Print this Article


කුඩා අකුසලයකින් වුව යන්නට වන ප්‍රේත ලෝකය

කුඩා අකුසලයකින් වුව යන්නට වන ප්‍රේත ලෝකය

තිරෝකුඩ්ඪ පේතවත්ථු වර්ණනාවෙනි

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු වර්ණනාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ ජනයාට දේශනා කළ වටිනා දේශනා අතරට එක් වෙයි.

විශේෂයෙන් කර්ම විපාකය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ තුළ අන්තර්ගත වන හෙයින් සදාචාරාත්මක සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීම උදෙසා මෙම දේශනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව බෞද්ධ ඉතිහාසය විමසීමේ දී පෙනෙයි.

පේතවත්ථු වර්ණනාවෙහි ඇතුළත් කතා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. එනම්,

බුදුරදුන් විසින් කළ දේශනා හා නාරද තෙරුන් විසින් ප්‍රේතයන් වෙතින් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් ලද විවරණ යනුවෙනි.

පේ‍්‍රත යන්නෙහි තේරුම මළ තැනැත්තා යන්න ය. භාවගාමී මිනිසා කළ කුසල අකුසල අනුව ඊළඟ භවය නිර්මාණය වන බව බුදුදහමෙහි පිළිගැනීම වෙයි. සුගතිය හෝ දුගතිය අපට උරුම වන්නේ කුසල් අකුසල් මහිමයෙනි. මෙලොව දී ලබන දඬුවම් මෙන් ම අකුසලයට පරලොව දී ලැබෙන දඬුවම් මෙම ප්‍රේතයින්ගේ කතාන්දරවලින් හෙළි කෙරෙයි.

සද්ධම්මෝපායන නැමැති ග්‍රන්ථය ප්‍රේතයන්ගේ ස්වභාවය පිළිබඳ මෙසේ වර්ණනා කර තිබෙයි.

“ඇට සම් නහර ඉතිරි වූ සිරුරු ය. ඇස් හා කොපුල් ඇතුළට කිඳා ගොස් ඇත. අවුල් වූ හිසකෙස් ය. අඳුරු වූ මුහුණු ය. කිහිල්ලෙහි හා සිරුරෙහි දික් රෝම ය. සිරුර රැළි සහිත ය. මුළු ලොව විරූප බව එක්තැනෙක රැස් වූවක් වැන්න.”

නොවසන ලද රහස් පියෙස් ඇති බත් ටිකක්, පැන් ටිකක් නොලබන ප්‍රේතයෝ විඩාවට පත්ව හොවිති. එසේ වැතිරී සිටින්නවුන්ට අවුරුදු දහස් ගණනකින් ආසාව උපදවන, මෙහි එන්න, බත් කන්න, පැන් බොන්න, යන හිස් වචන ඇසේ. ඒ හඬ ඇසූ සැණින් හැම දෙන ම නැඟී සිටීමට අසමත් ව බත් පැන් ආශාවෙන් ඔවුනොවුන් ඇඟ එල්ලී මහා දුකින් නැඟී සිටිති.

නැඟී සිටීමට ඉක්මන් වූ ප්‍රේතයෝ වැටී ශක්ති නැති බැවින් එකිනෙකාගේ ඇඟ එල්ලෙති. එවිට එල්ලුණු එවුන්ගේ අත් ගසා දමති. දුබල බැවින් වෙව්ලමින් ඇඟෙහි එල්ලෙන්නේ ය. සිඳි දිය ආශා ඇතිව විසංඥ ව මුලින් කපන ලද තල්ගසක් මෙන් ඇද වැටෙති.

ඇතැම් ප්‍රේතයකුගේ රෝම කූපයෙන් නැඟී ගිනි ජාලාවෙන් තමා ආශි‍්‍රත ගිනි ජාලාවක් මෙන් මුළු සිරුර දවති. ප්‍රේතයින්ගේ බඩ සාගින්නෙන් ද පිටත සිරුරෙන් නැඟී ගින්නෙන් ද සිත පසුතැවීමේ දුකින් ද දැවෙයි. මුවින් කාරා දැමූ සෙමෙන් ද, වැදුවන්ගේ ගර්භ මලයෙන් ද, ලෝවැස්සා විසින් ඉතා කිලිටි වූ මෙයින් බැහැර අසූචියෙන් ද යන එකී කුණු පිණිස ප්‍රේතයෝ යොදුන් ගණන් දුර දුවති.

ප්‍රේතයන්ට සෙවණ අව්ව වෙයි. මහවිල් පොකුණු හිස් වෙයි. ස්වභාවයෙන් සිසිල් සුළඟ උණු වෙයි. සිසිල් සඳරැස් ගිනි දැල් මෙන් සිරුර දවයි.”

(උපුටා ගැනීම, පේතත්ථු වර්ණනාව - අත්තුඩාවේ රාහුල හිමිගේ ප්‍රස්තාවනාව)

මෙම විග්‍රහය වඩාත් හොඳින් ම පෙන්වා දෙන්නේ ප්‍රේත විෂයයෙහි ඇති බරපතළ දුක් සහිත බවයි. සතර අපායෙන් එකක් ලෙස බුදු සමයෙහි විවරණය වන ප්‍රේත ලෝකය තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥානයෙන් විවරණය නොවන්නට එහි දැක්මක් මනුෂ්‍යයාට නොලැබෙනු ඇත.

මෙම ප්‍රේත ලෝකයට කුඩා අකුසල කර්මයකින් වුව වැටෙනු ඇත.

එහෙත් බොහෝ දෙනා ඒ බව නොදැන පව්කම් කරන්නේ ක්‍රීඩාවක් මෙනි. අනුන් සතු දෑ ගැනීමේ විපාක ලෙස ප්‍රේත ආත්ම ලබන අයුරු ධර්මප්‍රදීපිකාවෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“මෙම ජන්මයෙහි මහත් අන්‍යව්‍යසනයට පමුණුවන අදත්තාදානය කළාහු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටිසහස්‍රයෙහි පැසී එයින් මිදී ගිය කලැ ප්‍රේතාත්මභාවයට පැමිණ බලවත් ක්ෂුත් පිපාසයෙන් අභිභූතවැ අනේක අන්තඞකල්පයෙහි වෙහෙසී, මිනිස් පියක් ලදහු නම් යදිවැ කපවැ විවණවැ ධික් ධික් යන අක්ෂර ශනයෙන් සන්තර්ජිතවැ හිස් පිරුණු රෙදි ඇති වැ, හිස් පිරුණු උකුණන් ඇති වැ, වෙර පිරුණු දැලි ඇති වැ, සිත් පිරුණු ශෝක ඇති වැ, ඇස් පිරුණු කඳුළු ඇති වැ, මුව පිරුණු වලප් ඇති වැ, කැඳ නොලදින්, බත් නොලදින් මනුෂ්‍ය ප්‍රේත වැ, වෙව්ලමින් ඇවිදිත්.”

(ධම්ම ප්‍රදීපිකාව)

මෙසේ ප්‍රාණඝාතාදි පංච දුශ්චරිතයෙන් යුතුව වසන්නන්ට අනිවාර්ය විපාකය ලෙසින් අනන්ත දුක් සහිත මෙම ප්‍රේත ලෝකයෙහි උප්පත්තිය ලබන බව බොහෝ ධර්ම ග්‍රන්ථ විවරණය කරයි.

විශේෂයෙන් බුද්ධ දේශනාවෙහි ප්‍රේත ලෝක ප්‍රධාන හතරකට බෙදා දැක්වෙයි. මෙම බෙදීම සිදුවන්නේ තමා කළ පාපයට අනුව ඊට විඳින දුක්වල ස්වභාවය ද සැලකිල්ලට ගෙන ය. මේ අනුව පෙනෙන්නේ ඒ ඒ කර්මයට අනුගත විපාකය ද වෙනස් වන බවයි.

නිජ්ඣාම තණ්හිකා

බිලය සහිත ගසක ඇතුළත ඇවිළගත් ගිනි කඳක් මෙන් කර්මජ තේජසින් ඇතුළත දැවෙන ප්‍රේතයෝ ය.

බුප්පිපාසිකා

සෙම් සොටු පමණ හුදු අහරක් නොලද කල්ප ගණන් සා පිපාසා දෙකින් පෙළෙන දුක් විඳින ප්‍රේතයෝ ය.

පංස්‍රපිසාචිකා

කසළගොඩ ඇදී අපවිත්‍ර තැන්හි අහර සොයා හැසිරෙමින් දුක් විඳින ප්‍රේතයෝ ය.

පරදත්තුපජීවි

අනුන් දෙන පිනෙන් ජීවත් වන ප්‍රේතයෝ ය.

මෙම ප්‍රධාන වර්ගීකරණයට අමතරව තවත් ප්‍රේත ලෝක පිළිබඳ සාහිත්‍යාගත විවරණ ද දැකිය හැකියි.

ඒ අනුව කාලකඤ්ජික නම් ප්‍රේත යෝනියක් ගැන දක්වන අමාවතුර කෘතියෙහි එහි ප්‍රේතයන් තුන්ගව් පමණ අත් බැව් ඇති අතර, ලේ මස් නැති බැවින් පරණ නා පත් වැනි බව කියැවේ.

කකුළුවන්ගේ ඇස් මෙන් ඇස් නික්ම මුදුනෙහි ඇති බවත්, ඉඳිකටු සිදුරක් වැනි මුවක් ඇතිව ගොදුරු ගැනීමේ අපහසුවෙන් බොහෝ වේදනා විඳින බවත් කියැවෙයි.

ලෝවැඩ සඟරාවෙහි ප්‍රේත යෝනිය ගැන කියැවෙන පද්‍යයක් හමුවෙයි.

උපනත් පේතව පව් කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්
කලෙකින් පින් නොකළැකිම යි සිතුණත්

ප්‍රේත ලෝකයෙහි ඇති දරුණු දුක් සාහිත්‍යකරුවන් පවා එසේ විවරණය කළේ මානව සමාජය සදාචරාත්මක කර ගැනීම සඳහා ය. විපාකය නොදැන මිහිරි දේ මෙන් පව්කම් කරන පාපයන් එයින් මුදවනු සඳහා ය.

තිරෝකුඩ්ඪ පේතවත්ථු වර්ණනාව

මෙයින් කල්ප අනූ දෙකකට පෙරාතුව කාසි පුර නම් නුවරෙක ජයසේන නම් රජෙක් විය. සිරිමා නමින් දේවියක් ද මේ රජහට විය. මොවුනට දාව බිහිවූ බෝසතාණෝ ඵුස්ස නම් වූහ. මෙම බෝසතුන් බුදු වූ කල ජයසේන සිතනුයේ තෙරුවන් කෙරෙහි මමත්වය උපදවා කිසිවකුට බුදුන්ට උපස්ථාන කරන්නට ඉඩ නොදී තමා ම කළේ ය. ජයසේන රජුගේ දෙවන බිසවගේ දරුවෝ තිදෙනෙක් වෙති. ඔවුනට හෝ බුදුන්හට උපස්ථානයට ඉඩක් නොලැබුණි.

ඔවුහු තිදෙන එකතුව උපායකින් එය ලබන්නට සිතා ප්‍රත්‍යන්ත ජනපදයෙක කැරැල්ලක් ඇති කළහ. රජතුමා එය සන්සිඳවන්නට පුතුන් තිදෙනාට භාර කළේ ය. ඔවුන් එය නිමවා පැමිණ පසු සතුටු වූ ජයසේන රජතුමා පුතුන්ට ඕනෑම වරයක් ඉල්ලන්නැයි කියා සිටියේ ය. ඔවුන් ඉල්ලා සිටියේ බුදුන්ට උපස්ථාන කරන්නට වරයක් දෙන ලෙසයි. එය හැර වෙනත් වරයක් ඉල්ලන්නැයි කීය. එහෙත් දරුවෝ එයම ඉල්ලා සිටියහ.

බේරෙන්නට නොහැකි වූ විට කොපමණ කාලයකට දැයි විමසීය. සත් අවුරුද්දක් යැයි දරුවෝ කීහ. රජතුමා එයට අකැමැති විය. පසුව එය සය වසක්, පස් වසක්, සිව් වසක්, තුන් වසක් යනාදී වශයෙන් අඩුකොට අවසන් තුන් මාසයකට පමණක් ලබා දුන්නේ ය.

සතුටට පත් දරුවෝ එම තුන්මස භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැතිව වස් කාලයක ආරාම ආදිය පිළියෙළ කොට වස් වසන්නට ආරාධනා කළහ. බුදුපාමොක් මහ සඟන එහි වැඩමවා වස් ඉටා ගත්හ. රජ දරුවෝ දහසක් පුරුෂයන් සමඟ කහවතින් ම සැරසී උපස්ථාන කළහ.

මෙම පිරිසෙහි භාණ්ඩාගාරික වූ එක් පුරුෂයෙක් බොහෝ ශ්‍රද්ධාසම්පන්න විය. බුදුපාමොක් මහ සඟනට සකසා දන් පිදුවේ ය. එක් දවසක් මෙම පුරුෂයා මහත් ශ්‍රද්ධාවෙන් සකසා යැවූ දාන වස්තුව අතරමඟ දී ශ්‍රද්ධා නැති පිරිසක් උදුරාගෙන ඔවුහු අනුභව කළාහු ය. අශ්‍රද්ධාවත් එම පුරුෂයෝ මහදන් උදුරා අනුභව කළ හෙයින් මරණින් මතු නරකයෙහි උපන්හ. අනතුරුව නිරයෙන් නිරයට ම ඔවුහු ගමන් කළහ.

නැවත මෙම භද්‍ර කල්පයෙහි කාශ්‍යප බුදුහිමියන් කාලයෙහි ප්‍රේත අපායෙහි උපන්හ. කසුප් බුදුන් වෙතට පැමිණි මෙම ප්‍රේතයෝ තමන් නිදහස් කරන්නැයි ඉල්ලූහ. එහෙත් විපාකය නිමා නොවූ හෙයින් උන්වහන්සේ වදාළේ මතු ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වන බවත්, එතෙක් විපාකය විඳිය යුතු බවත් ය. එම බුදුන් සමයෙහි පින් අනුමෝදන් ව ප්‍රේත බවින් මිදිය හැකි වන බවයි. ඒ අනුව අප ගෞතම බුදුපියාණන් ලොව පහළ වූ සමයෙහි පෙර ඵුස්ස බුදුහට උපස්ථාන කළ රජ පුත් තිදෙනා දෙව්ලොව සැප විඳිමින් සිට එයින් චුතව දහසක් පුරුෂයන් සමඟ ජටිලයන් ව උපන. ඵුස්ස බුදුන්ට ආරාම පිළියෙළ කොට පිදූ පුරුෂයා බිම්සර රජු ව ඉපදුණි. දානය දුන් කළමනාකරුවා විශාඛව සිටු ලෙස ඉපදුණි. ඔහුගේ බිරිඳ ධම්මදින්නා සිටු දියණිය විය. සෙසු පිරිස බිම්සර රජ පිරිස බවට පත්ව උපන්හ.

එ සමයෙහි ගෞතම බුදුපියාණන් සම්මා සම්බුද්ධත්වයට පත්ව රජගහනුවර බිම්සර රජු බැහැදකින්නට වැඩි ගමනේ දී එම රජු වේළුවනාරාමය සකසා බුදුහිමියන්ට පිදීය. අනතුරුව රජ මැදුරට බුදුපාමොක් මහ සඟන වැඩමවා රජතුමා මහදන් පිළිගැන්වීය.

එහිදී යටකී ප්‍රේතයෝ දැන් රජතුමා අප හට පින් දී අප නිදහස් කරනු ඇතැයි සිතා මාලිගය වට කොට සිටියාහු ය. එහෙත් රජතුමා ඥාති ප්‍රේතයිනට පින් අනුමෝදන් නොකළ හෙයින් අසතුටු වූ ප්‍රේතයෝ රාත්‍රී රජමැදුරේ ඉතා බියකරු ශබ්ද නැංවූහ.

රජතුමා මහත් බියට ද, සන්ත්‍රාසයට ද, සංවේගයට ද පැමිණ පසුදා පහන් වූ සැණින් බුදුපියාණන් වහන්සේ හමුව එපුවත් සැල කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ

“මහරජ බිය නොව. තොපට මෙයින් කිසිදු නපුරක් නොවන්නේ ය. තොපට යහපතක් වන්නේ ය. තොපගේ පුරාණ ඥාතීහු පේ‍්‍රත ලෝකයේ ඉපිද සිටිති. එම ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලේ තොපගෙන් පින් ප්‍රාර්ථනා කරමින් ආවාහු වෙති. තොප විසින් ඊයේ මාලිගයේ දී ඔවුනට පින් නොදුන් බැවින් අසතුටු ව එබඳු වූ ශබ්දයක් කරන්නට ඇත.” යනාදී වශයෙන් බුදුපියාණෝ රජතුමාට කරුණු පැහැදිලි කළහ.

අනතුරුව රජතුමා දෙවන දිනයේ ද බුදුපාමොක් මහසඟන රජ මැදුරට වැඩමවා මහ දන් පිළිගන්වීය. ඥාති ප්‍රේතයෝ ද අද දිනයේදී හෝ රජතුමා තමන් සිහිකර පින් දෙනු ඇතැයි මැදුර පිරිවරා ගත්හ. සියලුම ප්‍රේතයනට රජතුමාගේ ඇස් හමුවෙහි පෙනී සිටින්නට සැලැස්වූ බුදුපියාණන් වහන්සේ ඔවුන් සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා'යි අනුමෝදනා දහම් දෙසූහ. එකණෙහි ම ඔවුහු ප්‍රේතාත්මවලින් නිදහස් වූහ. සෙනසුන්, වස්ත්‍ර, ආහාරපාන සියල්ල පූජා කළ පිනෙන් එම අනුමෝදන් වූ ප්‍රේතයෝ ද නිවාස, ඇඳුම්, පැලඳුම්, ආහාර පානාදිය නොඅඩුව ලදහ.

අනතුරුව බුදුපියාණෝ බිම්සර රජ හට මෙම තිරෝකුඩ්ඪ ප්‍රේත වස්තුව දේශනා කළහ.

තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති
සන්දිසිංඝාට කෙසු ච
ද්වාරබාහාසු තිට්ඨනිති
ආගන්ත්වාන සකං ඝරං

ඥාති ප්‍රේතයෝ පෙර විසූ ගමන්වල හෝ පෙර ඥාතීන්ගේ ගමන වෙත පැමිණ, ප්‍රාකාර බිත්ති ආදියෙහි දොරින් පිටත සතර මංසන්ධි, තුන්මංසන්ධි නගර දොරටු ආදිය ඇසුරු කොට වසති.

පහූතෙ අන්නපානම්හි
ඛජ්ජ භෝජ්ජෙ උපට්ඨිතෙ
න තෙසෙං කොචි සරති
සත්තානං කම්ම පච්චයා

බොහෝ ආහාර පාන, කෑම බීම පිළියෙළ කරන තන්හි ද ප්‍රේතයන්ගේ ඥාතීන් හට ඔවුන් සිහිපත් කරන්නට, පින් දෙන්නට, සිහිපත් නොවෙයි. ඒ ප්‍රේතයන්ගේ අකුසල කර්මය හේතුවෙනි.