මහත්ඵල මහානිසංස ලබාදෙන කඨින චීවර පූජාවේ ඉතිහාසය
ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්. භික්ෂූන්
වහන්සේ වස් වැසීම, වස් පවාරණය කිරීම යන උතුම් පින්කම් කරනුයේ මෙම කාලයේ දී යි.
ඉදිරි පුර පසළොස්වක පොහොයෙන් වස් වැසීම නිමාවට පත්වෙනු ඇත. බෞද්ධ ජනතාවගේ සිත
සුවපත් වන මෙම කාල පරිච්ඡේදය චීවර මාසය හෙවත් කඨින මාසය ලෙස ද හඳුන්වනු ලබනවා.
චීවර පූජාව මහත්ඵල මහානිසංස ලබා දෙන අතිපූජනීය වූ උතුම් පින්කමක්. කඨින පින්කම්
ඉතිහාසය දෙස බැලීමේ දී ත්‍රිපිටකයේ විනය පිටකයට අයත් මහාවග්ග පාලිය වැදගත්
මූලාශ්‍රයන් ලෙස සඳහන් කළ හැකියි. වස්වැසීම, වස්පවාරණය කිරීම, චීවර පූජාව ආදී සෑම
කටයුත්තක් පිළිබඳව ම එම මූලාශ්‍රයෙහි අන්තර්ගත වී තිබීම වැදගත්. එම මූලාශ්‍රයට අනුව
පැහැදිලි කරන්නේ භික්ෂූන් වහන්සේ හේමන්ත, ගිම්හාන හා වස්සාන යන සෘතු තුනේ ම
නිරන්තරයෙන් ධර්ම චාරිකාවේ යෙදුණු බවයි.
එම සෘතු තුනේ ම භික්ෂූන් වහන්සේ ධර්ම චාරිකාවෙහි යෙදුණ ද නිගන්ඨයන් ආදී අන්‍ය
තීර්ථකයන් වස්සාන සෘතුවේ දී එක තැනකට වී සිටියහ. නමුත් භික්ෂූන් වහන්සේ වස්සාන
කාලයේ දී ධර්ම චාරිකාවෙහි යෙදීම පිළිබඳ අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමට
පටන් ගත්හ. මහාවග්ග පාලියෙහි සඳහන් වන සූත්‍රයේ අර්ථයට අනුව එය පැහැදිලි වන්නේ මෙසේ
ය.
“බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හේමන්තයේ ද, ගිම්හානයේ ද, වස්සානයේ ද, නිල් තණ
පාගමින් ඒක ඉන්ද්‍රීය ජීවීන් පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා
කරත් ද, මේ අන්‍ය තීර්ථ පරිබ්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි
ඇලෙත්. උත්සාහ රහිතව ම නිතර එතැන වසන්නාහු ය. කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා,
වැසි කාලයේ ඒ කූඩුවල ම වසන්නෝ ය. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැතිව එකතැන වාසය කරන්නෝ
ය. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හේමන්තයේ ද, ගිම්හානයේ ද, වස්සානයේ ද නිල් තණ
පාගමින් ඒකේන්ද්‍රීය ජීව පෙළෙමින්, බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා
කරත්, යැයි අවමන් කරති. නින්දා කරති. දොස් කියති.
නිගණ්ඨාදී පරම අවිහිංසාවාදීන් ප්‍රකාශ කළේ නිල් පැහැ තණකොළවල ජීවයක් ඇති බවයි. ඒවා
ඒක ඉන්ද්‍රීය ජීවීන් ලෙසයි ඔවුන් හැඳින්වූයේ. ඒ නිසා නිල් පැහැ තණකොළ පෑගීම පවක්
බවයි, ඔවුන් ප්‍රකාශ කළේ. එසේ ම පාරේ ගමන් කරද්දී පණුවන් ආදී නොයෙක් සතුන් මරණයට
පත්වන බව ද ඒ නිසා ඉන් ප්‍රාණඝාතය සිදුවන බව ද ඔවුන් ප්‍රකාශ කළහ.
මේ අයුරින් වැරැදි සහගත ධර්මයන් අනුව සිතූ නිගණ්ඨාදීන් භික්ෂූන් වහන්සේ වස් හාර
මාසයේදීත් ධර්ම චාරිකාවේ හැසිරෙන විට විවිධ චෝදනා එල්ල කරන්නට වූ හ. එම අවස්ථාවේ දී
බුදුරජාණන් වහන්සේ,
“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”
“මහණෙනි, වස්සාන සෘතුවේ වස් එළඹෙන්නට අනුදනිමි” යනුවෙන් දේශනා කළ සේක.
එදා නිගණ්ඨාදී පිරිස් ප්‍රකාශ කළ වැරැදි ධර්ම අදහන පිරිස් අදත් අප සමාජයේ සිටිනවා.
පරම අවිහිංසාවාදීන් ලෙස පෙනී සිටින මෙම පිරිස් වැරැදි ධර්ම සමාජගත කරමින් අදත්
ඇතැම් බෞද්ධ ජනතාව මුළා කරන බවක් පෙනෙනවා. කවුරු මොනවා දේශනා කළත් තමන්ගේ විචාරශීලී
බුද්ධියෙන් ක්‍රියා කිරීමයි බෞද්ධයන්ගේ පිළිවෙත විය යුත්තේ.
බුදුරජාණන් වහන්සේ පැන වූ මෙම විනය නීති නිසා වර්ෂා සෘතුවේදී භික්ෂූන් වහන්සේ
සුදුසු ස්ථානයක වස් වැසූහ. කුමන හේතුවක් නිසාවත් ඒ කාල පරිච්ඡේදයේ දී උන්වහන්සේ
වෙනත් කිසිම ස්ථානයකට වැඩම කළේ නැත.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ දී කොසොල් ජනපදයේ උදේන නම් සිටුවරයකු
විහාරයක් කරවා පූජා කිරීමට තීරණය කළා. ඒ බව දූතයකු මාර්ගයෙන් භික්ෂූන් වහන්සේට
දන්වා යැවුවා. බුදුරජාණන් වහන්සේ වස්සාන සෘතුවේ දී සුදුසු ස්ථානයක වස් වැඩ සිටීමට
පැන වූ විනය කර්මය නිසා භික්ෂූන් වහන්සේ උදේන සිටුවරයාගේ ඉල්ලීම පිළිගත්තේ නැහැ. මේ
කාරණාව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා
කළේ සතිකරණයෙන් එවැනි ඉල්ලීමක් පිළිගැනීමට හැකි බවයි.
මෙහිදී සතිකරණයෙන් යනුවෙන් අදහස් කරනුයේ භික්ෂූන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ සිට
එළිමහනට ගොස් නැවත සත්වැනි දවසේ හිමිදිරියේ ආපසු පැමිණිය හැකි දුරක් දක්වා වැඩම
කිරීම වරදක් නොවන බවයි. මෙම විනය ප්‍රඥප්තියෙන් පැහැදිලි වන්නේ විවිධ අවස්ථාවල දී
විවිධ කරුණු නිසා වස් වැසීමේ විනය කලින් කලට වෙනස් වූ බවයි.
එක්තරා දවසක බිම්සර මහ රජතුමාගේ ඉල්ලීම පරිදි වස් වසන දිනය ඉදිරියට ගත් බව මහාවග්ග
පාලියෙහි සඳහන් වෙනවා. “අනුජානාමි භික්ඛවේ රාජූනං අනුවත්තිතු” (මහණෙනි රජවරුන්ට
එකලාව පවතින්නට අනුදනිමි)
කඨින පින්කමේ දී මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබන චීවරය අපේ බෞද්ධයන් සාදා ගන්නා,
සපයා ගන්නා ආකාරය විවිධයි. සමහර බෞද්ධයෝ සුදු රෙදි ගෙනැවිත් පඬුපොවා චීවරය සාදා ගනු
ලබනවා. තවත් සමහර බෞද්ධයෝ සිවුරු රෙදි ගෙනැවිත් සකස් කොට කඨින පින්කම දවසේ සාදාගනු
ලබන චීවරය, මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබනවා. ඇතැම් බෞද්ධයෝ වෙළෙඳ සලකින් මිලදී
ගනු ලබන චීවරයක් කඨින පින්කම අවසන් දිනයේ දී මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබනවා.
මේ කුමන ආකාරයෙන් චීවර පූජාව සිදු කළත් ඉන් අත්වන ආනිසංසවල අඩුවක් සිදුවන්නේ නැහැ.
මුල් කාලයේ දී සිවුරු, පූජා කිරීමක් සිදුවී නැහැ. මුල් යුගයේ දී භික්ෂූන් වහන්සේ
දරාගෙන සිටියේ පාංශුකූල චීවරයයි. චීවර පූජාව ආරම්භ වන්නේ ජීවක නම් වෛද්‍යවරයාගේ
ඉල්ලීම අනුව බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
බුදුරජාණන් වහන්සේ වරක් විරේක කරනු ලැබුවා. එහිදී තිස් වතාවක් විරේක වී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේ දී පොරවාගෙන සිටියේ පාංශුකූල චීවරයක්. එම චීවරය
කර්කෂ නිසා ජීවක වෛද්‍යවරයා චණ්ඩපජ්ජෝත රජුගෙන් ලැබුණු සීවෙය්‍යක නම් වටිනා වස්ත්‍ර
යුගල පිළිගන්න යැයි ඉල්ලීමක් කළා. ජීවක වෛද්‍යවරයා විසින් මෙම ඉල්ලීම කරන තෙක්
ගෘහපති චීවරය භික්ෂූන් වහන්සේට පිළිගන්න යැයි අනුදැන වදරා තිබුණේ නැහැ. ජීවකගේ
ඉල්ලීම මත ගෘහපති චීවරය භික්ෂුන් වහන්සේලාට පිළිගැනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන
වදාළහ.
මෙයින් පැහැදිලි වන්නේ චීවරය සැකසීමද, පිළිගැනීමද කලින් කලට වෙනස් වූ ආකාරයයි.
දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමඟ මගධ රටේ කුඹුරු යායක් මත්තෙන්
වඩිමින් සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ කුඹුරේ ලියැදි අනුව චීවරය
සකසා ගත යුතු බවයි. මහාවග්ග පාලියේ මේ බව සඳහන් වෙනවා.
එහි සඳහන් සූත්‍රයෙහි අර්ථයට අනුව ආනන්ද හිමියනි, සතරැස් ලියැදි බැන්දා වූ දිගින්
හා පළලින් බැඳි මහ නියර ඇත්තා වූ අතරතුර බැඳි කුඩා නියර ඇත්තා වූ බඳින ලද හතර හන්දි
ඇත්තා වූ මගධ කුඹුර දුටුවේ ද? භාග්‍යවතුන් වහන්ස එසේ ය. ආනන්ද මෙබඳු සිවුරු මසන්නට
උත්සාහ කරන්න. භික්ෂූන් වහන්සේ මුල් යුගයේ දී තුන් සිවුරින් වැඩ වාසය කළහ.
සංඝාටිය (දෙපට සිවුර) උත්තරා සංඝ (තනිපට සිවුර) සහ අන්තරාවාස (අඳන සිවුර) යන එම
තුන් සිවුරයි. මේ තුන් සිවුර හැර වෙනත් සිවුරක් මුල් යුගයේ දී අනුදැන වදාරා තිබුණේ
නැහැ. භික්ෂූන් වහන්සේ තෙත බරිත සිවුරින් යුක්තව වැඩ වාසය කළා. මෙම තත්ත්වය හමුවේ
වස් වසන භික්ෂුවකට අතිරේක සිවුරක් පරිහරණය කළ හැකි බව බුදුරජාණන් වහන්සේ අනුදැන
වදාළා.
නූතනයේ කඨින පූජාව සම්බන්ධයෙන් වූ පුද පූජා විධීන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ
දී තිබුණේ නැහැ. කාලානුරූපීව කඨින පින්කමට, චීවර පූජාවට විවිධ ශාසනික සම්ප්‍රදායන්
එකතුවෙලා තිබෙනවා.
කඨින පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබා දෙන පින්කමක්.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |