Print this Article


 ප්‍රාර්ථනා කළ පමණින් ජීවිතය සැපවත් වන්නේ නෑ ප්‍රතිපදාවයි ඕනෑ

 ප්‍රාර්ථනා කළ පමණින් ජීවිතය සැපවත් වන්නේ නෑ ප්‍රතිපදාවයි ඕනෑ

මිනිසා මූලික ස්වරූපය අනුව එක සමාන වේ. එහෙත් මේ මිනිසුන් අතර ද විවිධත්වයක් වේ. සමහරු ඉතා පැහැපත් ය. ලස්සන ය. සමහරු දුර්වර් ණ ය. අවලස්සන ය. සමහරු උපතින් ම ධනවත් ය.

සමහරු ඉතා දිළිඳු ය. තීක්ෂණ බුද්ධියක් ඇති මිනිසුන් මෙන් ම කිසිවක් තේරුම් ගත නො හැකි කෙලතොළු අය ද වෙති. හැමදාමත් ලෝකයේ පවතින මේ විවිධත්වය ලෝකය පිළිබඳ විමසා බලන අයගේ කුතුහලයට ද හේතු වේ. අප දන්නා විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන්, මේ විවිධත්වයට හේතුව පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබා දීමට නො හැකි වීම ද එම කුතුහලය තවදුරටත් වැඩි කිරීමට උපකාර වේ.

බුදු දහමට අනුව, මේ විවිධත්වය කර්මානුරූප ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක තෝද්‍යෙය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ “සුභ” නම් තරුණයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මේ පිළිබඳ විමසූහ. මිනිස් ලෝකයේ ම මිනිසුන් අතර ඉපදී සිටියත්, මේ වෙනස්කම්වලට හේතුව කුමක්දැයි අසා සිටින “සුභ” තරුණයා, ඔහු හඳුනාගත් කරුණු හතක් (07) ද ඉදිරිපත් කරයි.

සමහර මිනිසුන් දීර්ඝායුෂ ලබයි. සමහරු අල්ප ආයුෂ්කයි.

බොහෝ සෙයින් නිතර ලෙඩ වන අය මෙන් ම ලෙඩ (ආබාධ) අඩු අය ද වේ.

පැහැපත් ශරීර ඇති අය මෙන් ම දුර්වර්ණ ශරීර ඇති අය ද වේ.

පිරිවර සැප බහුල මහේශාක්‍ය අය මෙන් ම අල්පේශාක්‍ය මිනිසුන් ද ඇත.

බොහෝ ධනය ඇති මිනිසුන් මෙන් ම ඉතා දිළිඳු අය ද වේ.

කෙනෙක් උසස් යැයි සම්මත කුලවල උපත ලබති. කෙනෙක් පහත් යැයි සම්මත කුලවල උපත ලබති.

ප්‍රඥාවන්ත මිනිස්සු වෙති. දුෂ්පාඥයෝ ද වෙති.

බුදුරජාණන් වහන්සේ සුභ තරුණයාගේ මේ ප්‍රශ්නවලට බලපාන මූලික වු පොදු හේතුව ලෙස දක්වන්නේ කර්මය යි. තරුණය, සත්වයෝ කර්මය ම ස්වකීය දෙය කොට ඇත්තාහ. කර්මය ම දායාදය කොට ඇත්තාහ. කර්මය ම හේතු කාරණය කොට ඇත. කර්මය ම නෑදෑයා කොට, පිළිසරණ කොට ඇත. කර්මය විසින්ම සියලු සත්වයන්, උසස්, පහත් ලෙස බෙදා වෙන් කොට දක්වයි.

මේ පොදු නිගමනයෙන් පසුව මේ එක් එක් කාරණය සඳහා බලපාන විශේෂිත වූ කර්ම පිළිබඳ ද බුදුරජාණන් වහන්සේ ‘සුභ’ තරුණයාට පැහැදිලි කර දුන්හ. මේ ලෝකයේ සමහර මිනිසුන් සතුන් කෙරෙහි දයාව, කරුණාව බැහැර කොට , බොහෝ සෙයින් සතුන් මැරීම කරයි. මෙසේ කරන ලද පුහුණු කරන ලද කර්මය හේතුවෙන් මරණින් පසු දුගතියෙහි උපත ලබයි. යම් අයුරකින් මිනිසුන් අතර උපත ලැබේ නම්, ඔහු අල්පායුෂ්ක වේ.

සමහර මිනිසුන් සියලු සතුන් කෙරෙහි දයාවෙන්, කරුණාවෙන් යුතුව සතුන් මැරීමෙන් වැළකී සිටී. මෙසේ පුහුණු කරන ලද කර්මය හේතුවෙන් මරණින් පසු සුගතියෙහි උපත ලබයි. ඔහු මිනිසුන් අතර උපත ලබයි නම්, දීර්ඝායුෂ ඇති පුද්ගලයෙක් වේ. මෙසේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම දීර්ඝායුෂ ලැබීමේ ප්‍රතිපදාව වේ.

මෙලොව සමහර මිනිසුන් කිසිදු කරුණාවකින් තොරව අතින් පයින්, දඬු මුගුරුවලින් සතුන්ට හිංසා පීඩා කරයි. විනෝදය පිණිසත්, විවිධ ක්‍රීඩා තරග පිණිසත් සතුනට තළා පෙළා හිංසා කිරීම මෙයට අයත් වේ. මෙසේ සතුන්ට හිංසා කිරීම නම් වූ කර්මය පුරුදු කිරීමෙන්, මරණින් පසු දුගතියෙහි උපත ලබයි. යම් අයුරකින් ඔහු මිනිස් ලොව උපත ලබයි නම්, නිතර ලෙඩදුක්වලට පත්වන බොහෝ ආබාධ ඇති අයෙක් වේ. මෙසේ සතුන්ට හිංසා පීඩා කිරීම බොහෝ ආබාධ ඇති බවට ප්‍රතිපදාව වේ. සියලු සතුන් කෙරේ කරුණාවෙන් යුතුව සතුන්ට හිංසා පීඩා නොකර සිටින අය ද වෙති. විනෝදය පිණිසවත් සතුන්ට හිංසා නොකරන ඔවුන් සැමවිටම සතුන් කෙරෙහි කරුණාව මෛත්‍රිය දක්වයි. මෙසේ සතුන්ට හිංසා නොකිරීම යන කර්මය පුහුණු කරන ඔවුන් ඒ කර්මය හේතුවෙන් මරණින් පසු සුගතියෙහි උපත ලබයි. මිනිස් ලොව උපත ලබන්නේ නම් ලෙඩ දුක් ආබාධ අඩු පුද්ගලයෙක් වේ. මෙසේ සතුනට හිංසා පීඩා නො කිරීම ලෙඩ දුක් ආබාධ අඩුවීමේ ප්‍රතිපදාව වේ.

ඉතා සුළු කරුණක් නිසා දැඩි ලෙස කේන්ති ගන්නා මිනිසුන් අප දැක ඇත. හොඳ හෝ වේවා, නරක හෝ වේවා තමන්ගේ අදහසට නොගැලපෙන විට එයට කේන්ති ඇති කරගෙන, බොහෝ කලක් එයට අනුව කටයුතු කිරීම ඔවුන්ගේ පුරුද්දයි. මේ අයුරින් නිතර වෛරය, ද්වේශය තම සිත තුළ පුරුදු පුහුණු කරන පුද්ගලයා ඒ හේතුවෙන් මරණින් පසු දුගතියෙහි උපත ලබයි. යම් හේතුවක් නිසා ඔහු මිනිස් ලොව උපත ලබයි නම්, දුර්වර්ණ වූ දුටුවන්ගේ සිත් අපහදවන රූපයක් ඇතිව උපදී. එබැවින් නිතර වෛරයෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කිරීම දුර්වර්ණ ශරීරයක් ලැබීමේ ප්‍රතිපදාව වේ.

කිසිම කරුණක් නිසා කේන්ති නොගන්නා පුදුමාකාර ඉවසීමක් ඇති පුදගලයෝ ද සමාජයේ ඇත. සසර දී බොහෝ කලක් ඉවසීම පුරුදු කර ඇති ඔවුන් සාමකාමී සමාජයකට වටිනා සම්පතකි. මෙසේ වෛරයෙන් තොරව නිතර ඉවසීම පුරුදු කරන පුද්ගලයා ඒ කර්මය හේතුවෙන් මරණින් පසු සුගතියෙහි උපත ලබයි.

ඔහු මේ මිනිස් ලොව උපත ලබයි නම් දුටුවන් පහදවන පැහැපත් රූපයක් ඇතිව උපදී. මෙසේ වෛරයෙන් තොරව ඉවසීම පුරුදු කිරීම පැහැපත් ශරීරයක් ලැබීමේ ප්‍රතිපදාව වේ.

අන් අයගේ ධන ධාන්‍ය, සමාජයෙන් ලබන ගරු සැලකිලි ප්‍රශංසා ආදියට ඊර්ෂ්‍යා කිරීම කවදත් මේ මිනිස් ලෝකයේ තිබූ දෙයකි. පුද්ගලයෙක් ඉතාම සාධාරණ ලෙස උත්සාහයෙන්, වීර්යයෙන් ධනය උපයා ගත්තත් එයට ද ඊර්ෂ්‍යා කිරීම සමහර අයගේ පුරුද්දකි. මෙලෙස අන් අයගේ දියුණුව දැක ඊර්ෂ්‍යා කරන පුද්ගලයා, ඒ පුරුදු කරන කර්මය හේතුවෙන් මරණින් පසු දුගතියෙහි උපත ලබයි. යම් අයුරකින් නැවත මිනිස් ලොව උපත ලබන්නේ නම් ඔහු සමාජයේ ගරු සැලකිලි නොලබන අල්පේශාක්‍ය කෙනෙක් වේ. එබැවින් මිනිස් ලොව ගරු සැලකිලි නොලබන අල්පේශාක්‍ය බවට හේතුවන ප්‍රතිපදාව වන්නේ අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීමයි. එමෙන් ම සමහර අය අන් අයගේ ගරු සැලකිලිවලට ඊර්ෂ්‍යා නොකරයි. එම ගරු සැලකිලි ලැබීමෙන් සතුටු වන ඔහු ඒවා වර්ණනා කරමින් අනුමෝදන් වේ. ඒ හේතුවෙන් ඔහු මරණින් පසු සුගතියෙහි උපත ලබන අතර, යම් හෙයකින් මේ මිනිස් ලොව උපත ලබයි නම්, බොහෝ සෙයින් අන් අයගේ ගරු සැලකිලි ලබන මහේශාක්‍ය කෙනෙක් වේ.

එබැවින් මිනිස් ලොව මහේශාක්‍ය වීමට හේතු වන ප්‍රතිපදාව වන්නේ අන් අයගේ ගරු සැලකිලිවලට ඊර්ෂ්‍යා නො කිරීමයි.

අතීතයේ “ඉල්ලීස” සිටාණන් මෙන්, කිසිදු අයුරකින් අන් අයට යමක් නො දෙන තද මසුරු පුද්ගලයන් ද සමාජයේ වේ. සියල්ල ම තමන් සතු කර ගැනීමේ අතෘප්තිකර ආශාවෙන් එක් රැස් කිරීම ඔහුගේ සතුට වේ. මෙවැනි පුද්ගලයන් මරණයෙන් ඒ පුරුදු කරන ලද කර්මයට අනුව දුගතියෙහි උපත ලබයි. කිසියම් හේතුවක් නිසා මේ මිනිස් ලොව උපත ලබයි නම්, ඉතාම දිළිඳු අයෙක් වේ. මේ නිසා දන් පැන් පූජා නොකිරීම මිනිස් ලොව දිළිඳු වීමට හේතුවන ප්‍රතිපදාව වේ. අතීතයේ සිටි අනාථපිණ්ඩික සිටු, විශාඛා උපාසිකාව මෙන් නිතර දන් පැන් දීමෙහි ඇලී සිටින අය ද අප වෙසෙන සමාජයේ ම ඇත. බොහෝ ධනවත් අය නොවුණත් තමාට හැකි අයුරින් සෑම විට ම දන් පැන් පූජා කරන එවැනි පින්වත් අය මරණින් මතු, ඒ පුරුදු කරන ලද කර්මය හේතුවෙන් සුගතියෙහි උපත ලබයි. නැවත මිනිස් ලොව උපත ලබන්නේ නම් ඉතා ධනවත් අයෙක් වේ. එබැවින් තමා සතු දෙය අන් අයට දෙමින් දන්දීම පුරුදු කිරීම මිනිස් ලොව ධනවත් වීමේ ප්‍රතිපදාව වේ.

මවුපියන්ට, වැඩිහිටියන්ට, ගරු කළ යුත්තන්ට ගරු සැලකිලි නො කරන, තද ගති ඇති, මානයෙන් යුතු පුද්ගලයන් සමාජයේ අපට හමු වේ. තමන් සතු ධනය නිසා හෝ, දැනුම නිසා හෝ, බලය නිසා හෝ අන් අය පහත් කොට සලකන ඔවුන් බොහෝ විට තමන්ට විරුද්ධ වන්නේ යැයි සිතන අය සමඟ ගැටුම් ඇති කර ගනී. මෙසේ අතිමානයෙන් යුතුව පුරුදු කරන ලද කර්මය හේතුවෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබයි. යම් අයුරකින් මේ මිනිස් ලොව උපත ලබයි නම් සැමවිට ම පහත් යැයි සම්මත කුලවල උපත ලබයි.

එබැවින් අතිමානය පුරුදු පුහුණු කිරීම පහත් යැයි සම්මත කුලවල උපත ලැබීමේ ප්‍රතිපදාව යි. මෙලොව ජීවත්වන සමහර මිනිසුන් ඉතා නිහතමානී වේ. මහත් ධනයකට හිමිකම් ඇතත්, ඉතා උසස් නිලතල ලැබුණත්, අධ්‍යාපනයෙන් ඉතා ඉහළ දැනුමක් ලැබුවත්, ඒ හේතුවෙන් අන් අය පහත් කොට නො සලකයි. මවුපිය වැඩිහිටියන් ද, ආගමික නායකයන් ද, යන ගරු කළ යුතු, පිදිය යුතු අයට, ඉතා හොඳින් ගරු සැලකිලි දක්වන ඔවුන් ඒ පුරුදු කරන කර්මය හේතුවෙන් මරණින් මතු සුගතියෙහි උපත ලබයි. මිනිස් ලොව උපත ලබන්නේ නම් උසස් යැයි සම්මත කුලවල උපදී.

මේ නිසා උසස් යැයි සම්මත කුලවල උපත ලැබීමේ ප්‍රතිපදාව වන්නේ වැඩිහිටි,පිදිය යුතු උතුමන්ට ගරු සැලකිලි දැක්වීමයි.

ලෝකයට හොඳ, නරක, කුසල් අකුසල් පිළිබඳ කියා දෙනු ලබන්නේ ආගමික නායකයන් විසින් ය. මෙලොව සමහර මිනිසුන් එවැනි ආගමික නායකයන් (ශ්‍රමණ, බ්‍රාහ්මණ) හමුවේ හොඳ නරක පිළිබඳ සොයා නොබලයි. කුසල් අකුසල්, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ සොයා නොබලන ඔවුන් හිතුමතේ තමන් දන්නා දේ කියමින්, කරමින් කාලය ගත කරයි. එවැනි සිල්වතුන්, ගුණවතුන්ගෙන් කරුණු විමසා නො බලන, ඔවුන් ඒ පුරුදු කරන ලද කර්මය නිසා මරණින් පසු දුගතියෙහි උපදී. යළිත් මේ මිනිස් ලොව උපත ලබයි නම්, දුෂ්ප්‍රාඥ මන්දබුද්ධික වේ. එය දුෂ්ප්‍රාඥ වීමේ ප්‍රතිපදාවයි.

සමහර පුද්ගලයන් නිතර සිල්වතුන්, ගුණවතුන් හමුවී හොඳ නරක සාකච්ඡා කරයි. කුසල් අකුසල් පිළිබඳ, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ සාකච්ඡා කොට ඒ අනුව පිළිපැදීමට උත්සාහ කරයි. ඒ පුරුදු කරන ලද කර්මය හේතුවෙන් මරණින් පසු සුගතියෙහි උපත ලබයි. නැවත මිනිස් ලොවම උපත ලබයි නම් ඉතා ප්‍රඥාවන්ත අයෙක් වේ. එබැවින් වහා වැටහෙන ප්‍රඥාවන්ත අයෙක් වීමට නම්, ප්‍රඥාවන්ත අය හමුවී නිතර හොඳ නරක කුසල් අකුසල් ආදිය පිළිබඳ සාකච්ඡා කළ යුතු ය.

මෙසේ යම් ප්‍රතිපදාවක් පුරුදු පුහුණු කිරීමෙන්, ඒ ප්‍රතිපදාවට අනුරූප ව අපගේ ජීවිතය තුළ දක්ෂකම්, හැකියාවන් ගුණධර්ම දියුණු වන බව මෙයින් පැහැදිලි වේ.

ධනය ලැබීමට නම් ධනය ලැබීමේ ප්‍රතිපදාව පුහුණු කළ යුතු ය. එවිට ධනය ලැබීම ප්‍රාර්ථනා කිරීමට අවශ්‍ය නැත.

ප්‍රඥාව ලැබීමට නම් ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව අනුගමනය කළ යුතු ය. ප්‍රඥාව ප්‍රාර්ථනා කිරීමෙන්, වෙනත් ක්‍රම අනුගමනය කිරීමෙන් ප්‍රඥාව නො ලැබේ.

මේ නිසා අප සියලු දෙනාට ම අපගේ ජීවිතය තුළ පහසුවෙන් දියුණු කළ හැකි ප්‍රතිපදාවන් කීපයක් මෙයින් පැහැදිලි කර දෙයි. එම ප්‍රතිපදාවන් අනුගමනය කොට, ප්‍රාර්ථනාවන්ගෙන් තොරව සංසාරික ජීවිතය සැපවත් කර ගැනීමට උත්සාහ දරත්වා.!

(මජ්ක්‍ධිම නිකාය – 3 - චූලකම්ම විභංග සූත්‍රය ඇසුරිනි)