Print this Article


සැම හිත සුව පිණිස...

සැම හිත සුව පිණිස...

සැරියුත් මුගලන් පරපුරෙන් පැවැත එන ගරුතර මහා සඟරුවන එදා මෙදා තුර පරාර්ථ චර්යාව උතුම් පරමාර්ථයක් කොට සැලකූහ. ඒ අනුව ක්‍රියා කළහ.

භික්ෂුන් වහන්සේ සමාජයෙහි යහපත් ක්‍රියා සියල්ලෙහි ම ප්‍රමුඛත්වය අරගෙන ක්‍රියා කළෝ ය. රට පාලනයට උපදෙස් දුන්හ. වරද පෙන්වා දුන්හ. නිවැරැදි මඟ හෙළි කළහ. අධ්‍යාපනය, ග්‍රන්ථකරණය, වෛද්‍ය වැනි විවිධ විෂයය පිළිබඳව ද පුළුල් දැනුමක් ඇතිව සිටියහ. උන්වහන්සේ ජන ජීවිතයේ සියලු කාර්යයන්හි දී ප්‍රමුඛ ව ක්‍රියා කළහ. දැනු ද එසේ ම ය.

උපතේ පටන් විපත දක්වා ජීවිත ගමනේ සැම වැදගත් අවස්ථාවක දී ම භික්ෂුන් වහන්සේ සම්බන්ධ වන බව ඔබ අප සැම දෙනා ම නොදන්නවා නොවේ. දරුවෙක් කුස පිළිසිඳ ගත් අවස්ථාවේ පටන් මරණ මංචකය දක්වා පමණක් නොව පරලොව යාමෙන් අනතුරුව ද භික්ෂුන් වහන්සේ සම්බන්ධ වේ. මෙයින් පෙනී යන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස අතර දැඩි සබඳතාවක්, සුහදතාවක්, අන්‍යෝන්‍ය රටාවක් පෙර පටන් ම පැවැති බවයි.

මේ වස් මාසයයි. මෙම කාලය තුළ දී ගිහියාගේ දැඩි අවධානයක්, සැලකිල්ලක් හා ඇප උපකාරයක් භික්ෂුන් වහන්සේ වෙත පිරිනැමිය යුතු වේ.

වත්මන් යුගයේ අප කාටත් කාර්යබහුල නමුත් ගිහියාගේ හිත සුව පිණිස කැපවී ක්‍රියා කරන සංඝයා වහන්සේ කෙරේ අඩු තරමින්වත් මෙම වස් මාස තුනේදීවත් දැඩි අවධානයක් යොමු කර ක්‍රියා කිරීම බෞද්ධයාගේ පරම යුතුකමකි. විහාරස්ථානයට සම්බන්ධ වී දෙපිරිස අතර ඇති සබඳතා වර්ධනය කර ගැනීමට සුදුසුම කාලය මෙම කාල වකවානුවයි.

නොපැහැදුණ අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අය ගේ සිත තවදුරටත් වර්ධනය කිරීමටත් හේතුවන අයුරින් භික්ෂූන් වහන්සේ ක්‍රියා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ. එමෙන්ම විනයට අනුකූලව සංවර භික්ෂු ජීවිත ගත කිරීම තුළින් ශාසනය බැබළෙනු ඇත.

මෙම දහම් සිත් දරා ගනිමින් ගිහි පැවිදි සබඳතා වර්ධනය කිරීම මෙන් ම පරාර්ථය ද සාධනය කිරීමෙහි ලා දැඩි අවධානයක් ගත යුතු වේ. ආමිස ප්‍රතිපත්ති පූජාවෙහි ගිහි ජනතාව යොමු කරවීමේ සත්කාරයෙහි නියැළීමට වෙර දැරිය යුතු වේ. ගිහි පැවිදි සබඳතා රටක ජාතික අභිවෘද්ධියට හේතුවනු නිසැක ය.