Print this Article


සාමණේර හිමියන්ගේ රිදුණු සිත සුවපත් කළ බුදු කරුණාව

සාමණේර හිමියන්ගේ රිදුණු සිත සුවපත් කළ බුදු කරුණාව

සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, ලෝකානුකම්පාවෙන් ම තමයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල තමන් වහන්සේ විසින් අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවනවා.

ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ ‘තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද, ඒ කල්පය අවසන් වී යන්නේ ය. බුදු ගුණ ස්කන්ධය පවසා අවසන් නො වන්නේ ම ය’ කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටි කරලයි අප අද භාවිත කරන්නේ. මේ ලිපියෙන් විස්තර වෙන්නේ ඒ ගුණ නවයෙන් සයවැන්න වූ ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී’ ගුණය ඉස්මතුවෙන එක් කතා පුවතක්.

අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන කාලයේ දිනක් එක් ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ශිෂ්‍යයෙක් වුණ කුඩා සාමණේරයන් වහන්සේ නමක් සමඟ විශාඛාවගේ මැදුරේ උදෑසන කැඳ දානය සඳහා වඩිනවා. මැදුරේ දී කැඳ පානය කළ ලොකු ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ එතැන ම නතර කරලා අසල නිවසකට කිසියම් කාරණාවක් සඳහා වැඩම කළා.

විශාඛාවගේ මිණිබිරියත් විශාඛාව කරන ආකාරයෙන් ම පොඩි ස්වාමීන් වහන්සේට පැන් පිළිගන්වන්නට පටන් ගත්තා. සාමණේර ස්වාමීන් වහන්සේත් විශාඛාවගේ මිණිබිරියත් සම වයසේ කුඩා දරුවන්. පැන් බඳුනේ දිය මතුපිටින් තමන්ගේ ම මුහුණේ සෙවනැල්ල දුටු මේ කුඩා දියණියට සිනහ යනවා. එය කුඩා සාමණේරයන් වහන්සේත් දුටුවා. සාමණේරයන් වහන්සේත් එය බලලා සිනහවෙනවා.

සාමණේරයන් වහන්සේ තමාට සිනහවෙනවා කියලා හිතපු මේ දැරිය එක විටම දොස් කියන්නට පටන් ගත්තා

“මේ හිස බූ ගෑ තට්ටයා මට හිනා වෙනවා” කියලා කෑ ගැසුවා. ඒක ඇසුන පොඩි හාමුදුරුවන් වහන්සේත් එකපාරටම “මම විතරක් නෙමෙයි ඔයත් තට්ටයෙක්, ඔයාගේ අම්මත් තට්ටියක් ඔයාගේ තාත්තත් තට්ටයෙක්” කියලා බැන වදින්නට පටන් ගත්තා.

එයින් දුකට පත් මේ කුඩා දැරිය තමන්ගේ මිත්තනිය වූ විශාඛාව සොයාගෙන මුලුතැන්ගෙට ගොස් හඬන්නට පටන් ගත්තා. ඒ වේලාවේ දී විශාඛාව සංඝයා වහන්සේට දන් පිළියෙළ කරමින් සිටියේ. විශාඛාව අහනවා

“ඇයි ද මේ හඬන්නේ” කියලා. කුඩා දැරිය සිදු වුණ හැම දෙය ම විශාඛාවට කියනවා.

පසුව විශාඛාව මේ කුඩා සාමණේරයන් වහන්සේ වෙත ගොස් කියනවා

“ස්වාමීන් වහන්ස, මේ කුඩා දැරිය කළ ඒ කතාවට තරහ ගන්න එපා. හිස බූ ගාලා, කෑලි කපා සකස් කළ සිවුරු පෙරවන, පාත්‍රයක් අතට ගෙන ගෙයක් පැල්පතක් ගානේ පිඬු සිඟා යන ඔබ වහන්සේට තරහ ගන්න දෙයක් නෙමෙයි එය. මේ කුඩා දැරිය සෙල්ලමට කියපු ඒ කතාව ගණන් ගත්තේ ඇයි? ඔය තරම් කුඩා දෙයක්වත් ඉවසන්නට බැරි නම් කොහොම මහණකම් කරන්න ද?” කියලා.

එතකොට මේ පොඩි හාමුදුරුවන් වහන්සේ කියනවා

“විශාඛාවනි! ඔබට පේන්නෙත් මාගේ හිස බූ ගෑම, කපා කොටා මැසූ සිවුරු, මාගේ හිඟමන විතරයි. උවැසියනි, ඇයට වටිනවා ද මට එහෙම කියන්න. මාගේ හිස බූ ගෑම ඈට රුදාවක් ද? ඔබ කියන්නෙත් ඈ කියූ දේ හි වරදක් නෑ කියලා ද?” කියලා. විශාඛාව නිහඬ වෙනවා. ඇයට මේ දෙදෙනාගේ ම සිත් සනසන්නට පුළුවන් වෙන්නේ නෑ-

අන්න ඒ වේලාවේ ම විශාඛාවගේ මැදුරෙන් කැඳ වළඳලා වෙනත් නිවසකට ගිය ලොකු ස්වාමීන් වහන්සේ නැවතත් මැදුරට වැඩම කරනවා. ඊට පස්සේ දැන ගන්නවා මෙතැන වෙලා තියන ප්‍රශ්නය මොකක්ද කියලා. ගත් කටට ම මේ ලොකු ස්වාමීන් වහන්සේ

“මහණ! ඒ කතාව ඔච්චර ලොකුවට ගන්න ඕන එකක් නෙමෙයි? ඒ කතාවට තරහ වෙන්න ඕනත් නෑ? බොරු ද? හිස බූ ගා කපලා මහපු සිවුරු පොරවලා, පාත්‍රයක් අතට අරගෙන ගෙයක් ගානේ යනවා කියන එක බොරු ද? එහෙනම් මේක ලොකු බැණීමක් වෙන්නේ කොහොමද?” කියලා කියා සිටියා.

එතකොට මේ පොඩි හාමුදුරුවන් වහන්සේ හිතනවා

“අනේ මගේ ගුරු හාමුදුරුවන් වහන්සේගේ හැටි, මට ම තමයි බනින්නේ. අර දැරිවිට වචනයක්වත් කියන්නේ නෑ” කියලා. ඉවසන් ඉන්න බැරි තැන මේ පොඩි හිමි කියනවා “ස්වාමීනි! ඇයගේ වචන බැනුම් නෙමෙයි ද? ඔබ වහන්සේ් බනින්නෙත් මටම යි නේද?” කියලා.

මේ වෙනකොට දෙව්රමේ වැඩහිටි භාග්‍යවතුන් වහන්සේ කුඩා ස්වාමීන් වහන්සේට සෝවාන්වීමට වාසනා ගුණ ඇති බව දැකලා ඒ ස්ථානයට වැඩම කළා. ඇතැම්විට භාග්‍යවතුන් වහන්සේ දුටුව මේ සාමණේර ස්වාමීන් වහන්සේ බයට පත් වෙන්නට ඇති ශාස්තෘන් වහන්සේත් මහා උපාසිකාවගේ මිණිබිරියට හොඳ කියලා මට ම බනීවි කියලා.

භාග්‍යවතුන් වහන්සේ අසනවා “විශාඛාවනි! කෙස් බූ ගෑ පමණින් මාගේ ශ්‍රාවකයන්ට කෙස් බූ ගෑවෝ ය, සිවුරු කඩමාලු අඳීන්නෝ ය, හිඟන්නෝ යන ලෙසින් බැන වදින්නට, අගෞරව කරන්නට කිසිවකුටවත් පුළුවන් කමක් නෑ, ඇයි විශාඛාවනි! ඔබේ දැරිය හිසමුඩු කළේ යැයි කියා මගේ ශ්‍රාවකයින්ට අපහාස කිරීම වටිනවා ද?” කියලා.

මෙය අහගෙන ඉන්න සාමණේරයන් වහන්සේට මොනවා හිතෙන්නට ඇති ද? කතාව අහන අහන හැම දෙනා ම විශාඛාවගේ මිණිබිරියගේ පැත්ත ගෙන පොඩි ස්වාමීන් වහන්සේට ඇඟිල්ල දික් කරනවිට, ශාස්තෘන් වහන්සේ පමණක් තමන්ගේ පැත්තට කතා කරන කොට දැනෙන සතුට නිම් හිම් නැති වෙන්න ඇති.

ඒ නිසා ම කුඩා ස්වාමීන් වහන්සේ නැගිටලා දොහොත් මුදුන් දී වන්දනා කර ගෙන පවසනවා

“ස්වාමීනි! මේ කාරණය බුදුරජාණන් වහන්සේට පමණයි හරියට ම තේරුනේ. මගේ උපාධ්‍යායයන් වහන්සේටත් මහා උපාසිකාවටත් කාරණාව තේරුනේ නෑ” කියලා.

පසුව බුදුරජාණන් වහන්සේ සාමණේරයන් වහන්සේගේ සිත දැන් තමන් වහන්සේට අනුකූල බව දැනගෙන “කාම ගුණ නිසා සිනාසීම හොඳ නැත, එය ඉතා පහත් ක්‍රියාවක්, පහත් දෙය සෙවුම නො සුදුසු ය, පමාව කල් යැවීම සසර දිග් ගැසීමට කරුණු වන බැවින් එය නො වටින්නේ ය” කියලා මනරම් ධර්ම දේශනාවක් සිදු කරනවා.

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් සේ පැහැදීමෙන් සිටි පොඩි ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවසානයේ උතුම් සෝවාන්ඵලයට පත් වෙනවා.

බලන්න භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කො තරම් ලෙන්ගතුකමින් කටයුතු කළා ද කියලා. ඒ සිදුවීම ඒ හැටි දෙයක් නෙමෙයි, විශාඛාව අග්‍ර උපස්ථායිකාව නිසා ඇයගේ මිණිබිරියට වැරැදි කියන්නට බෑ කියලා හිටියා නම් අර පොඩි නම තවමත් සසරේ වෙන්න පුළුවන්. ඒ නිසා අපත් සමහර ප්‍රශ්න විසඳන විට නිතරම පුංචි හිත් රිදවන්නේ නැතුව ඒ හිත් ගැනත් හොඳීන් හිතා බලා කටයුතු කරන්න ඕනෑ. මොකද ඒ එක තීරණයකින් පුලුවන් ඔවුන්ගේ මුළු ජීවිතය ම වෙනස් කරන්න.