Print this Article


අවුරුදු අසූහාර දහසක් ආයුෂ විඳි මඛාදේව රජතුමා

අවුරුදු අසූහාර දහසක් ආයුෂ විඳි මඛාදේව රජතුමා

"නූතනයේ අපට දකින්න ලැබෙන්නේ සුදු කොණ්ඩය කළු කරන, හැලුණු දත් වෙනුවට දත් සවි කරන, කළු හම සුදු කරන මිනිස් සමූහයක්. ඔවුන්ට මරණය අමතක වෙලා ගිහින් පරලොව අමතක වෙලා ගිහින්. කාම ලෝකය ගැන පමණක් හිතන පිරිසක් වෙලා "

අපි කවුරුත් දන්න කතාවක් තමයි මහෞෂධ කුමාරයාගේ කතාව. මේ කුමාරයා ඉපදුණේ වේදේහ රාජ්‍යයේ මියුලු නුවර. බෝසතාණන් වහන්සේගේ පූර්ව පුණ්‍ය මහිමය නිසාම තවත් එක් ආත්ම භාවයක මේ නුවර ම උපත ලැබුවා. හොඳින් හැදී වැඩුණා.

මේ කාලයේ මිනිසකුගේ ආයුෂ නම් ඉතාම ඉහළයි. දැන් අපි විදින උපරිම ආයුෂ එකසිය විස්සක් වුණාට, ඒ කාලයේ ජීවත් වුණ අය බොහෝ ම ගුණවන්ත, සීලවන්ත මිනිසුන්. ඒ නිසාම දීර්ඝායුෂ වින්දනය කළා. මෙලොව එළිය දකින ඕනෑම අයකුට වයස අනුව අවධි තුනක් තියනවා.

එකක් තමයි ප්‍රථම අවධිය. මේ කාලයේ දී කිරිබොන-වැටි වැටී ඇවිදින-සෙල්ලම් කරන-ඉගෙන ගන්නා කටයුතු කරනවා. දෙවන අවධිය විදිහට හඳුන්වන්නේ මධ්‍යම වයස යි. තරුණ කාලයත්, මැදියම් වයසත් මේකට අයිති වෙනවා. තුන්වන අවධිය අපි කවුරුත් දන්නවා පශ්චිම අවධිය කියලා. මේ කාලයේ දී නම් බොහෝම අමාරුවෙන් තමයි තමන්ගේ වැඩ කටයුතු කර ගන්නේ. තවත් කෙනකුගේ උදව් ඕන ඇවිදින්න පවා. කෑම එහෙමත් කන්නේ හරිම ටිකයි.

මේ අවධි තුන නූතන ලෝකයේ නම් හරිම වේගයෙන් ගෙවිලා යනවා. එහෙම වුණත් මියුලු නුවර ජීවත් වුණු මිනිසුන්ට එක් අවධියකට අවුරුදු අසූහාර දහසක් තිබිලා තියනවා. වේදේහ රාජ්‍යයේ මියුලු නුවර රජකමට පත් රජතුමාගේ පුතෙක් විදිහට අපේ බෝසතාණන් වහන්සේ එක් ආත්මයක දී උපත ලබනවා. මේ කුමාරයාටත් අවුරුදු අසූහාර දහස බැඟින් හැම අවධියකට ම ලැබෙනවා.

බොහොම නීරෝගී ජනතාවක් තමයි මේ නුවර ජීවත් වෙන්නේ. පිය රජතුමාගේ මරණයෙන් පස්සේ රජකම ලැබෙන්නේ අපගේ බෝසතාණන් වහන්සේට. රාජ කුමාරයෙක් වගේම අධිරජ කෙනෙක් නිසා කුඩා කාලයේ සිටම බොහොම සැප සම්පත් විඳිමින් තමයි ජීවත් වුණේ. හැදී වැඩුණේ.

රාජ භෝජන, රාජ ඇඳුම්-පැළඳුම් වගේම රාජමාලිගා පරිහරණය කළත් හැම අවස්ථාවක දී ම කල්පනා කළා වයසට යන බව. ඒ වුණත් වයසට යන බව සිතමින් ම කටයුතු කළේ නෑ. රට වෙනුවෙන් කරන්න තියෙන හැම කටයුත්තක් ම ඉටු කළා. රටවැසියාගේ සතුට තමන්ගේ සතුට බවට පත් කර ගත්තා.

රාජ්‍යය පාලනයට යොදා ගත්තේ දස රාජ ධර්මය. ඒ නිසාම කිසිම අවස්ථාවක රාජ්‍ය බිඳවැටුණේවත්, නියං සමයක් හෝ, ගංවතුර, ගිනිකඳු ආදී ආපදා හෝ පැමිණියේ නෑ. රජතුමාගේ ධාර්මික බව නිසාම පාලනය හොඳින් සිදු වුණා. පරිසරයත් ආශීර්වාද කළා. ආහාර-පානවලින් කිසිම අඩුවක් රටවැසියාට දැනෙන්න තිබ්බේ නෑ. රටවැසියාත් රජතුමාට බොහොම ආදරයෙන් සැලකුවා. අයබදු නිසිවේලාවට ගෙවා රාජ්‍යය පාලනය පවත්වා ගෙන යන්න සහාය වුණා.

රජතුමාත් රටවැසියාත් සතුටින් ජීවත් වන නිසා ධර්මයට නැඹුරු වුණා. මේ අධිරාජතුමා බොහොම කැමැතියි ලස්සනට ඉන්න. හරිම පි‍්‍රයමනාපව රාජ සභාවේ පෙනී සිටිනවා. අනෙක් රාජ්‍යයේ නායකයිනුත් එහෙම තමයි. තමන්ගේ ඇඳුමත්, පැළඳුමත් ලස්සනට සකසා ගත්තා වගේම ශරීරය ගැනත් අවධානය යොමු කළා. ලස්සනට සුවඳ විලවුන් තවරගෙන කටයුතුවල යෙදුණා.

රජතුමාගේ ශරීරය ලස්සනට පවත්වා ගෙන යන වගකීම එක් රාජ්‍ය නිලධාරියකුට බාර කළා. ඔහුගේ රාජකාරිය වුණේ රජතුමාගේ කෙස් කළඹ ලස්සන කරන එක. හැමදාම රාජ සභාවට යන්න ඉස්සෙල්ලා රජතුමා සූදානම් වන කාමරයට ගිහින් කෙස් කළඹ හොඳින් සැකසුවා. මේ නිලධාරියා සමඟ කතා බස් කිරීමට රජතුමා අමතක කළේ නෑ. ලස්සන ගැන, ලස්සන නැතිවන එක ගැන, ලස්සන පවත්වා ගෙන යන්නේ කොහොමද යනාදී නොයෙකුත් දේ කතා කළා.

දවසක් නිලධාරියා අමතලා කියනවා ‘පින්වත, ඔබ හැමදාම මගේ කෙස් කලඹ හදනවා, සුවඳ ගල්වනවා, හැඩ ගන්වනවා. ඔබගේ රාජකාරිය හොඳින් කරගෙන යනවා. ඔබට යම් දවසක මගේ කෙස් ගස්වලින් කෙස් ගහක් හෝ සුදුවෙලා තියනවා නම් අමතක නොකර මාව දැනුවත් කරන්න’ යි දන්වා සිටියා.

මෙහෙම කාලය ගත වෙලා යන කොට දවසක් සේවකයාට දකින්න ලැබෙනවා රජතුමාගේ කෙස් අතරේ කෙස් ගහක් සුදු වෙලා තියනවා. දුටු වහාම රජතුමාට නමස්කාර කරලා,

‘රජතුමනි, ඔබගේ අණ අනුව යමක් කියන්නට අවසර දෙන සේක්වා’යි පවසලා ‘රජතුමා ‘හොඳයි, ඔබට යමක් පැවසීමට ඇත්නම් එය කියනු’යි අවසර දුන්නා. ‘රජතුමනි, අසතුටු ආරංචියක් තියෙනවා.

ඔබ වහන්සේ වයසට ගිය බව හඟවන ඉදුණු කෙස් ගහක් කෙස් කළඹේ දකින්න තියනවා’යි කියා සිටියා.

‘එසේ නම් නොපමාව මට එය උගුලුවා දෙන්න’යි කියා සිටියා. සේවකයා සුදු පැහැගත් කෙස් ගහ උගුලුවා රජතුමාගේ අතේ තැබුවා.

රජතුමා ඒ දෙස බලලා ‘මගේ මාරයා දැන් මගේ ළඟට ම ඇවිත්.’යි සංවේගයට පත් වුණා. ඒ වගේම ‘දැන්ම රජකමත්, කාම සම්පතුත් හැර දමා කෙලෙස් හැර දැමීමට කටයුතු නොකර ඉන්නේ කුමක් නිසා ද?’යි තමන්ට ම දොස් පවරා ගත්තා. රජතුමාට මරණය සිහිවෙත් ම සිහිවෙත් ම ශරීරයෙන් දහදිය වැගිරෙන්න පටන් ගත්තා. සිත චංචල වී ගියා. නිතර මේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. අවසානයේ බොහෝ ම සතුටට පත් වෙලා

‘අද ම මේ රාජ සම්පත්වලින් ඈත් වෙලා, පරලොව ජීවිතය සකසා ගන්නට තවුස් වෙස් ගන්නට ඕන. රාජ්‍යයේ පාලනය දරුවන්ට පවරන්න ඕන.’යි තීරණයකට එළැඹියා. තමන්ගේ මරණය පැමිණ ඇති බව දැන් වූ සේවක කපුවාට ලක්ෂයක් වස්තු උපදිනා ගම්වරයක් තෑගි වශයෙන් ලබා දුන්නා.

එදින ම රාජ සභාවට වැඩම කරලා අමාත්‍ය මණ්ඩලයත්, මන්තී‍්‍රය සමූහයාත්, අඹු-දරුවන් ඇතුළු ඥාතී සමූහයත් කැඳවලා ඉදුණු කෙස් ගහ අල්ලේ තබාගෙන රාජ සභාව අමතලා ‘අමාත්‍යවරුනි, මන්තී‍්‍රවරුනි, මගේ පුතණුවනි, මාරයා මා ළඟටම දැන් ඇවිත් ඉන්නේ. මේ මගේ අල්ලේ ඉන්නේ එම මාරයා යි. ඔහු දැන් මගේ නලළතේ පදිංචි වී ඉන්නේ. මාරයා එවපු දූතයෙක් තමයි මේ.

ඔහු කවර මොහොතක මා කැඳවාගෙන යයි ද කියා මම දන්නේ නෑ. දැන් මම බොහෝ ම වයසට ගිහින් මගේ පරලොව ජීවිතය දැන් සකසා ගන්න කාලය ඇවිත්. මම තීරණය කළා රජකම මගේ පුතණුවන්ට බාර දෙන්න. අමාත්‍යවරුනි, පුරෝහිතයෙනි, යුවරාජයන්ට සහාය වෙමින් දශරාජ ධර්මයෙන් රට පාලනය කරන්න. මම අදම තාපස පැවිද්දට හිමාලයට නික්මී යන්න තීරණය කළා’යි පවසා රජකම තමන්ගේ වැඩිමහලු පුතණුවන්ට පැවරුවා.

රාජ උද්‍යානයට ගිහින් තාපස පැවිද්ද ලබා ගත්තා. එහි අවුරුදු ගණනාවක් ජීවත් වී හිමාලයට වැඩම කර අවුරුදු අසූහාර දහසක් ම කරුණාව, මෛත්‍රීය ආදී බ්‍රහ්මවිහාර වඩා ධ්‍යාන උපදවා ගත්තා.

නො පිරිහුණු ධ්‍යානවලින් යුක්තව ම කළුරිය කොට බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුවා’යි කථා පුවතක් පන්සියපනස් ජාතක පොතේ මඛාදේව ජාතකය නමින් නව වැනි ජාතකය ලෙස සඳහන් වෙනවා.

මෙලොව උපන් හැම දෙනා ම මරණයට පත් වෙනවා. කළු කොණ්ඩය සුදු වෙනවා. සුදු හම රැළි වැටෙනවා. සුදු දත් කහ වෙනවා. රස කර කර ගත් ආහාර ගැනීම අඩු වී යනවා.

මේ සියල්ල ම අපට කියා දෙන්නේ දැන් මාරයා ඇවිත් පරලොව ගමනට සූදානම් වෙන්න කියන කාරණය යි. එහෙම වුණත් නූතනයේ අපට දකින්න ලැබෙන්නේ සුදු කොණ්ඩය කළු කරන, හැලුණු දත් වෙනුවට දත් සවි කරන, කළු හම සුදු කරන මිනිස් සමූහයක්. ඔවුන්ට මරණය අමතක වෙලා ගිහින්, පරලොව අමතක වෙලා ගිහින්. කාම ලෝකය ගැන පමණක් හිතන පිරිසක් වෙලා.

මේ කතා පුවතින් අපට කියා දෙන්නේ නොපමාව භාවනා කරමින් ආධ්‍යාත්මය වර්ධනය කර ගන්නා ලෙසයි. ශරීරය දුබල වෙනවා කියන්නේ මාරයා ළඟට ම ඇවිත් කියන කාරණය යි. කොතෙක් සැප සම්පත් වින්දනය කළත්, කොපමණ ආයුෂ වින්දනය කළත් දවසක තමන්ට මරණයට මුහුණ දෙන්න වෙන බවත්, එයින් ද සසර නිමා නොවන බවත් කතා පුවත තවදුරටත් කියා දෙනවා.

සසරින් හා මරණයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය භාවනා වඩමින් කෙලෙස් දුරු කර උතුම් නිවන් සුවය ලබා ගැනීම යි.