උපෝසථය සමාදන්ව
දස පාරමිතා පුරමු
ගල්වැව කනත්තේවැව
ශ්‍රී සුගතාරාම රාජමහා විහාරයේ
හිඳව සෝභිත හිමි
"සිල් සමාදන්වී සිටින ඔබට සීල පාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කිවයුත්තක් නැත. අඹු
දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර නැටුම් බැලීම්
ආදිය හැර සුවපහසු ඇති සිය නිවෙස් හැර බණ මඩුවක් හෝ ගසක් යට හෝ පැදුරක වාසය කිරීම,
කාමයන් කෙරෙන් බැහැරවීම ය."
පළමුව චෛත්‍යය, දෙවනුව බෝධිය, තෙවනුව විහාරය වන්දනාමාන කළ යුතු අනු පිළිවෙළ වේ.
චෛත්‍යය ප්‍රදක්ෂිණා කිරීමේ දී තම දකුණුූ අත චෛත්‍ය දෙසට සිටින සේ වැඳගෙන චෛත්‍යය
වටා මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව යා යුතු ය .
චෛත්‍ය විශාල නම් එක් වරක් පැදකුණු කර පසඟ පිහිටුවා වැඳිය යුතු ය. චෛත්‍ය කුඩා වී
නම් ඒ අයුරින් ම තුන්වරක් පැදකුණුූ කොට පසඟ පිහිටුවා වැඳිය යුතු ය. පසඟ පිහිටුවා
වැඳීම යනු දෙදණ, දෙවැළමිට, නළල යන අංග පස ම බිම පිහිටුවා වැඳීම ය.
ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදි වස්තුන් කෙරෙහි නැමීම්
වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චිත්තය වන්දනාමය කුසල ය. එය දසපුණ්‍ය
ක්‍රියා අතුරෙන් අපචායන කුසලයට අයත් වේ.
ගරු කළ යුතු පුද්ගලයන්ට ගෞරව කිරීම අපචායන නම් වේ.
කාය වන්දනාව, වචී වන්දනාව, මනෝ වන්දනාව යැයි වන්දනා තුනකි. මනෝ වන්දනාව නම්,
‘මුවින් නොබැන කය නො සොල්වා, නමස්කාර කරමි. නමස්කාර වේවා’ යනාදීන් සිතීමයි.
වචී වන්දනාව නම් දෙඅත් එකතු කිරීම ආදි කායික ක්‍රියාවක් නොකොට ‘නමෝ බුද්ධාය’
නමොතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආදී වශයෙන් මුවින් පමණක් පැවසීමයි.
කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේ ය. සිටගෙන පපුව කෙළින් දෙඅත් එකතු කිරීම එක් වන්දනා
ක්‍රමයකි. එසේ කර ශරීරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙඅත් එක්කොට නළල මත තැබීම
එක් ක්‍රමයකි. හිස මත තැබීම එක් ක්‍රමයකි. දෙදණ බිම තබා වැඳීම එක් ක්‍රමයකි. දෙදණ,
දෙ වැළමිට, නළල යන අංග පසම බිම පිහිටුවා වැඳීම එක් ක්‍රමයකි. එයට පසඟ පිහිටුවා
වැඳීම යැයි කියනු ලැබේ.
මෙසේ කාය වන්දනාව අනේකාකාරව වේ. වචී වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ වචනය උපයෝගී
කරගෙන සිතින්මයි. කාය වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ ද කය උපයෝගි කරන සිතින් ම බව
දත යුතුයි.
වන්දනා චිත්තය ඥාන සම්ප්‍රයුක්ත වී නම් බලවත් කුසලයක් වේ. ඥාන විප්‍රයුක්ත වී නම්
දුබල කුසලයක් වේ. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල්
ය. රහත් බව පසේබුදුබව, ලොව්තුරා බුදු බව යන තුත්තරා බෝධිය පිණිස කරන කුසල් කියා
කුසල් දෙවර්ගයෙකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික් වේ. බෝධිත්‍රය
පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍රය සඳහා කරන කුසල් පාරමිතා නම්
වේ.
පාරමිතා දාසයෙකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්‍රියා කළහොත් ඔබට පාරමිතා දසය ම
ලැබිය හැකි ය. මල්පූජා, පහන් පූජා, ගිලන්පස පූජා, ආහාර පූජා කිරීමෙන් දාන පාරමිතාව
පිරේ. අනෙකකුට දානයක් දුනහොත් දානයකට සහභාගි වුවහොත් එයින් ද දාන පාරමිතාව පිරේ.
ධර්ම කථිකයන් වැඩම කරවා බණ කියවුවහොත්, සෙස්සන්ට, අසන්නට බණ පොතක් හෝ දුනහොත් එයින්
ද දාන පාරමිතාව පිරේ.
සිල් සමාදන්වී සිටින ඔබට සීල පාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කිවයුත්තක් නැත. අඹු
දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර නැටුම් බැලීම්
ආදිය හැර සුවපහසු ඇති සිය නිවෙස් හැර බණ මඩුවක් හෝ ගසක් යට හෝ පැදුරක වාසය කිරීම,
කාමයන් කෙරෙන් බැහැරවීම ය. එයින් ඔබට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරේ.
පොහොය දිනයේ දී දහම් ඇසීමෙන්, පොත් කියවීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ප්‍රඥා
පාරමිතාව පිරේ.
පොහොය දින සිල් රැකීමට ‘ධූතාංග රැකීමට’ භාවනා කිරීමට, වත්පිළිවෙත් කිරීමට කරන
වීර්යය, වීර්යය පාරමිතාව ය, සිල් සමාදන්වී සාගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික
වේදනා ඉවසීම, මැසි මදුරු කරදර ඉවසීම, අනුන්ගේ අපහාස ඉවසීම,ක්ෂාන්ති පාරමිතාව ය.
සත්‍යය පාවිච්චි කිරීමෙන් සත්‍යයෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ. මම මෙ
පමණක් ශීලය රකිමි. මෙතෙක් කල් භාවනා කරමි යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි
ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පිරේ. අන්‍යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසළ
ඉවත් කිරීම්, පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදි මෛත්‍රි සහගත කායික කිරීම් ද
මෛත්‍රි භාවනා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ.
අපවිත්‍ර ශරීරය හා අඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, දැක්මට අපි‍්‍රය, ළං වන කොට දුගඳ
හමන, අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ ද නැතිව,ලස්සන අයට, උසස් අයට ඇලුම් කරන්නෙ
්ද නැතිව, සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ
නැතිව,මෙදින සියල්ල කෙරෙහි මධ්‍යස්ථ ව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ.
මෙසේ නුවණින් ක්‍රියා කිරීමෙන් සිල්ගත් දිනයේ දස පාරමිතාව ම සම්පූර්ණ කළ හැකි බව
සැලකිය යුතුයි. |