Print this Article


දෙව්දත් තෙරුන්ගේ අඥානකම ආනන්තරිය පාපකර්මයක් දක්වා දුර ගිය හැටි

දෙව්දත් තෙරුන්ගේ අඥානකම ආනන්තරිය පාපකර්මයක් දක්වා දුර ගිය හැටි

සංඝභේද ආනන්තරීය පාප කර්මය මෙවර ලිපියේ තේමාව වේ. බුදුසසුනේ මෙම බරපතළ පාපකර්මය කිරීමට මුල් වූ පුද්ගලයා දේවදත්ත හාමුදුරුවෝ ය. උන්වහන්සේ පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල කරුණු සඳහන් වෙයි. ආනන්තරීය පාපකර්ම දෙකක් ම කළ දෙව්දත් තෙර ගැන චුල්ලවග්ග පාලියේ ද කරුණු සඳහන් වෙයි.

දේවදත්ත කුමාරයා සුප්‍රබුද්ධ රජුගේ පුතා ය. සිදුහත් කුමාරයා විවාහ වූ බිම්බාදේවිය හෙවත් යශෝධරා දේවිය එම රජතුමාගේ දියණියයි. ගිහි සබඳතා අනුව දෙව්දත් බුදුරජාණන් වහන්සේගේ මස්සිනා ය.

භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ක්ෂත්‍රිය කුමාරවරු පැවිදි වූහ. දෙව්දත් තෙර නොබෝ දවසකින් ඍද්ධිලාභී විය. සැදැහැවත් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේට, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේට නිරන්තරයෙන් ගරු සත්කාර දක්වති. බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බොහෝ අවස්ථාවල පැසසුමට ලක් කළ සේක. මෙයින් කෝපයට පත් දෙව්දත් තෙර මටත් පුද සත්කාර කරන පිරිසක් ඇති කර ගත යුතුයැයි සිතුවේ ය.

ඒ සඳහා බිම්බිසාර රජුගේ පුත් අජාසත් කුමරු උපයෝගී කර ගත යුතුයැයි සිතා ඍද්ධියෙන් කුමාර වේශයක් මවා නයි හතර දෙනකු අත්පා සතරෙහි ද, එකක් බෙල්ල වටා ද ඔතාගෙන අජාසත් කුමරුගේ උකුලෙහි පහළ විය. එවිට අජාසත් කුමරු බයට පත්ව කෑගසා නැඟිට්ටේ ය. එවිට බිය නොවන ලෙසත්, තමා දේවදත්ත හාමුදුරුවන් බවත් කීවේ ය. කුමර වේශය හැරදා භික්ෂු වේශයෙන් කුමරු අභියස පෙනීසිටියේ ය.

මින් උද්දාමයට පත් අජාසත් කුමරු රිය පන්සියයකින් ආහාරපානාදිය රැගෙන උදේ, සවස දෙව්දත් තෙරගේ උපස්ථානයට යයි. මෙසේ නිරන්තරයෙන් ලාභ, කීර්ති, ප්‍රශංසා ඔහුට ලැබෙන්නේ ය. එක්තරා දවසක දෙව්දත් තෙරණුවෝ තම පියා වන බිම්බිසාර රජු මරා රජ වන ලෙසත්, බුදුන් මරා මම බුදුවන බවත් ප්‍රකාශ කළහ. කෙසේ වුවත් අජාසත් පිය රජු මරා රජ විය. දෙව්දතුන් විවිධ උපක්‍රමයන් යෙදුවත් බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට නොහැකි විය. මේ නිසා භික්ෂූන් පහදවා ගනිමින් බලය අල්ලන්නට ඕනෑ යැයි සිතුවේ ය.

වරක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලීමක් කරයි. එනම්,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දැන් මහලු ය. අන්තිම වයසේ සිටින්නේ ය. කටයුතු කිරීමේ උත්සාහයක් ද නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්ති සුවයෙන් වාසය කරන සේක්වා. මම මේ භික්ෂු සංඝයා පාලනය කරමි. මට එය කළ හැකි ය. මට භික්ෂු සංඝයා පවරා දෙනු මැන. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක. මේ නිසා කලකිරීමට පත් දෙව්දත් තෙර කෝකාලික තෙරුන් සමඟ එක්ව සංඝයා බිඳින්නෙමු. ආඥා භේදය කරන්නෙමුයි කතිකා කළහ. මෙය සාර්ථක නොවන බව කෝකාලික තෙරුන් ප්‍රකාශ කළත් ඊට එකඟ නොවීය.

එම නිසා බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණුවලින් අල්පේච්ඡ ගුණයේ, යථාලාභ සන්තෝෂයේ, සල්ලේක ගුණයේ, දූත ගුණයේ, ආයු දුටුවන් පහළවන පැවැත්මේ ගුණ වදාරණ සුළු ය. ඒ නිසා ඒ ගුණයන්ට සැසදෙන පරිදි වර පහක් ඉල්ලීය. ඒවා නම්,

භික්ෂූන් ආරණ්‍යවාසී විය යුතුයි.

භික්ෂූන් දිවි හිමියෙන් පිණ්ඩපාතික විය යුතුයි.

භික්ෂූන් දිවි හිමියෙන් පාංශුකූලික විය යුතුයි.

භික්ෂූන් දිවි හිමියෙන් වෘක්ෂ මූලික විය යුතුයි.

භික්ෂූන් දිවි හිමියෙන් දිය මස්, ගොඩ මස් වැළඳීමෙන් වැළකිය යුතුය යන්නයි.

බුදුරජාණන් වහන්සේ මෙය පිළිනොගන්නේ නම් අපි මේවා ජනයාට කියමු. බුදුරජාණන් වහන්සේ මේ වර පහ ද ප්‍රතික්ෂේප කළ සේක. මේ නිසා දෙව්දත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ මේ පංච වස්තූන් අනුදැන වදාළේ නැතැයි ඔද වැඩී සිතින් පිරිස සමඟ රජගහනුවරට ගියේ ය.

කෙසේවුවත් සංඝ භේදයට උත්සාහ කරන බව බුදුරජාණන් වහන්සේ දැන දෙව්දත් තෙරුන් කැඳවා සංඝභේදයට උත්සාහ නොකරන ලෙසත්, එය අපායේ උපදින මහත් බරපතළ අකුසලයක් බවත් පෙන්වා දුන් සේක. කෙටියෙන් මේ පැහැදිලි කළේ සංඝභේදයට හේතුවූ කරුණු කිහිපයක් ය. සංඝ භේදයට කලින් සංඝරජි වේ. සංඝ රජි වීම යනු කුමක්දැයි චුල්ලවග්ග පාලියේ සංඝභේදක්ඛන්ධකයේ සඳහන් වන පරිදි මෙහි දැක්වේ.

“උපාලි ධර්මවාදී එක් පක්ෂයකින් එකෙක් වෙයි ද, අධර්මවාදී පක්ෂයෙකින් දෙදෙනෙක් වෙත් ද සතර වැන්නෙක් මෙය ධර්මය යැ වෙයි විනයැ. මෙය ශාස්තෘශාසනය යැ මෙය පිළිගනිමු. මෙයට සතුටු වව් ( මෙයට රිසි කරව්) යැයි අනුශ්‍රාවණය (අනුනට ඇස්වීම) කෙරේ ද, සලකා ගන්නවාද, උපාලි මෙසේම සංඝරාජිය වෙයි. එහෙත් සංඝ භේදය නොවෙයි.

උපාලි ධර්මවාදි එක් පක්ෂයකින් දෙදෙනෙක් වෙත්ද? අධර්මවාදි එක් පක්ෂයකින් දෙදෙනෙක් වෙත්ද? පස්වැන්නෙක් (අධර්මවාදී වැ) මේ ධර්මයයැ මේ විනය යැ, මේ ශාස්තෘශාසන යැ, මෙය ගනිව්. මෙය රිසි කරව් යැයි අනුශ්‍රාවණය කෙරෙහි ද සලකා ගන්වයි ද උපාලි මෙසේත් සංඝරාජිය වෙයි.

උපාලි එක්පසෙකින් දෙදෙනෙක් වෙත්ද? අනෙක් පසින් තුන්දෙනෙක් වෙත්ද? සවැන්නෙකි මේ ධර්මයැ. මේ විනයැ. මේ ශාස්තෘශාසනය යැ මෙය ගනිව් මෙය රිසි කරව් යැ. අනුශ්‍රාවණය කෙරේද සලකා ගන්නවාද උපාලි මෙසේත් සංඝ රාජිය වෙයි. සංඝ භේදය නොවෙයි.

උපාලි එක්පසෙකින් තිදෙනෙක් වෙත්ද? අනික් පසිනුත් තිදෙනෙක් වෙත්ද, සත් වැන්නෙක් මේ ධර්ම යැ. මේ විනය යැ. මේ ශාස්තෘ ශාසනය යැ. මෙය පිළිගනිව්. මෙය රිසි කරව්යි අනුශ්‍රාවණය කෙරෙහිද සලකා ගන්වයිද උපාලි මෙසේත් සංඝරාජිය වෙයි.

සංඝ භේදය නොවේ.

උපාලි, එක් පසෙකින් තිදෙනෙක් වෙත්ද? අනික් පසින් සතර දෙනෙක් වෙත්ද? අටවැන්නේ මේ දහම යැ. මේ විනයැ මේ ශාස්තෘ ශාසනය යැ. මෙය ගරාවු. මෙය රිසි කරවුයි අනුශ්‍රමණය කෙරෙයිද සලකා ගන්වයිද, උපාලි මෙසේත් සංඝරාජ වෙයි. සංඝභේදය නොවෙයි.

උපාලි එක්පසෙකින් සතර දෙනෙක් වෙත්ද? අනික් පසින් සතර දෙනෙක් වෙත්ද? නව වැන්නේ මේ දහම යැ. මේ විනය යැ. මේ ශාස්තෘ ශාසනය ද මෙය ගනිව්. මෙය රිසි කරව්. යි අනුශ්‍රාවණය කෙරයිද, සලකා ගන්වයිද? උපාලි මෙසේම සංඝරාජිය ද සංඝ භේදය ද වේ. උපාලි නව දෙනෙකුගෙන් ද නව දෙනෙකුට වැඩි ගණනකින්ද සංඝරාජයත් සංඝභේදයත් දෙකම වේ.

ආනන්තරිය යන වචනය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගත යුතුයි. අනතුරුව ආත්ම භාවයේ විපාක දෙන යන අදහස එහි තිබේ. ආනන්තර යන පදයෙන් සෑදුන ආනන්තරිය යන පදය තද්ධිතයකි. ආනන්තර ශබ්දයට ඉතා ප්‍රත්‍ය ය එකතු වී ආනන්තරීය යන අනේකාර්ථ තද්ධිත පදය සෑදී ඇත. මව මැරීම, පියා මැරීම ආදි අකුසල කර්මයන් යමෙක් සිදුකොට ඇත්නම් තම බරපතළ අකුසලය හෝ අකුසල් කළ පුද්ගලයා මරණින් මතු අපායගාමී වේ. අනතුරුව ආත්මභාවයේ විපාකදීම යනු එයයි.

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, දූෂිත සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම, සංඝ භේදය, වෙනත් ශාස්තෘවරයකු කරා යාම යන කරුණු හය සෝවාන් මාර්ගඵල ලාභියකුගෙන් සිදු නොවේ. ඉහත සඳහන් කළ කරුණු හයෙන් සයවැනි කරුණ හැර සෙසු පහම ආනන්තරිය පාප කර්ම වශයෙන් ප්‍රචළිතයි. මෙම ලිපියෙන් සඳහන් කළේ සංඝ භේදය නම් වූ ආනන්තරිය පාප කර්මය වේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.