Print this Article


ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

02 කොටස

 

2017 - 2018 බෞද්ධ සමාජ දර්ශනය

I කොටස

1. i) සමාජ විද්‍යා විෂයය හා සමාජ දර්ශනය අතර පවත්නා වෙනස කුමක්ද?ii) බුදුරජාණන් වහන්සේ දෙමවුපියන් හැඳින්වීමට භාවිත කළ ගෞරවනීය වචන (අධිවචන) තුනක් ලියා ඒවායේ

අදහස් පෙන්වා දෙන්න.

iii) “ඇසුරට සුදුසු යැයි තමන් විසින් තෝරා ගන්නා යහපත් (කල්‍යාණ) මිත්‍රයන්ට සංග්‍රහ කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක” එම කරුණු අතුරින් තුනක් ගෙනහැර දක්වන්න.

iv) “අග්ගඤ්ඤ සූත්‍ර විවරණයට අනුව සමාජයෙහි නුදුන් දේ ගැනීම් ආදි අසද්ධර්ම පහළ වූ බැවින්, හෙළා දැකිය යුත්තන් හෙළා දකින්නට, ගැරහිය යුත්තන් පිටුවහල් කරන්නට සමත් අභිරූපි, දර්ශනීයතර, සිත් පහදවනසුලු, මහේශාක්‍ය පෙනුමැති පුද්ගලයකු ඔවුහු තෝරා ගත්හ’යි පැවසේ.” එම තැනැත්තා හැඳින්වීමට භාවිත කළ යෙදුම් තුනක් ඊට අදාළ අර්ථ සමඟ දක්වන්න.

v) ‘ප්‍රාණඝාත විරමණ ශික්ෂාව පරිපූර්ණ වීම සඳහා විරති හා සමාදාන යන දෙඅංශය ම සම්පූර්ණ විය යුතු වේ. ඒ අනුව, ‘පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො. නිහිසෙත්‍ථ ලජ්ජිදයාපන්නො, සබ්බපාණභුතහිතානුකම්පී විහරති’ යන්නෙහි විරති පක්ෂයට හා සමාදාන පක්ෂයට අයත් අංක තුන බැගින් වෙන්කොට දක්වන්න.

vi) සමාජ ශෝධකයකු ලෙස බුදුරජාණන් වහන්සේ චතුර්වර්ණ ඉගැන්වීම නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින් දේශනා කළ සූත්‍ර ධර්ම තුනක් නම්කර ඒවාට අයත් ඉගැන්වීම් තුනක් ගෙනහැර දක්වන්න.

vii) “ජීවිත රැක දීම සඳහා කැපවීම තුළින් ලබන පරාජය ද ජයග්‍රහණයකි.” මෙම ආකල්පය බෞද්ධ ඉතිහාසයේ නිරූපණය වූ අයුරු අගය කරමින් ජෝන් වෝල්ටර්ස් නම් ලේඛකයා විසින් “නොසැලෙන මනස” නම් ග්‍රන්ථයේ දැක්වූ කරුණු තුනක් ඉදිරිපත් කරන්න.

viii) බුද්ධකාලීන භාරතයේ සොළොස්මහා ජනපද අතුරින් රාජාණ්ඩු පාලනය පැවති ජනපද තුනක් නම්කර ඒවායෙහි රාජ්‍ය පාලනයේ මූලික ලක්ෂණ එක බැගින් සඳහන් කරන්න.

ix) කූටදන්ත සූත්‍රය නිර්දේශ කරන, වෙළෙඳාම හැර වෙනත් දැහැමි ජීවන වෘත්තීන් තුනක් නම්කොට, පඤ්චවිධ වෙළෙඳාමෙන් වෙන්වීම මූලික මානව හිමිකම් උල්ලංඝනය නොවන්නක් බවට හේතු තුනක් දක්වන්න.

x) “නූතන ආර්ථික චින්තනය නිෂ්පාදනය, පරිභෝජනය, බෙදාහැරීම වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන ආකාරයෙන් බුදුදහම ඒ ගැන දේශනා නොකළත්, ඊට සාපේක්ෂව ආර්ථික චින්තනයක් ඉදිරිපත් කරයි.” බුදුසමය නිර්දේශ කරන ආර්ථික චින්තනයේ මූලික සංකල්ප තුනක් ඊට අදාළ නිදර්ශන තුනක් සමඟ දක්වන්න.

II කොටස

2. i) සමාජ දර්ශන විෂයය ක්ෂේත්‍රය සඳහා අනුග්‍රහය දක්වන විෂයය හතරක් නම් කරන්න.

ii) දැඩි ශාස්ත්‍රීය බව රැක ගැනීම පිණිස වාස්තවිකව සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනවල දී මඟහැරී යන සදාචාර නිර්ණායක හතරක් පෙන්වා දෙන්න.

iii) “බුදුසමය හුදු ආගමික සිද්ධාන්ත සමුදායකට වඩා සමාජ දර්ශනයයි.” විෂයය ක්ෂේත්‍ර හතරකට අයත් බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් ඉහත ප්‍රකාශය තහවුරු කරන්න.

3. i) බුදුසමයේ සමාජ දර්ශනය පිළිබඳ සංකල්පය ප්‍රකට කෙරෙන සූත්‍ර දේශනා හතරක් නම් කරන්න.

ii) සදිසා නමස්කාර සමාජ සංකල්පයෙහි සදිසා නම් කර, ඊට අදාළ පුද්ගල ප්‍රභේද කවරේදැයි කෙටියෙන් හඳුන්වන්න.

iii) නූතන පවුල් සංස්ථාවෙහි – අඹුසැමියන් අතර පැනනැඟී ඇති ගෘහස්ථ අර්බුධ අවම කර ගැනීමෙහිලා සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමි – භාර්යා යුතුකම් හා වගකීම් කෙතෙක් දුරට අදාළ වේ දැයි විමසන්න.

4. i) සමාජ සංස්ථාවල ප්‍රභවය හා පරිණාමය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රය ඉදිරිපත් කරන කරුණූ අතුරින් හතරක් ගෙනහැර දක්වන්න.

ii) අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක විභාගයට අදාළ ඉගැන්වීමෙහි සංවට්ටමාන හා විවට්ටමාන කෙටියෙන් පැහැදිලි කරන්න.

iii) “නූතන සමාජය තුළ ගැටුම් හා විෂමතා පැන නැඟීමට ප්‍රධාන සාධකය වී ඇත්තේ ආර්ථිකයයි.” සමතුලිත සාධාරණ සමාජයක් උදෙසා ආර්ථිකය විෂයයෙහි දේපළ අයිතිය, බදු ක්‍රමය, රාජ්‍ය පාලනය හා අධිකරණය යන සංස්ථාවල කාර්යභාරය කවරේදැයි අග්ගඤ්ඤ සූත්‍ර විවරණය ඇසුරින් සාකච්ඡා කරන්න.

5. i) මිනිසා හා බැඳී පවත්නා, විශ්ව සාධාරණ ලෙස බලපාන නියාම ධර්ම අතුරින් හතරක් නම් කරන්න.

ii) බුදුසමයෙහි ඉගැන්වෙන සංසාර සංකල්පය ජීව – අජීව පරිසරය කෙරෙහි බලපාන අයුරු කෙටියෙන් පැහැදිලි කරන්න.

iii) නූතනයෙහි ඒකාංශිකව අවධානය යොමු කොට ඇති මානව හිතවාදයකට හෝ සත්ත්ව හිතවාදයකට හෝ වඩා බුදුසමය පරිසරය කෙරෙහි ජීව හිතවාදී ආකල්පයක් දක්වන්නේ ඇයිදැයි බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් සාකච්ඡා කරන්න.

6. i) බුද්ධකාලීන භාරතීය සංකීර්ණ ආගමික පරිසරය නියෝජනය කළ ශ්‍රමණ කණ්ඩායම් හතරක් නම් කරන්න.

ii) එම ශ්‍රමණ කණ්ඩායම් අතර එකිනෙකා නුරුස්සමින්, විචිත්‍ර දෘෂ්ටිවාද මතුකරමින් ඉදිරිපත් කළ ආගමික ඉගැන්වීම් හතරක් කෙටියෙන් දක්වන්න.

iii) වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ආගමික පිරිස් අතර දෘෂ්ටිවාද හා විවිධ ක්‍රියාකාරකම් හා වරින්වර පැනනඟින නොසන්සුන්තා සමනයට බුදුරදුන්ගේ ආගමික සහනශීලී ප්‍රතිපත්තිය උපයෝගී කරගත හැකි ආකාරය ඉදිරිපත් කරන්න.

7. i) ජනගහන වර්ධනය නිසා රටක සංවර්ධනයට ඍජුව බලපෑම් ඇති කළ හැකි ගැටලු හතරක් දක්වන්න.

ii) ජනගහන පාලනයෙහිලා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග කෙටියෙන් පැහැදිලි කරන්න.

iii) ජනගහන පාලනයෙහිලා නූතනයෙහි යම් ප්‍රවණතාවක් වී ඇති ගර්භනාසය හෙවත් ගබ්සාව විෂයයෙහි බුදුසමයේ ආකල්පය දක්වා එහි ලා ඉදිරිපත් කළ හැකි නිර්දේශ සාකච්ඡා කරන්න.

8. i) ගෘහස්ථයා ආර්ථික සත්ත්වයකු වශයෙන් හැඳින ගන්නා බුදුසමය නිර්දේශ කරන ආර්ථිකය සමඟ බැඳුණු චතුර්විධ සුඛ ලියා දක්වන්න.

ii) “මිනිසා ධනය රැස් කළ යුත්තේ තමා පමණක් සැපවත් වීම (ස්වාර්ථය) ට පමණක් නොව පරාර්ථය පිණිස ද යෙදවීමට ය. බුදුසමයේ ධනය පිළිබඳ ආයතන පරිභෝජන සංකල්පය ඇසුරින් ඉහත ප්‍රකාශය තහවුරු කරන්න.

iii) කෙසේ හෝ ධනය උපයා ගැනීමෙන් ආර්ථික සමෘද්ධිය සලසා ගැනීමේ නූතන සමාජ ප්‍රවණතාව, බුදුසමයේ ආර්ථික දර්ශනයට එකඟ වන්නේ දැයි එහි සදාචාර නිර්ණායක කෙටියෙන් දක්වන්න.

පිළිතුරු

1. i) සමාජ විද්‍යා විෂයය තුළ විද්‍යාත්මක ඥානයෙන්, වාස්තවිකව නිගමන ලබා දෙන අතර, සමාජ දර්ශනය විෂයයෙන්, එම දත්තයන් පිළිබඳව ම පොදු හා පුළුල් ආකල්පයකින් සමස්ත සමාජයට හා පුද්ගලයාට බලපාන අර්ථවත් වන ආකාරයෙන් ඇගයුම්ශීලිව විග්‍රහ කිරීම සිදු කරයි. වෙනස එයයි.

ii.1) බ්‍රහ්ම – සතර බ්‍රහ්ම විහරණයෙන් කටයුතු කරන බැවිනි.

2) පුබ්බාචරිය – මුල් ගුරුවරුන් වන බැවිනි.

3) පුබ්බදේව – පළමුව පිදිය යුතු බැවිනි.

4) ආහුණෙය්‍ය – දුර බැහැර සිට පැමිණ ඇප උපස්ථාන කිරීමට සුදුසු බැවිනි.

5) පජාය අනුකම්පක – ප්‍රජාවට අනුකම්පා කරන බැවිනි.

iii.1) පරිත්‍යාග කිරීමෙන්

2) පි‍්‍රය වචනයෙන්

3) දියුණුවට අනුබල දීමෙන්

4) සමානත්වයෙන් සලකා ක්‍රියා කිරීමෙන්

5) අවංක බවින් කටයුතු කිරීමෙන්

iv. 1) මහා සම්මත – මහජනතාවගේ කැමැත්තෙන් පත්වන බැවිනි.

2) ඛත්තිය – කෙත්වතුවලට අධිපති ව ඒවායේ නිසි පරිහරණය සහතික කරන බැවිනි.

3) රාජා – ධර්මයෙන් අනුන්ගේ (ජනතාවගේ) සිත් සතුටු කරවන (රංජනය) බැවිනි.

v. විරති පක්ෂය

1) පාණාතිපාතං පහාය – ප්‍රාණඝාතයෙන් වැළකීම.

2) නිහිත දණ්ඩො – බැහැර කරන ලද දඬු මුගුරු ඇත්තේ

3) නිහිත සත්ථො – බැහැර කරන ලද අවි – ආයුධ ඇත්තේ

සමාදාන පක්ෂය

1) ලජ්ජි – පාපයට ලජ්ජා ඇත්තේ

2)දයාපන්නෝ – දයාවෙන් යුක්ත වූයේ

3) හිතානුකම්පි විහරති – සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා (මෛත්‍රීය) ඇත්තේ වාසය කරයි.

vi.1) එසුකාරි සූත්‍රය – වර්ණ භේදය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ එක් පාර්ශ්වික බෙදීමක් පෙන්වා දෙයි.

2) අස්සලායන සූත්‍රය – වර්ණ භේදය යුක්ති යුක්ත කිරීම පිණිස බමුණන් විසින් ඉදිරිපත් කරන ඥාන විභාගමය පදනම වූ වෛදික ශ්‍රැතියෙහි අන්තර්ගත වූ තමන් වෙත පරපුරෙන් පරපුරට උරුම වූ ආගමික පිළිගැනීමක් බව කියාපාමිනි. එහෙත් බ්‍රාහ්මණයන්ගේ උත්පත්ති ක්‍රමය ද සාමාන්‍ය වෙනත් පුද්ගලයන්ගෙග් උත්පත්ති ක්‍රමයම බව, බැමිණියන් වැඩිවිය පැමිණෙන බව, ගැබ්බර වන බව, දරුවන් බිහිකරන බව, දරුවන්ට කිරිදෙන බව ආදියෙන් සනාථ වේ. ඊට වඩා වෙනස් ක්‍රමයකින් බ්‍රාහ්මණයන් පහළ වූවා විය නොහැකි ය යනුයි.

3) වාසෙට්ඨ සූත්‍රය – ගස්වැල් වෙන්කොට හඳුනා ගන්නේ ඒ ඒ ශාක වර්ගවලට උරුම වූ ජාති ලක්ෂණ ඇති නිසා බවත් මනුෂ්‍ය වර්ගයා අතර එබඳු ජීව විද්‍යාත්මක වර්ග කිරීමක් නොපෙනෙන බවත්, සමස්ත මනුෂ්‍ය එක් ජීව විද්‍යාත්මක කොට්ඨාසයක් බවත්, පෙන්වා දීම.

4) අග්ගඤ්ඤ සූත්‍රය – ඓතිහාසික, සමාජ, මානව විද්‍යාත්මක ස්වරූපය අනුව චතුර් වර්ණය ප්‍රතික්ෂේප කොට තිබේ. සමාජ ආර්ථික ක්‍රියාවලියක් මත වර්ණ සම්මුතිය ඇති වූ බව එහි ඉගැන්වේ.

vii.1) බෞද්ධයෝ තම ආගම වෙනුවෙන් කිසි විටක යුද්ධ නොකිරීම,

2) මිත්‍යාදෘෂ්ටි නැති කිරීම සඳහා අන්‍ය ලබ්ධිකයන්ට ම වධ බන්ධන කිරීම හෝ බලයෙන් තම ආගමට බඳවා ගැනීම හෝ කිසි විටක සිදු නොකිරීම.

3) නිතර අන් අදහස් ඉවසන සුළු වීම.

4) නියම බෞද්ධයාට සතුරන්ගේත් මිතුරන්ගේත් ජීවිත එකක් වීම.

5) සෑම දරුණු ක්‍රියාවකින් ම වැළකී සිටිය යුතු බව.

6) හොඳම පළිගැනීමේ මාර්ගය නම් කරුණාවන්ත සිතිවිලි ඇති කර ගැනීම ආදියයි.

viii රාජාණ්ඩු හතර නම්,

මගධ රාජ්‍යය, කෝසල රාජ්‍යය, වත්ස රාජ්‍යය, අවන්ති රාජ්‍යය යනුයි.

ඒවායෙහි රාජ්‍ය පාලනයේ මූලික ලක්ෂණ

පිය පුතු පරපුරට බලය උරුම වීම හා බලය ලබා ගන්නා රජුගේ ආඥාව යටතේ රට පාලනය වීම.

එම පාලනය වෙනස් වූයේ බලයේ සිටින රජු ඝාතනය වීමෙන් පසු වෙනත් රජෙකු විසින් බලය අල්ලා ගැනීමෙන් බව.

විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ආයතන තුනෙහිම බලය රජු කේන්ද්‍ර කොට පැවතීම.

මන්ත්‍රී පර්ෂධ නම් උපදේශක සභාවක් පැවතීම පුරෝහිතයකුගේ උපදෙස් ලැබීම.

රාජාඥාව ඉතා ප්‍රබල වූ අතර, එය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබීමට පවා හේතු වීම ආදියයි.

ix. දැහැමි ජීවන වෘත්තීන් ලෙස

1) කෘෂි කර්මාන්තය (කසී)

2) පශු රක්ෂණය (ගොරක්ඛ)

3) කර්මාන්තවල යෙදීම (සිප්පඤ්ඤතර)

4) රාජ්‍ය සේවය (රාජපොරිස)

5) හමුදා සේවය (ඉස්සත්ථ) ආදියයි.

මානව හිමිකම් උල්ලංඝනය වීමක් නොවීමට

1) පඤ්චවිධ වෙළඳාම් පහෙන්ම සිදුවන්නේ සාර්ථක ජීවිත ගත කරන්නට බලාපොරොත්තු වන පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම.

2) ජීව – අජීව පරිසරයට හානි වීම.

3) එම වෘත්තීන්හි නියුතු පුද්ගලයන්ගේ මනස පවා අධර්මයට හුරුපුරුදු වීම.

4) ඔවුන්ගේ මනස ආර්ය මාර්ගයට යොමු නොවීම ආදියයි.

x. 1. ධනෝපාර්ජනය – ධනය ඉපයීම, දැහැමින් සෙමින්, දහඩිය මුගුරු වගුරවමින්, දෑතේ වෙර වීර්යයෙන් ධනය ඉපයිය යුතු බව.

2. ධනපරිභෝජනය – ධනය පරිභෝජනය කළ යුත්තේ, තමාටත්, අනුන්ටත්, ධනය බෙදා හදාගෙන තමා සැපවත් වීම හා අනුන් ද සැපවත් කරවීම යන ක්‍රමයට වීම.

3. ධන සංරක්ෂණය – ධනය ආරක්ෂා කළ යුත්තේ භෝග අපාය මුඛවලින් වැළකී ක්‍රියා කිරීමෙනි.

4. ධන සංවිභජනය හෙවත් ධන කළමනාකරණය

ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් ආයෝජනයටත් ඉතිරි කොටස ආපදාවකදී ගැනීමට තැන්පත් කිරීමටත් හැකි පරිදි කළමනාකරණය කළ යුතු වේ.

II කොටස

2. i) මානව විද්‍යාව, සංස්කෘතික මානව විද්‍යාව, සමාජ මනෝ විද්‍යාව, මානව වංශ විද්‍යාව, නීතිය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව,

ii) හොඳ – නරක පිළිබඳ විනිශ්චය, යුතුකම් – අයුතුකම් පිළිබඳ විනිශ්චය, පින් – පව් පිළිබඳ විනිශ්චය, ධර්මය – අධර්මය පිළිබඳ විනිශ්චය, ගුණ – අගුණ පිළිබඳ විනිශ්චය, සාර – අසාර විනිශ්චය, සදාචාර – දුරාචාර විනිශ්චය, හැඟීම් බර – හැඟීම් රහිත බව විනිශ්චය ආදියයි.

iii) බෞද්ධ සමාජ දර්ශනය – පුද්ගලයා හා සමාජය, යුතුකම් හා වගකීම් සදිසා නමස්කාරය ආදිය සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන්.

සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය හා පරිණාමය – චතුර්වර්ණය ආදිය අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්.

ජීව – අජීව පරිසරය – මානව හිතවාදය, සත්ව හිතවාදය, ජීව හිතවාදය ආදිය ථෙර – ථේරී ගාථා, සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය ආදිය ඇසුරෙන්.

බුදුසමයේ දේශපාලන චින්තනය – රාජාණ්ඩු ක්‍රමය, සමූහාණ්ඩු ක්‍රමය, සප්ත අපරිහානිය ධර්ම, සතර සංග්‍රහ වස්තු, දස සක්විතිවත්, දස රාජධර්ම, පඤ්චශීල ප්‍රතිපදාව ආදිය චක්කවත්තිසීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රය ආදියෙන්.

බුදු සමයේ ආර්ථික චින්තනය – ධනය ඉපයීම, ධන පරිභෝජන, ධන සංරක්ෂණය, සදාචාර ධර්ම ආදිය ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පත්තකම්ම සූත්‍රය, අණන සූත්‍රය, රාජසිය සූත්‍රය, වඩ්ඩී සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය ආදිය ඇසුරෙන්.

නීතිය යුක්තිය හා දණ්ඩනය පිළිබඳ ඉගැන්වීම්.

යුද්ධය හා සාමය පිළිබඳ ඉගැන්වීම්

සාමාජික සහජීවනය

විද්‍යාව, තාක්ෂණය හා කාර්මිකරණය ආදී ක්ෂේත්‍ර

3. i) සිඟාලෝවාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය, වසල සූත්‍රය, පරාභවසූත්‍රය, මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, ද්විචක්ඛු සූත්‍රය, රාසිය සූත්‍රය, වනරෝප සූත්‍රය ආදිය.

ii) මාතා පිතා දිසාපුබ්බා – නැඟෙනහිර – මවුපියන්

ආචරියා දක්ඛිණා දිසා – දකුණ – ගුරුවරු

පුත්තදාරා දිසා පච්චා – බටහිර – අඹු – දරුවන්

මිත්තා – මිච්චාච උත්තරා – උතුර – මිත්‍ර – අමාත්‍ය

දාස කම්මකරා හෙට්ඨා – යට – දැසි දස් කම්කරු – සේවකයෝ

උද්ධං සමණ බ්‍රාහ්මණා – උඩ – ශ්‍රමණ – බ්‍රාහ්මණවරු – පැවිද්දෝ

iii) භාර්යාවට

1. ගෞරවාන්විත ව ක්‍රියා කිරීමෙන් 2.අගෞරව නොකිරීමෙන් 3.දුසිරිතෙහි නොයෙදීමෙන්

4. ඉසුරු පවරා දීමෙන්

5. ආභරණ ආදිය ගෙන දීමෙන් ස්වාමියාට

1. නිවසේ යුතුකම් මැනවින් සැලසුම් කිරීමෙන්

2. පිරිවර ජනයාට නිසි ලෙස සංග්‍රහ කිරීමෙන්

3. දුසිරිතෙහි නොයෙදීමෙන්

4. මිල මුදල් ආදිය විනාශ නොකිරීමෙන්

5. දක්ෂව අලස නොවී සියලු කටයුතු කිරීමෙන්

4. i) 1. අහෝ රසං අහෝ රසං (අනේ රසයි අනේ රසයි)

2.අහු වත නෝ, අහාසි වත නෙසෝ (අපිට තිබුණා, නැති වුණා)

3.වධූය, නිබ්බුය්ස්හමානාය, පසුංඛිපති ලෙබ්බු, බිපත, ගොමයං ඛිපන්ති (මනාළියක කැඳවාගෙන යන විට පස්, ගල්කැට, ගොම ආදිය දමා ගැසීම)

4.මහා සම්මත, ඛත්තිය, රාජා යන රාජ සංස්ථාව,

5. බ්‍රාහ්මණ ඣායක, අජ්ඣායක (අධ්‍යාපන සංස්ථාව ආගමික සංස්ථාව)

6. වෙස්ස (සිටුවර සංස්ථාව – වෙළඳ ප්‍රජාව)

7. සුද්ද (මෙහෙවර කරන්නන්, සේවක ප්‍රජාව ආදිය)

ii) සංවට්ටමාන යනු හැකිළීමයි. විවට්ටමාන යනු විකාශනයයි. මෙහි ලෝකය නම් විශ්වයයි. එම ඉගැන්වීමට අනුව විශ්වය චූලනිකා ලෝක ධාතු, මජ්ජිමකා, ලෝකධාතු හා මහා ලෝක ධාතු යනුවෙන් තුනකට බෙදේ. මෙයින් කුඩාම වන්නේ චූලනිකා ලෝක ධාතුයි. එබඳු චූලනිකා ලෝක ධාතු රැසකින් මජ්ක්‍ධිමකා ලෝක ධාතුවක් ද එවැනි රැසකින් මහා ලෝක ධාතුවක් ද සෑදෙයි.

එම ලෝක ධාතුන් සංවට්ටමාන යුගයෙහි සත්ව ජීවිතය අපහසු ය. සත්වයෝ ආභස්සර කායිකව සූක්ෂම ස්වරූපයෙන් ජීවත් වෙති. ලෝකයෙහි විවට්ටමාන යුගයෙහි ආභස්සර කායික සත්වයෝ ඉන් චුතව පෘථිවියට එති. පෘථිවිය එකම ජල ගෝලයක් මෙන් අඳුරෙහි දිගු කලක් පවතී. මෙහි වාසයට එන සත්වයෝ ආකාසචාරි, සයං සභාව, පීති හක්ඛාව හැසිරෙති. කල්යාමේ දි ජලගෝලය රස පෘථිවිය වේ. එතැන් සිට රස තෘෂ්ණාව හේතු කොටගෙන ලෝකයේ වෙනස් වේ. සත්ත්වයාගේ ස්වරූපයත් වෙනස් වේ. මෙසේ ලෝකයේ විකාශනය විවට්ටමාන යැයි කියනු ලැබේ.

iii) ලෝල ජාතික සත්ත්වයා නිසා රස තෘෂ්ණාව ඇති වීම,

රස පෘථිවිය පහළ වීම හා එය අතුරුදහන් වීම.

භූමි පප්පටක පහළ වීම හා එය අතුරුදහන් වීම.

බදාලතා පහළ වීම හා එය අතුරුදහන් වීම.

ස්වයංජාත හැල් වී පහළ වීම හා එය අතුරුදහන් වීම.

සන්නිධිකාර පරිභෝජනයට යොමු වීම.

වී පහළ වීම හා ඒවා වගාකොට ජීවත් වීම.

සිය භූමි කොටස වැට කඩොලු ආදියෙන් වෙන්කර ගැනීම හා අන්‍යයන්ගේ කොටස් එක්කර ගැනීම.

මේ නිසා ඔවුනොවුන් අතර අර්බුද – රණ්ඩු කෝලාහල ඇතිවීම

රජ කෙනෙකුගේ අවශ්‍යතා පැන නැඟීම.

රජු පත්කර ගැනීම හා රජුට අයබදු ලබා දීම

5. i) උතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය, හා චිත්ත නියාමය යනුයි.

ii) සෑම සංසාරික සත්ත්වයකුම සසර ගමන තුළ විවිධ සත්ව නිකායවල උපත ලැබීම.

දේව, මනුෂ්‍ය, නරක, තිරිසන් හා පේ‍්‍රත යන පඤ්ච ගතියෙන් උපත ලැබීම, සියල්ලන්ට ම පොදුවන බැවින් සකල ජීව වර්ගයා විෂයයෙහි අපගේ සම්බන්ධයක් පැවතීම.

වෘක්ෂ ලතාවන්හි පවා අල්පේශාක්‍ය දේවතාවන් (ආරාම දේවතා, වන දේවතා) කෙරෙහි ආකල්පය ( මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරින්)

ගෘහ වස්තුවලට අධිගෘහිත දේවතාවන් (අධි වත්ථා දේවතා) වාස්තු දේවතා ආදින් ගැන කෙටියෙන් දක්වා තිබීම,

භූතා වා සම්භවේසීවා – සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා ආදිය.

පරිසරය පිළිබඳ සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රය පරිනිබ්බාන සූත්‍රයේ රමණීයං ආනන්ද වේසාලියං ආදිය ද,

ථේර ගාථා, ථේරී ගාථා ආදියෙහි රහත් භික්ෂු භික්ෂුණීන් වහන්සේගේ පරිසර වර්ණනා ආදිය.

iii) මානවයා කෙරෙහි බුදුසමයේ මානව හිතවාදි සමානාත්මතා ආකල්ප, අග්ගඤ්ඤ, වාසෙට්ඨ, අස්සලායන ආදී සූත්‍රවලින් චතුර් වර්ණය පිළිබඳ ඉගැන්වීම.

ධම්මපදයේ සබ්බේ තසන්ති දණ්ඩස්ස......

සුඛ කාමානි භූතානි – යෝ දණ්ඩෙන නහිංසති ආදී ගාථා

සීල ශික්ෂාවෙහි ප්‍ර‍්‍රාණඝාත විරමණය – පාණාතිපාතං පහාය පාණාතිපාතා

පටිවිරතො හොති ......ආදිය

මානව හිතවාදය, සත්ව හිතවාදය හා පරිසර හිතවාදය පිළිබඳ ඉගැන්වීම

කරණීයමෙත්ත සූත්‍රයේ දිට්ඨාවා යේව අද්දිට්ඨා........ආදිය

6. i) තිර්ථක, පරිබ්‍රාජක, ආජීවක, ජටිල, බ්‍රාහ්මණ, ශ්‍රමණ ආදින්.

ii) ලෝකය දෙවියන් විසින් මැවූ බව කියැවෙන ඊශ්වර නිර්මාණවාදය, ඉස්සර නිර්මාණවාද.

ලෝකය ඉබේ හටගත්තක් බව කියැවෙන පටිච්චසමුප්පන්නවාද,

ඉපදෙමින්, මැරෙමින් නැවත උපදින බවත් සංසාර ශුද්ධිය විය යුතු බවත් සංසාර සුද්ධිවාද.

මරණින් මතු නැවත උපතක් නැතැයි කියැවෙන උච්ඡේදවාද

පෙර කළ කර්මයට අනුව ලෝකය පවතින බව – පුබ්බේකතහේතුවාදය

ලෝකය සදාකාලික බව කියැවෙන – සාස්වත වාද ආදි ඉගැන්වීම්.

iii) අන්‍යාගමික පැවිද්දන් නිරයගාමීන් හෝ ජාති ජරා සංසාරයේ ගිලී නැසෙන්නන් ලෙස හැඳින්වීමට බුදුරදුන් ඉදිරිපත් නොවීම.

ඔවුන්ගේ යහපත් ගුණාංග දැකීමෙහිලා උන්වහන්සේ නොපැකිළිව ක්‍රියා කිරීම.

බුදුරදුන් අන්‍යාගමික ගුරුවරුන් සමඟ සුහද සංවාද හා සබඳතා පැවැත්වීම.

බුදුරදුන් දන් වැළඳීමෙන් අනතුරුව අන්‍යාගමික ආරාම වෙත වැඩම කරනු දුටු ඔවුහු සිය ශිෂ්‍යයන් නිශ්ශබ්ද කරවමින් උන්වහන්සේ සාදරයෙන් පිළිගැනීම.

අන්‍යාගමික ශ්‍රාවකයන් සිය ආගමට හරවා ගැනීමට උත්සුක නොවීම හා එබඳු අවස්ථාවල හා දන් පිළිගැන්වීම දිගටම කරගෙන යන ලෙසට උපදෙස් දීම.

බුදුරදුන්ගේ සහනශීලි වූ, ආක්‍රමණ පරවශ නොවූ සෞම්‍ය ධර්ම ප්‍රචාරක ක්‍රමය තේරුම් ගැනීමට උදුම්බරික සීහනාද සූත්‍රය උදාහරණ වේ.

මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානිය ධර්ම අතර සිය විජිතයෙහි සාම්ප්‍රදායික, පාරම්පරික, ආගමික සිද්ධස්ථාන වෙත පෙර පටන් කර ගෙන, පුරුදු පුහුණු කළ ගෞරවය, සත්කාරය, නොකඩ කොට සිදු කිරීම අපරිහානි ධර්මයක් ලෙස පෙන්වා දීම ආදි කරුණු.

7. i) වැඩිවන ජනගහනයට අධ්‍යාපනය සැපයීම

සෞඛ්‍ය පහසුකම් සැපයීම

නිවාස පහසුකම් සැපයීම

මහා මාර්ග හා ගමන් පහසුව සැපයීම.

රැකී රක්ෂා සැපයීම ආදි.

ii) උත්පත්ති නිවාරණය (උපකරණ භාවිතය)

වන්ධ්‍යාකරණය

මෛතූන විරතිය

ගර්භ පාතනය ( ගබ්සා කිරීම)

iii) ගර්භ පාතනය හෙවත් ගබ්සාව ප්‍රාණඝාත අකුසලයට අයත් වීම.

ප්‍රාණඝාත විරමණ ශික්ෂාව උල්ලංඝනය වීම, එබැවින් දහමේ මූලික ආචාර ධර්මවලට හා කර්ම සිද්ධාන්තයට එකඟ නොවීම.

උප්පත්ති නිවාරණ උපකරණ භාවිතය

මෛථූන විරතිය – බෞද්ධ ශික්ෂණ ක්‍රමයට අනුව උසස් ගුණයක් වීම.

කුසලාකුසල නිර්ණය සඳහා වූ බෞද්ධ නිර්ණායක අනුව ක්‍රියා කිරීම.

ජීවියකුගේ ප්‍රතිසන්ධියට අදාළ ක්‍රියාමාර්ග වැළැක්වීම උපත් පාලන ක්‍රම මඟින් සිදු කළ හැකිවීම ආදි කරුණු.

8. i) අත්ථි සුඛ – භෝග සුඛ – අණන සුඛ – අනවජ්ජ සුඛ යනුයි.

ii) අත්තානං සුඛේති පීණේති – තමා ද සුවපත් වෙයි. පිනවයි.

මාතා පිතරො සුඛේති පීණේති – මව් පියවරු සුවපත් වෙයි. පිනවයි

පුත්තදාරා සුඛේති පිණේති – අඹු දරුවන් සුවපත් වෙයි. පිනවයි

ඤාති මිත්තා සුඛේති පීණේති – ඥාති මිත්‍රයින් සුවපත් වෙයි. පිනවයි

iii) අගථිතො – ගතිත නොවීම, අමුච්ඡිතො – මුළා නොවීම

අනජ්ඣාපන්නෝ – බැස නොගැනීම.

ආදීනව දස්සාවී – ආදීනව දැකීම

නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති – අත්හැරීමේ අවබෝධයෙන් පරිභෝග කිරීම ආදි කරුණු සංක්ෂිප්ත වශයෙන් දැක්විය.