Print this Article


මහපොළොව සේ අකම්පිත කඨින මහා පින්කම

මහපොළොව සේ අකම්පිත කඨින මහා පින්කම

සෑම වසරකට වරක් ම උදාවෙන මහාර්ඝ පුණ්‍ය කර්මයක් තිබෙනවා. ඒ තමයි “කඨින චීවර” පූජාව. කෙනකුට ශ්‍රද්ධාව ඇත්නම්, දෙන්නට දෙයකුත් ඇත්නම්, ලබන්නට කෙනෙකුත් සිටී නම් කැමැති දිනක කැමැති ලෙසක ඒ දානය පිදීමට හැකියාව තිබෙනවා. එහෙත් කඨින පින්කම කළ හැක්කේ වසරකට එක් ස්ථානයක එක් වරක් පමණයි.

එක් කාලයක සාකේත නුවර වස් එළඹ, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ තිස් නමක් පමණ බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කරනවා. ඒ අතරමඟ දී වැස්සට තෙමුණු නිසා දියෙන් තෙත් වූ සිවුරුවලින් යුතුවයි බුදුරදුන් වෙතට ඔවුන් පැමිණෙන්නේ.

භික්ෂූන් වහන්සේට සිදු වූ එම කරදරය ගැන සලකා බැලූ තථාගතයාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛූනං කඨිනං අත්තරිතුං” යනුවෙන් කඨිනය ඇතිරීමට අනුදැන වදාරනවා. එතැන් සිට තමයි භික්ෂූන් වහන්සේට කඨිනය පරිභෝග කිරීමට අවස්ථාව උදාවෙන්නේ.

සාමාන්‍ය දිනෙක සිදු කරන දානමය පින්කමකට වඩා කඨින පූජාවකින් ලැබෙන කුසල විපාක ඉතාමත් ම අධික යි. ගෞතම බුද්ධ ශාසනයේ වැඩසිටි නාගිත මහ රහතන් වහන්සේ මීට අනූ එක් කල්පයකට පෙර ලොව පහළ වූ විපස්සී බුද්ධ සමයේ දී කෙළෙඹි පුත්‍රයෙක් ව ඉපිද භික්ෂුන් වහන්සේට කඨිනයක් පූජා කර “මෙම ශ්‍රේෂ්ඨ කුසලය අර්හත් මාර්ග ඤාණයට උපනිශ්‍රය වේවා” යි ප්‍රාර්ථනා කළා. ඒ පිනෙන් සතර අපායකට නො වැටී සදෙව් ලොව, මිනිස් ලොව ආදියෙහි ඉපිද නොයකුත් සැප විඳී බව නාගිතාපදානයෙන් මොනවට පැහැදිලි වෙනවා. එය මේ ආකාරයට අනවතප්ත විල අසල දී බුදුරදුන් පිරිවරා වැඩ සිටි පන්සියයක් රහතන් වහන්සේ මධ්‍යයෙහි නාගිත මහ රහතන් වහන්සේ දේශනා කරනවා.

“ කඨින දානං දත්වාන
සංඝෙ ගුණ වරුත්තමේ
ඉතො තිංසෙ මහා කප්පං
නාහි ජානාමි දුග්ගතිං”

ගුණයෙන් උතුම් වූ මහා සංඝ රත්නය විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කර මහා කල්ප තිහක් දුගතියක නො ඉපදුණෙමි.

“අට්ඨාර සන්නං කප්පානං

දේව ලෝකේ රමාමහං
චතුත්තිං සක්ඛත්තුං දෙවින්දෝ
දෙවරජ්ජ මකාරයිං”

අටළොස් කල්පයක් දෙව් සැප වින්දෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද වාසය කළෙමි.

“ගිරිරාජ සමං රාසිං
සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං”

භික්ෂූන් වහන්සේට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝ රත්නයට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත. මේ කඨින පූජාවේ අනුසස් ය.

පෙර වස් එළඹ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන චීවරය කඨින චීවරය ලෙසයි හඳුන්වන්නේ. භික්ෂූන් වහන්සේගේ පරිෂ්කාර වන දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය යන මින් එකක් කඨිනය වශයෙන් පිදිය හැකියි. වසරකට වරක් පමණක් පූජා කළ හැකි පරිෂ්කාරය ද කඨින චීවරය යි.

කඨින යන නමින් හඳුන්වන මෙම චීවර පූජාව බල සම්පන්න උතුම් ගරු කුසල කර්මයක් බව මෙම ගාථාව තුළින් පැහැදිලි වෙනවා.

පඨවිරිව න ජාතු කම්පතී
න චලති මේරු රිවාති වායුනා
වජිර මීව න භිජ්ජතේ ඝනං
තමිධමතෝ කඨිනන්ති වුච්චති

මේ කඨින චීවර කුසල කර්මය මහ පොළොව වගේ කිසිම කලෙකත් කම්පා නොවෙයි, මහාමේරු පර්වතය වගේ අධික සුළඟින් වුව ද නො සැලෙයි, ඒකඝන ව්‍රජ පර්වතය මෙන් නො බිඳෙයි. අන්න ඒ නිසා මේ කුසල කර්මය “කඨිනය” යනුවෙන් හඳුන්වයි.

කඨිනය කියන වචනයෙන් නො කැඩෙන, නො බිඳෙන, තද යන අරුත් ගෙන දෙනවා. මේ වචනයට එලෙස අරුත් යෙදෙන්නේ කඨින පූජාවක් සිදුකළ විට ලැබෙන ආනිසංස ගැන සලකා ම විය යුතුයි.

යමෙකුට කඨිනයක් ලෙස ඉහත දැක්වූ ආකාරයේ සිවුරක් පූජා කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණොත් කඨිනයක් සඟ සතු කර පූජා කරන අවස්ථාවක ඒ සමඟ යමක් පූජා කළ විට ඔහුට ද කඨිනයක් පූජා කළ පිනම ලැබෙන බව ද සඳහන් වෙනවා.

මේ කඨිනය සෑම භික්ෂුවකට ම ලැබිය නො හැකියි. එය ලබන්නට නම් වස්සාන සෘතුවේ ඇසළ පුන් පොහෝ දින පොහොය කොට පෙර වස් සමාදන් වී, එය ආරක්ෂා කර ගෙන මහා පවාරණයෙන් වස් පවාරණය කළ යුතුයි. පසුවස් සමාදන් වු භික්ෂුවටත්, සාමණේරයන් වහන්සේටත් කඨිනය ලැබිය නො හැකි ය. ඒ වගේ ම පෙරවස් සමාදන් වුවත් එය ආරක්ෂා කර ගැනීමට නොහැකිවූ හෙවත් වස්සච්ඡේදනය වු භික්ෂුවට ද කඨිනය පිළිගත නොහැකියි. කඨිනය ලබන්නටත් පස් නමකට නො අඩු සංඝයා වහන්සේ සීමාවකට රැස්වෙලා වස් විසු භික්ෂුන්ගෙන් සුදුස්සකුට එය පැවරිය යුතු වෙනවා. මේ දෙය සිදුවන්නේ සංඝ සම්මුතියෙන් පමණයි.

මෙලෙස කඨිනය පිළිගත් භික්ෂුවට බුද්ධ නියමයෙන් අනුසස් පහක් ලැබෙනවා. එය හඳුන්වන්නේ කඨිනානිසංසය කියලා. ඒ ආනිසංසවල බලය තිබෙන්නේ මාස පහක් ගතවනතුරු පමණයි. මාස පහක් ගතවු පසු භික්ෂුවට ලැබෙන අනුසස් පහේ බලය අහෝසි වෙනවා. නමුත් දායක පක්ෂයට ලැබෙන අනුසස්වල කිසිම අඩුවක් සිදුවන්නේ නෑ. ඒ වගේම කඨිනය පිළිගත් භික්ෂුව එදිනම කඨින චීවරය හැඳ පොරවාගෙන පැමිණ කඨිනානිසංස දේශනය සිදු කළ යුතු වෙනවා. එය දායකයන් තුළ ඇති ශ්‍රද්ධාව තව තවත් වැඩිවීමට බෙහෙවින් උපකාරී වෙනවා.

ඉතින් මේ කඨිනය පිළිගන්න භික්ෂුවට බුද්ධ නියමයෙන් මෙසේ ආනිසංස ලැබෙනවා.

1- අනාමත්තචාරය- භික්ෂුවට ආරාමයේ වෙසෙන වෙනත් භික්ෂුවකට නො දන්වා දායක ගෙවල්වල යන්නට අවසර ලැබෙනවා.

2- අසමාදානචාරය- තුන් සිවුරෙන් වෙන් ව තමන්ට කැමැති සිවුරකින් විසීමේ බලය ලැබෙනවා.

3- ගණ භෝජනය- යම්කිසි දායකයකු විසින් හෝ මිතුරකු විසින් හෝ පෞද්ගලික දානයකට ආරාධනා කළ විට එය පිළිගැනීමට අවසර ලැබෙනවා.

4- යාවදත්ථචීවරය- භික්ෂුවකට තුන් සිවුරු හැර විකප්පන නොකළ අතිරේක සිවුරු දස දිනකට වඩා ළඟ තබා ගැනීම, දැරීම ඇවතක් වුවත් කඨිනය පිළිගත් භික්ෂුවට මෙම වරප්‍රසාදය හිමි වෙනවා.

5- යොවතත්ථ චීවරාප්පාදය- කඨිනානිසංස නියමිත කාලය තුළ දී වස් විසු ආරාමයෙහි සැදැහැවතුන් විසින් සඟසතු කොට පූජා කරන පිරිකරාදිය කඨිනය ඇතිරූ භික්ෂුන් වහන්සේට ම අයත් වෙනවා.

වප් මස අව පෑළවිය පටන් මැදින් මස පුන් පොහෝ දින දක්වා මාස පහක කාලය තුළ පමණක් කඨිනය පිළිගන්න භික්ෂුවට මෙම ආනිසංස පහ ලැබෙනවා. මෙකී වරප්‍රසාද ලැබී ඇත්තේ භික්ෂුවකට තම අභිමතය පරිදි කටයුතු කිරීමට නොවෙයි. කඨින චීවරයට අදාළ ශාසනික වත් පිළිවෙත් සපුරා ගැනීමට යි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ වස් විසූ භික්ෂූන් වහන්සේට කඨිනය අතුරන්නට අනුදැන වදාළ සේක.