම කොයිවගේද කියලාවත් මම දන්නේ නෑ. ඒ නිසා මේකට හේතුවත් දැනගෙන ම පන්සලට ගියා නම් හොඳයි” කියලා හිතලා පිණ්ඩපාතයේ වැඩම කරන ගමන් ම ගමේ සුන්දරත්වයත් දැක බලාගෙන ම යනවා යි තීරණය කරලා ගමට ඇතුළු වුණා. ගෙපිළිවලින් පිණ්ඩපාතයේත් වැඩම කළා. මෙහෙම යන අතරේ එක් නිවසක රූමත් තරුණියක් නිවස ඉදිරිපිට කැඳ භාජනයක් අතේ තියාගෙන ඈත ඉදන් එන භික්ෂුව දිහා බලාගෙන හිටියා. ළඟට ආවාට පස්සේ බොහෝම සතුටින් උන්වහන්සේට වන්දනා කරලා කැඳ පිළිගැන්වූවා.

පිළිගන්වලා අවසන් වුණ ගමන් තරුණ භික්ෂුව නැවතත් පිටත් වෙන දිහා බලන් ඉදලා එකපාර ම පසුපසවත් නොබලා ගෙදරට දුවන්න පටන් ගත්තා. ගිහින් ඇදේ වැතිරිලා අඬන්න පටන් ගත්තා. දෙමාපියන් ඇද ළඟට ඇවිත් කරුණු ඇහුවා. ඒත් කිසිම දෙයක් කිව්වේ නෑ. අඬන එකමයි කළේ. නැවත නැවතත් හේතු ඇහුවා. අවසානයේ දී කියනවා’මට අර වැඩිය තරුණ භික්ෂුව විවාහ කර ගන්න ඕන’ කියලා. නැත්නම් මිය යන බවත් කියා සිටියා. මාපිය දෙදෙනා දරු දුක හොඳින් හඳුනන නිසා තරුණ භික්ෂුව වඩින මාර්ගයේ පය ඉක්මන් කරලා දුවල දුවලා ගිහින් උන්වහන්සේ මුණ ගැහුණා. ‘ස්වාමිනි, ඔබ වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරලා බොහොම වෙහෙසට පත්වෙලා සිටින්නේ. අපගේ නිවසට වැඩම කරලා පිණ්ඩපාතය වළඳලා නිදහසේ වඩින්න. දැන් අපගේ නිවසට වැඩම කරමු’යි ඉල්ලා සිටියා.

තරුණ භික්ෂුව එය ප්‍රතික්ෂේප කළා. නැවතත් මව්පියන් ආරාධනා කළා. එයත් ප්‍රතික්ෂේප කළා. අවසානයේ දී උන්වහන්සේට වන්දනා කරලා ඇත්ත තත්ත්වය කියන්න පටන් ගත්තා. ස්වාමිනි, අපගෙන් සිදුවන යම් වරැද්දක් වෙනවා නම් එයට පළමුව සමාව දෙන්න. අපට ඉන්නේ එකම දුවයි. ඇය රූපයෙන් බොහෝම උසස්. ශිල්ප ශාස්ත්‍රයත් හොඳින් ලබාගෙන තිබෙනවා. ධනයත් ඇති පමණ තිබෙනවා. ඇයට ඔබව විවාහ කර ගන්න ඕනලු. නැත්නම් ඇය මිය යනවායි කියනවා. ඒ නිසා අපගේ දියණිය විවාහ කරගෙන ඇයට ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න’යි නමස්කාර කරලා ඉල්ලා සිටියා.

තෙරුන් වහන්සේ ‘මට වස්තුවෙන් හෝ දියණියගෙන් හෝ ප්‍රයෝජනයක් නෑ’යි කියලා නැවතත් විහාරය බලාම වැඩම කළා. තරුණ දියණිය ඔහු නොලැබුණ ශෝකයෙන් ආහාර නොගෙන ඇඳේ වැතිරී ඉඳලා දින හතකින් කළුරිය කළා. ඒ දින හතේ ම වස්ත්‍රය විදිහට පාවිච්චි කළේ කාසාය වස්ත්‍රයක්මයි.

අවසන් කටයුතුවලින් පස්සේ මහා සංඝයාට දන් දීලා ඇය පොරවාගෙන සිටි කහපාට වස්ත්‍රයත් කළුදිගාවැව විහාරයට ම පූජා කළා. එහි වැඩ සිටි නායක තෙරුන් වහන්සේ එම වස්ත්‍රය කැබලිවලට කපලා වැඩ සිටිය හැම භික්ෂුවකට එක බැගින් ලබා දුන්නා කිසියම් හෝ ප්‍රයෝජනයකට ගන්න කියලා.

එක් මහලු තෙරනමක් එදිනම සූදානම් වෙලා පිටත් වුණා කැලණි විහාරය වන්දනා කරගන්න. තමන් වහන්සේට ලැබුණ වස්ත්‍ර කොටසත් ගමන් බෑගයට ම දමා ගත්තා. පසුදා සවස්වනකොට කැලණිය විහාරයට වැඩම කළා. ගමන් වෙහෙස නිසා එක් කුටියක වැඩ සිටින වෙලාවේ තමන්ගේ විද්‍යස්ථානයේ දී ත්‍රිපිටකය ඉගෙන ගත් තරුණ භික්ෂුවත් ඒ කුටියට වැඩම කළා. මේ තරුණ භික්ෂුව අමතලා මහලු ආගන්තුක භික්ෂුව කියනවා’පින්වත් ඇවැත්නි, මේ රෙදි කැබැල්ල අරගෙන ගිහින් මට පෙරහන්කඩයක් මහලා දෙන්න. මගේ වන්දනා ගමන්වල දී එය මට බොහොම උපකාර වෙන්න පුළුවන්.’යි කියා සිටිනවා.

තරුණ භික්ෂුව එය අතට අරගෙන අහනවා ‘පින්වත් ස්වාමිනි, ඔබවහන්සේට මේ කහපාට වස්ත්‍ර කැබැල්ල කොහොන්ද ලැබුණෙ’යි කියලා. ඒ වෙලාවේ දී කියනවා අර තරුණිය මිය ගිය ආකාරය. ඒ වගේම තරුණ භික්ෂුව අපේක්ෂාවෙන් කල් ගෙවූ පුවතත් කියා සිටියා. ඒ සියල්ල අහගෙන හිටිය තරුණ භික්ෂුව බොහොම ශෝකයට පත් වෙනවා.

‘අනේ මම නිසා ඇය මිය ගියාද? තම පෙම්වතා වෙනුවෙන් එතරම් කැපවීමක් කළාද?, එතරම් සෙනෙහසක් දැක් වූ ඇය වැනි උතුම් ස්ත්‍රීයක් මට සහකාරිය කර ගන්න නො ලැබුණා නේද?’ ආදී වශයෙන් නිතර නිතර කල්පනා කරන්න පටන් ගත්තා.

මේ ශෝකය නිසා ටික දවසකින් ම ආහාර ගැනීම එපා වී ගියා. ශරීරය දිනෙන් දින දුර්වල වී ගියා. එයින්ම කළුරිය කළායි කියලා කතා පුවතක් මජ්ක්‍ධිම නිකාය අට්ඨකතාවේ රථවිනීත සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා.

කාමය නම් ඉතාම බිහිසුණු දෙයක් බව මේ කතා පුවතින් කියා දෙනවා. එයින් ගැලවීමට ධර්මය කොතරම් දැනගෙන හිටියත් පැවිදි වී සිටියත් නොහැකි වන බවත් මේ කතා පුවත පෙන්වා දෙනවා.

මේ කාමලෝකයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය වෙන්නේ උගත් ධර්මය ක්‍රියාවේ යොදවන එක පමණයි.