Print this Article


සෙත් පතන සෙත සදන අසිරිමත් සොළොස්මස්ථාන - 02: මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ

සෙත් පතන සෙත සදන අසිරිමත් සොළොස්මස්ථාන - 02:

මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පවිත්‍ර වන ලද්දා වූ ද, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ දී ම තනන ලද්දා වූ ප්‍රථම චෛත්‍යරාජයාණන් වහන්සේ බව වංශ කථාවල තවදුරටත් සඳහන් වේ

මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඡනං
දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං
තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං
ජේතවනං සේල චේතිං තථාකාචරගාමකං
ඒතේ සොළසඨානානි අහං වන්දාමි මුද්ධනා

අතිපූජනීය වූත් වන්දනීය වූත් සොළොස්මස්ථාන හඳුන්වන ඉහත සඳහන් ගාථාවේ මහියංගණ ථූපය ලක්දිව අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථාන අතර මුදුන් මල්කඩක් ලෙස සැලකීමට හේතු වූයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකාද්වීපයේ මහියංගණයේ මහවැලි නදිය අසබඩ යොදුන් තුනක් දිග් වූත්, යොදුනක් පළල් වූත් මහා නාගවන නම් වූ වනෝද්‍යානයෙහි පැවැත්වුණූ මහා යක්ෂ සමාගම දිවැසින් දැක පළමු වැනි වරට ශ්‍රී ලංකාවට වැඩම කොට දැනට මහියංගණ චෛත්‍යරාජයා පිහිටි ස්ථානයට ඉහළ අහසේ පෙනී සිට නොයෙකුත් ප්‍රාතිහාර්ය පා යක්ෂ ගෝත්‍රිකයන් දමනය කර ඔවුන් ගිරිදිවයිනට යවා මෙම දිවයින ධර්මයෙහි පැවැත්මට සුදුසු ස්ථානයක් බවට පත් කළ හෙයිනි.

බුදුන් වහන්සේගේ එම ප්‍රථම ලංකාගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කොට සෝවාන් මගඵල ලබා ගත් බවත්, එහිදී සමන්තකූඨවාසී සුමන සමන් දෙවි රජ සෝවාන් ඵලයට පත්වූ බවත්, එම අවස්ථාවේ දී සුමන සමන් දෙවියන් පූජා වස්තුවක් ඉල්ලා සිටි බවත්, එහිදී ප්‍රඥා කරුණා දෙකෙහි ම පරම කෝටි ප්‍රාප්ත අමාමෑණි අප තථාගතයන් වහන්සේ හිස පිරිමැද කේශධාතු අත්ලක් සුමන සමන් දෙවියන්ට පිරිනැමූ බවත්, එම සර්වඥ ජීව කේශ ධාතුන් ස්වර්ණමය කරඬුවක තැන්පත් කොට එම ස්ථානයේ ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් සත් රියනක් උස් වූ චෛත්‍යයක් සුමන සමන් දෙව් රජ විසින් තැනවූ බවත්, වංශ කතාවල සඳහන් වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පවිත්‍ර වන ලද්දා වූ ද, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ දී ම තනන ලද්දා වූ ප්‍රථම චෛත්‍යරාජයාණන් වහන්සේ බව වංශ කථාවල තවදුරටත් සඳහන් වේ.

නැවතත් සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සාරීපුත්‍ර තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ සරභූ නම් තෙරුන් වහන්සේ ගී‍්‍රවා ධාතුව (සර්වඥ ශ්‍රී වාස්ථි ධාතුව) ඍද්ධියෙන් මහියංගණයට වැඩමවා අවුත් නිදන්කොට මුල් චෛත්‍යය වට කොට මේදවණ්ණ පාෂාණයෙන් (කිරිගරුඬ) දොළොස් රියනක් උස්වූ දාගැබක් කරවූ බවත්, අනතුරුව දේවානම්පියතිස්ස රජතුමාගේ (ක්‍රි.පූ. 247 -207) සහෝදරයකු වූ උද්ධ චූලාභය රජු එම චෛත්‍යය තිස් රියන් උස් වන සේ විශාල කොට ඉදිකරවූ බවත්, පසුව රුහුණේ කාවන්තිස්ස රජුගේ පුත් දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණුූ මහ රජතුමා (ක්‍රි.පූ. 161 -137) සිංහාසනාරූඪ වීමට පෙර දෙමළුන් හා යුද්ධ කරද්දීත් අසූ රියන් උස් වන සේ මහියංගන චෛත්‍යය සංවර්ධනය කළ බව කියැවේ. දුට්ඨගාමිණී අභය එළාරට විරුද්ධව ප්‍රථම සටන දියත් කළේ මහියංගණයෙහි දී ය. එතුමා එහි සිටි ඡත්ත නම් දෙමළ සෙනවියා පැරදවීය. වෝහාරික තිස්ස රජු (ක්‍රි.පූ. 209 -231) චෛත්‍යය මත ඡත්‍රයක් සවි කළේ ය. මහියංගණ චෛත්‍යය රාජයාණන් වහන්සේ පිළිබඳ ඉහත සඳහන් කාරණා මහාවංශයේ 1. වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ. එනම් “ශත්‍රැමර්දනය කරණශීලි වූ සර්වඥතෙම උරුවෙල් කසුප් නම් ජටිලයාගේ මහායාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය තෙණවූත් අනවතප්ත නම් විල සමීපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරුණුූ පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබළන තැනෙකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යයි ද දන්නා ලදි. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහා නාග වන නම් උයනෙහි යක්ෂයාගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිසාචර සමාගමය ප්‍රසිද්ධ විය.

ඒ මහා යක්ෂ සමාගමට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගණය ථූපයාගේ ස්ථානයෙහි අහස් කුස වැඩ සිටි සේක්. ඔවුන්ට භය ජනක වූ වර්ෂාවාකාන්ධකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා බයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ බය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහුද? නොම දෙන්නහුද?” “නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බිය ද, ශීත ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියහ. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින මෙහි ළඟා කළ සේක.

උන් එහි වන් කල තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුළූ සේක. එකල්හි දෙවියෝ සර්වඥයන් වහන්සේ කරා පැමිණියෝ ය. ඒ සමාගමෙහි ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේ ය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝ ය.

සමන්තකූඨ පර්වතවාසී වූ මහා සුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාභ¡¡ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය වූ කිසිවක් ඉල්වීය. සත්ත්වයන් කෙරෙහි හිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන්හි කරන ලද්දා වූ අයර්‍මවිතරින් සත් රියන් වූ අවටින් එක් විසිරියන්නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කෙළේ ය. (නැවත) “සව¢ඥයන් වහන්සේ පිරිනිවි කල්හි සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් ඍද්ධි ඇති සරභූ නම් ස්ථවිර තෙම දර සැයෙන් සව¢ඥ ගී‍්‍රවාස්ථිධාතුව සෑයෙන් රැගෙන (මෙහි) ගෙනවුත් එම චෛත්‍යයෙහි තබා භික්ෂූන් විසින් පිරිවරණ ලද්දේ මේදෝ වර්ණ පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දා ගැබක් කරවා වැඩි සේක.

දෙවනපෑතිස් මහරජාණන් සහෝදර උද්ධ චූලාභය නම් කුමාරතෙම අද්භූත වූ ඒ චෛත්‍යය දැක වස්වා තිස් රියන් උස්වූ චෛත්‍යයක් කරවීය. එහි සිට දෙමළුන් මඩනා දුටුගැමුණු රජතෙම ඊට අසූ රියන් කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඒ මේ මහියංගණ ථූපය තෙම මෙසේ පිහිටියේ ය. නිර්විකාර ප්‍රඥාසම්පන්න මහත් වීර පරාක්‍රම ඇති ධර්මයට ඊශ්වර වූ සර්වඥයන් වහන්සේ මෙසේ මේ ද්වීපය මනුෂ්‍යයන්ට යෝග්‍ය කොට උරුවෙල් දනව්වට වැඩි සේක. මහියංගණ කතා නිමි.

ලංකාය යත්ථ පඨමං සුගතො නිසජ්ජ
යක්ඛෙ දමෙසි නිජ්සාසන පාලනාය
ඨානෙ තහිං නිහිතකුන්තලගීව ධාතුං
වන්දාමි සාධු මහියංගණ ථූපාරාජං

බුදුරජාණන් වහන්සේ ශාසනය රක්ෂා කරනු පිණිස පළමුකොට ලක්දිව යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක් ද එතැන කේශධාතු වහන්සේ හා ගී‍්‍රවාධාතු වහන්සේ නිදන්කොට කරන ලද මහියංගණ චෛත්‍යය රාජයා වඳිමි. පැරැණි වන්දනා ගාථා පොතක සඳන් වන මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කරන එම ගාථාවේ දී මෙම අතිපූජනීය පින්බිම පිළිබඳ තොරතුරු තව දුරටත් සඳහන්ව ඇත.