Print this Article


බුදුරජාණන් වහන්සේ නමකගේ ආශ්චර්ය ධර්ම

බුදුරජාණන් වහන්සේ නමකගේ ආශ්චර්ය ධර්ම

ආලයාරාමා භික්ඛවේ පජා ආලයරතා ආලයසම්මුදිතා - පින්වත් මහණෙනි, මේ ලෝක ප්‍රජාව තෘෂ්ණාව (පංචකාමය) තුළ වාසය කරයි. තෘෂ්ණාවෙන් ඇලී සිටියි. තෘෂ්ණාවෙන් සතුටු වෙමින් සිටියි. ඒ පිරිසට තථාගතයන් වහන්සේ විසින් තෘෂ්ණාව දුරු කරන ධර්මය දේශනා කරන විට ඒ පිරිස ධර්මය අසන්නට කැමැති වෙනවා. සවන් යොමු කරනවා, මේ ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියා සිත පිහිටුවා ගන්නවා.

මානාරාමා භික්ඛවේ පජා මානරතා මානසම්මුදිතා - පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයා මාන්නය තුළ වාසය කරනවා. මාන්නයෙන් ඇලී සිටිනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මාන්නය දුරු කරන ධර්මය දේශනා කරන විට ඒ ධර්මය ඇසීමට කැමැත්තක් ඇති කර ගන්නවා. සවන් යොමු කරනවා. ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.

අනුපසමාරාම භික්ඛවේ පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා - පින්වත් මහණෙනි, මේ ලෝක සත්ත්වයා නොසංසිඳීම තුළ වාසය කරනවා. නොසංසිඳීමෙහි ඇලී සිටිනවා. නොසංසිඳීමෙන් සතුටු වෙමින් සිටිනවා. ඔවුන්ට තථාගතයන් වහන්සේ නමකගේ ධර්මය අසන්නට ලැබුණු විට ඒ දහම ඇසීමට කැමැත්තක් ඇති කර ගන්නවා. ධර්මයට සවන් යොමු කරනවා. ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.

අවිජ්ජාගතා භික්ඛවේ පජා අන්ධභූතා පරියෝනද්ධ - පින්වත් මහණෙනි, ලෝක ප්‍රජාව අවිද්‍යාවෙන් යුතුයි. අවිද්‍යාව තුළ සිර වී ඉන්නේ අවිද්‍යාවෙන් වෙළී සිටින්නේ නමුත් ඔවුන්ට තථාගතයන් වහන්සේ නමකගේ ධර්මය අසන්නට ලැබුණ විට ඒ දහම ඇසීමට කැමැත්තක් ඇතිකර ගන්නවා. සවන් යොමු කරනවා. අවබෝධ කළ යුතුයි කියා සිත පිහිටුවා ගන්නවා.