දුක සැප තීරණය වන්නේ තමන් කරන කියනදේ අනුවයි
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
මරණින් මතු නැවත උපතක් ඇති බව සිතන, අදහන සෑම කෙනෙක් ම අපේක්ෂා කරන්නේ ස්වකීය ඊළඟ
ජීවිතය සුගතියෙහි ඉපිද සැප විඳීමටයි. බොහෝම සුළු පිරිසක් පමණක් මරණින් මතු නිවන්
සුව පතති. අප ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ම මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකියාවක්
වේද? නැත. මිනිසුන්ගෙන් වැඩි දෙනක් මරණින් මතු සතර අපායෙහි උපදිති.
බුදුරජාණන් වහන්සේ දිනක් ඇට්ටේරියා වනයක දී වනයෙහි ඇති කොළ මිටක් අතට ගත්හ.” මා අතේ
ඇති කොළ ප්‍රමාණයද වැඩි? නො එසේ නම් මේ මහා වනයේ ඇති කොළ ප්‍රමාණය ද වැඩි? යනුවෙන්
භික්ෂූන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. වනයේ ඇති කොළ ප්‍රමාණය හා සසඳන කල ඔබ වහන්සේගේ
අතෙහි ඇති කොළ ප්‍රමාණය ස්වල්පයකි'යි” භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ.
මරණින් මතු උපත ද එබඳු ය. මිනිස් ලොවෙන් චුත වී දෙව්ලොව යන්නන් අල්ප ය. මිනිස්
ලොවින් චුත වී නැවත මිනිසත් බව ලබන්නන් අල්ප ය. මිනිස් ලොවින් චුත ව අපායෙහි යන්නන්
බොහෝ ය. බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු සැබෑ තත්ත්වය එලෙසින් දේශනා කළහ. මරණින්
මතු සුගතියෙහි ඉපදීමට බලා සිටින බොහෝ අය ස්වකීය ජීවිතයේ ඇති දුර්වල විෂමතා නිසා ම
දුගතියෙහි උපදිති. කෝරඛත්තිය නම් යෝගියා එවැන්නෙකි. හෙතෙම තමා මරණින් මතු දෙව්ලොව
උපදින බවට අනාවැකි කීවේ ය. බුදුරජාණන් වහන්සේ කෝරඛත්තියගේ මරණින් මතු ඔහුගේ මළ
මිනිය ලවා තමා උපත ලද කාලකඤ්ජික පේ‍්‍රත භවයේ දුක් සහිත උපත කියන්නට විය.
සමහර අන්‍යාගමිකයෝ විවිධාකාර ව්‍රත සමාදන් ව විවිධාකාර විශ්වාස අනුගමනය කරමින්
මරණින් මතු සුගතියේ ඉපදීමට සූදානම්ව සිටිති. ඔවුන්ගේ ඉරණම කුමක්ද?
ගතවූ අනූ එක් කල්පයක කාලයක් තුළ මෙලොවෙහි ඉපිද මිය ගිය පිරිස ගැන දිවැසින් බැලීමි.
ඒ අනුව එක් අන්‍යාගමික පූජකයෙක් පමණක් මරණින් මතු දෙව්ලොව උපනනේ ය. ඔහු ද කර්මවාද
ක්‍රියාවාද ඇත්තෙකි. අන්‍යාගමික ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් කිසිවකු දෙව්ලොව නම්
ඉපදුණේම නැත. යනුවෙන් බුදුරජාණන් වහන්සේ තමන් දුටු තතු හෙළි කළහ. මිනිසුන් අතරින්
වැඩි දෙනකු මරණින් මතු සතර අපායේ උපදිනුයේ ඇයි? මිනිස් ලොව ඉඩ මදි නිසා ද? නැත.
ඔවුන්ගේ කර්ම බලය නිසා කර්ම විපාක ලෙස අපායෝත්පත්තිය සිදුවන ආකාරයත්, විවිධ අඩුපාඩු
සහිතව මෙලොව උපදින ආකාරයත් චූලකම්ම විභංග සූත්‍රයෙහි කදිමට විස්තර කර ඇත.
සතුන් මැරීමෙහි යෙදෙන දරුණු සිත් ඇත්තෝ මරණින් මතු සතර අපායේ උපදිති. ඔහුත් මිනිසත්
බව ලැබූව ද අල්ප ආයුෂ ලබති.
2. ප්‍රාණඝාතයෙන් වැළකුණු මුදු මොළොක් සිත් ඇති අය මරණින් මතු දෙව්ලොව උපදිති.
ඔවුහු මිනිසත් බව ලැබූව ද දීර්ඝ ආයුෂ විඳිති.
අතින්, පයින්, දඬුමුගුරුවලින් හෝ ආයුධවලින්, තළා පෙළා සතුන්ට හිංසා කරන අය මරණින්
මතු අපායෙහි උපදිති. මිනිසත් බව ලැබුවහොත් දරුණු රෝගාබාධ බහුල ජීවිත ලබති.
සතුන්ට හිංසා නොකරන අය සුගතියෙහි ම උපදිති. මිනිසත් බව ලැබූ කල අල්පාබාධ වෙති.
නිරෝගී වෙති.
සුළු දෙයට පවා කිපෙන කෝප සහිත අය මරණින් මතු දුගතියෙහි උපදිති. ඔවුහු මිනිසත් බව
ලැබූ කල විරූපී ව අවලක්ෂණ ව උපදිති.
තරහා ගති අඩු, ඉවසිලිවන්ත අය මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල මනා
රූප ශෝභා ඇතිව උපදිති.
අනුන්ගේ සැපතෙහි සතුටු නොවන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය මරණින් මතු දුගතියෙහි උපදිති.
මිනිසත් බව ලැබූ කල අල්පේශාක්‍යව උපදිති.
අනුන්ගේ සැපතෙහි සතුටු වන මුදිතා ගුණයෙන් යුතු අය මරණින් මතු සුගතියෙහි උපදිති.
මිනිස් ව ඉපිද මහේශාක්‍ය ජීවිත ලබති.
පූජ්‍ය පක්ෂය වෙත ආහාරපාන, යාන වාහන, වස්ත්‍ර, සයන, ආසන නොදුන් අය මරණින් මතු
දුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල ස්වල්ප සම්පත් ඇති දුගියන් ව උපදිති.
පූජ්‍ය පක්ෂය වෙත ආහාරපාන, යාන වාහන, වස්ත්‍ර, සයන, ආසන දුන් අය මරණින් මතු
සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල බොහෝ සම්පත් ඇතිව උපදිති.
පිදිය යුත්තන් නොපුදන, ගරු කළ යුත්තන්ට ගරු නොකරන, උතුමන් දැක හුනස්සෙන් නොනැඟිටින
මාන්නාධික අය මරණින් මතු දුගතියේ උපදිති. මිනිසත් බව ලැබූ කල කුලහීන ව උපදිති.
පිදිය යුත්තන් පුදන, ගරු කළ යුත්තන්ට ගරු කරන, උතුමන් දැක හුනස්නෙන් නැඟිටින අය
මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල උසස් වංශවත් කුලවල උපදිති.
කුසල්, අකුසල්, වරද, නිවරද, කළ යුතු දේ, නොකළ යුතු දේ, වැඩ පිණිස, අවැඩ පිණිස,
පවතින දේ විමසා දැන නොගන්නා අය මරණින් මතු දුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල
අඥාන ව, මෝඩ ව උපදිති.
පූජ්‍ය පක්ෂය වෙත එළඹ, කුසල් අකුසල්, වරද නිවරද, කළ යුතු නොකළ යුතු, වැඩ අවැඩ පිණිස
පවතින දේ යනාදිය විමසා දැන ගන්නා පුද්ගලයා මරණින් මතු සුගතියේ උපදිති. මිනිසත් බව
ලැබූ කල මහත් නුවණැති ප්‍රඥාවන්තයෙක් ව උපදිති.
සමහරු දුප්පත් වුවත් නිරෝගී ජීවිත ගත කරති. තවත් අය ධනවත් ව රෝගී ව කල් ගෙවති. තව
කෙනකුට කොතෙක් ධනය තිබුණ ද ඔවුන්ට තමන්ගේ ධනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අවස්ථා නොලැබේ.
මෙවැනි සමවිෂමතාවන්ට හේතු වනුයේ පෙර කරන ලද කර්මයන් ය.
මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ විසූ දුප්පත් විරූපී
තරුණියකි. ඇය මාලාකාරයකුගේ දියණියකි. විරූපි ව, දුප්පත් ව උපන් ඇය උපක්රමශීලීව
කටයුතු කර කොසොල් රජුගේ අගමෙහෙසිය බවට පත් වූවා ය. එතැන් සිට කෝසල මල්ලිකා දඹදිව
විසූ ධනවත් ම හා බලවත් ම කාන්තාව ලෙස පිළිගැනීමට ලක්වූවා ය. කෝසල මල්ලිකා ව දුප්පත්
ව විරූපී ව උපන්නේ පෙර කළ පව්කම්වල විපාක ලෙසයි. මේ ජීවිතයේ දී ම කළ දානාදී
පින්කම්වල ආනිසංස ලෙස ඇයට රජ සැප විඳීමේ වරම් ද ලැබුණි.
කර්මය ලෝක සත්වයන්ගේ දුක සහ සතුට තීරණය කරන වැදගත් ම බලවේගයයි. ඒ බව චුල්ලකම්ම
විභංග සූත්‍රයේ දැක්වේ.
“සත්වයෝ කර්මය හේතු කොට උත්පත්තිය ලබති. කර්මය දායාද කොට උපදිති. කර්මය පිළිසරණ කොට
ගෙන ජීවත් වෙති. උසස් ලෙස සත්වයන් බෙදීමට ලක් කරනුයේ කර්මය නිසා ය. කර්ම බලවේගයේ
බලමහිමය එබඳු ය.
ජීවිතයේ දුක් කරදර නොකඩවා ම පැමිණෙනවා. මහමූදේ රැල්ල වගේ එක පිට එක පෙරළෙනවා. එකක්
පැමිණ යන්නට පෙර අනික ඇවිත් අත ළඟ ට ම. මහමඟ අප මුණගැහෙන අය වාගෙයි. දුක් කරදර හිටි
හැටියේ ඇවිත් යනවා. දුක් නැති වෙන්නේ සසරින් මිදුණදාට යි. |