Print this Article


ප්‍රතිඵල ලැබෙන තුරු වෑයම අත් නොහරිමු

ආදරණීය දුවේ, පුතේ !

පුංචි ඔබට මතක නැතිව ඇති කිරිකැටි බිලිඳෙකු වශයෙන් මේ ලෝකයට බිහි වුණ දවස. අද වගේ දුවන්න, පනින්න, නටන්න, සෙල්ලම් කරන්න, ලස්සනට ගී කියන්න එදා ඔබට පුළුවන්කමක් තිබුණෙ නැහැ.

වෙන එකක් තබා තමන්ගේ ඇඟේ පතේ වේදනාව, පිපාසය, බඩගින්න වෙනත් ඕනෑ එපාකම් ඒ කිසිවක් ගැන තවත් කෙනකුට කියන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ හැම එකකට ම කෑගහපු එක, හඬපු එක තමයි ඔබ කළේ.

සතුටක් ඇති වුණාම සිඟිති කිරිදත් පෙන්නලා හිනා වුණා. අත ළඟට යමක් කිට්ටු කළාම ඒක තද කරලා අල්ල ගත්තා. අතට අසුවන ඕනෑම දෙයක් කටේ ඔබා ගන්න උත්සාහ කළා.

එහෙත් දැන් ඔබ......සමාජය ගැන තරමක් දුරට දැනුම් තේරුම් තියෙන පාසල් වයසේ ඉන්න දුවෙක් හෝ පුතෙක්. දකින දකින හැම දෙනාගේ ම නෙත් සිත් සතුටු කරමින් පළාතම සුවඳ කරමින් පිපී ගෙන එන මල් වගෙයි ඔබේ ඔය සුන්දර ළමා ජීවිතය.

ඔබව මෙලොවට බිහි කළ සෙනෙහෙබර මවුපියන්, ඔබට සිප්සතර උගන්වන ගුරුවරුන්, ඔබට බණ දහම් කියල දෙන පන්සලේ හාමුදුරුවෝ, පල්ලියේ, කෝවිලේ, දේවස්ථානයේ පියතුමා පූජකවරු මේ හැම කෙනෙක් ම ඔබ ගැන ගොඩක් බලාපොරොත්තු තබල තියෙනවා. ඒ තමයි ඔබ ඉගෙන කියාගෙන ලොකු මහත් වෙලා ගුණ නුවණින් දිවි මඟ සරුකර ගෙන සමාජයට, රටට, කතා කරන භාෂාවට, අදහන ආගමට, ඔබෙන් අර්ථවත් සේවයක් සිදුවෙයි කියන බලාපොරොත්තුව.

මිනිස්කම තේරුම් ගෙන, බෞද්ධකම දියුණු කර ගෙන ජාති භේද, ආගම් භේද, කුල මල භේද නැතිව මෙලොව පරලොව දෙකට වැඩ ඇති පින්බර ජීවිතයක් ගත කරයි කියන බලාපොරොත්තුව.

දුවේ, පුතේ, මේ හැම බලාපොරොත්තුවක් ම මල්ඵල ගන්වන්න හැකියාව ඔබ තුළමයි සැඟවිලා තියෙන්නේ. ඒ සැඟ වී තිබෙන දස්කම් මතු කරලා දෙන්න, පුබුදු කරවන්න, ඔබට පිහිට වන උපකාර වන ස්ථාන කිහිපයක ම දොරටු නිතර ම විවෘත වෙලා තියෙනවා.

එකක් තමයි ඔබ ඉගෙන ගන්න පාසල. තව එකක් තමයි දහම් පාසල. දහම් පාසලෙන් දැනුම විතරක් නොවෙයි ගුණ නුවණ දෙක ම එක තරමට වැඩෙන දැනුමක් ලබා දෙනවා. ධර්මයේ මිහිර, ධර්මයේ උණුසුම, ලැබෙන තරමටයි කෙනෙකු තුළ ආත්ම ශක්තිය, චරිත සංවර්ධනය, අවංකකම, නිරහංකාරකම, යුක්තිගරුකබව, සාධාරණත්වය, දියුණු වන්නේ. මවුපිය සෙවණේ හැදෙන වැඩෙන පුංචි ඔබ උසින්, මහතින්, බරින්, පමණක් නොවෙයි සිල්වත්කමින්, ගුණවත්කමින්, උගත්කමින්, වගේ ම බුද්ධිමත්කමිනුත් වැඩෙන්න ඕන. මනසේ වැඩීමත් සමඟ ඔබ තුළ වැඩෙන ආශාව, වෛරය, පලිගැනීම වැනි ආවේග පාලනය කර ගන්න හැකියාව ලැබෙනවා. එහෙම නොවුණොත් අහිංසකකම තුරුල් කරගෙන මෙලොව එළිය දැකපු අර පුංචි දරු පැටියා අනාගතයේ දී අංගුලිමාල කෙනෙක් වුණොත් ඒක මොනතරම් නපුරක් ද? මොනතරම් අභාග්‍යයක් ද? මොන තරම් අවාසනාවක් ද?

අම්මා තාත්තා ඇතුව කුඩා පවුලක සාමාජිකයකු වශයෙන් උපත ලැබුව ඔබ තවත් වැඩිකලක් නොගොස් මුළු මහත් මිනිස් සමාජයේ ම ක්‍රියාකාරි සාමාජිකයකු වෙනවා. සමාජයේ තිබෙන යුතුකම් ඉටුකරන්න වගකීම් දරන්න ඔබට සිදු වෙනවා. ඒ වෙනුවෙන් ඔබ අද අදම සූදානම් වෙන්න ඕන. අනාගතයේ ඔබ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, සේවාදායකයෙක්, වීමේ වාසනාව ඔබ තුළ රැඳිල තියෙන්න පුළුවන්.

ඒකට හිතේ අධිෂ්ඨානයක් පොඩි කාලෙ ඉඳලම ඇතිකර ගන්න ඕන. උත්සාහය, උනන්දුව, වීර්යය, දියුණුූ කරගන්න ඕන. කම්මැළිකම, කුසීතකම, දුරු කරන්න ඕන. ඉගෙනීමට දක්ෂ හොඳ වැඩවලට කැමැති අනිත් අයට දයාව, කරුණාව, දක්වන මෛත්‍රියෙන්, යහළුවන් තේරුම් අරගෙන සුදුසු නුසුදුසු යහළුවන් තෝරාගෙන ආශ්‍රය කරන්න ඕන.

මවුපියන් දුක සේ වෙහෙස මහන්සි වෙලයි ඔබට කන්න අඳින්න අරන් දෙන්නේ. පොත පත ලබා දීලා උගන්වන්නේ. ලෙඩට දුකට බලන්නේ. එහෙම අපි වෙනුවෙන් දුක් විඳින මවුපියන්ට දකින දකින දේ අරන් දෙන්න කියලා කරදර කරන්න හොඳ නැහැ. ඒ අය දන්නවා ඔබේ වයසට ගැළපෙන දේ මොනවද කියලා. මවුපියන් වෙහෙස වෙලා හරි හම්බ කරන ධනය නිකරුණේ අනවශ්‍ය දෙයට නාස්ති කරවන එක හොඳ ළමයකුට අයිති වැඩක් නොවෙයි. දිළිඳුකම කියන්නේ මිල මුදල් අගහිඟකමට විතරක් ම නොවෙයි. ඒක දිළිඳුකමේ එක පැත්තක් විතරයි. ඊට වඩා වැදගත් පැති තියෙනවා. ඒවා ගැනත් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැනුම අඩුනම්, උගත්කම අඩු නම්, ඒකත් දිළිඳුකමක්. කරුණාව, මෛත්‍රිය වගේ යහපත් ගුණධර්ම අඩු නම් ඒකත් දිළිඳුකමක්. සංවරකම, හැදිච්චකම, සීලාචාරකම අඩු නම් ඒකත් දිළිඳුකමක්. හොඳ නරක විමසා බලා තේරුම් ගෙන අයහපත දුරුකරලා යහපතට අදාළ වන විදියේ කටයුතු කරන්නත්, ඇත්ත ඇති සැටියෙන් නිවැරැදිව වටහා ගන්නත් උපකාර වන බුද්ධිමත්කම අඩු නම් ඒකත් දිළිඳුකමක්.

මේ හැම දිළිඳුකමක් ම අඩුකර ගන්න, නැති කර ගන්න දක්ෂ වෙන්න ඕන. උත්සාහවත් වෙන්න ඕන. ධර්මයෙන් තොර ජීවිතයේ නිවැරැදි සැනසීම ලබන්න බැහැ. හිතට එකඟව ධර්මානුකූල ව ගත කරන ජීවිතය තරම් වෙනත් සැනසීමක් කොයින්ද?

මිනිස්සු සැනසීම නැති කර ගන්නේ තමන් විසින්මයි. ඒකට එක හේතුවක් තමයි ජීවිතය ගැන හොඳ අවබෝධයක් නැතිකම. මම කවුද? මගෙන් ඉටුවෙන්න තියෙන යුතුකම් මොනවා ද? කළ යුතු දේ නොකළ යුතු දේ මොනවා ද? මේවා ගැන හිතන්න හොඳ කල්පනාවක් තියෙන්න ඕන.

වැරැදි දෙයින් වැළකිලා යහපත් වැඩවල යෙදෙන්න හොඳ උත්සාහයක් තියෙන්න ඕන. සිහි නුවණින් යුක්තව සිත සන්සුන් කරගෙන කලබල නොවී හැම වැඩක් ම ආරම්භ කරන්න ඕන. කරදර බාධක ජයගෙන ඉවසිලිමත් ව ඉදිරියට කර ගෙන යන්න ඕන. යහපත් ප්‍රතිඵල දකින තුරු උත්සාහය අත් නොහැර කටයුතු කරන්න ඕන. අන්න එතකොටයි සැනසීම උදාකරගන්න පුළුවන් වන්නේ. බාහිර ලොව තුළ තිබෙන තාවකාලික සතුට පමණක් ගෙන දෙමින් මිනිසා මුළා කරන යම් යම් දේ පසුපස ලුහුබඳින්න ගියොත් නිරපරාදේ ජීවිතය කාලකණ්ණි කර ගන්න සිදු වේවි. පුංචි ඔබ හෙට ඉදිකරන්න බලාපොරොත්තු වන ලස්සන ලෝකයට අද සිට ම මේ මොහොතේ සිටම සූදානම් වන්න.