Print this Article


චීවරයක කතාවක්

චීවරයක කතාවක්

පාචීනඛණ්ඩය හෙවත් පැදුම්කඩදොර නමින් ප්‍රසිද්ධ විහාරයක් අතීතයේ හෙළදිව තිබුණා. මේ විහාරයේ වැඩ සිටියා පාංශුකූල චීවර දරන භික්ෂුවක්. පැවිදි වුණ දවසේ ඉදලා චීවර සකසා ගත්තේ පාංශුකූල රෙදිවලින්. දවසක් මේ තෙරුන්වහන්සේට හිතුණා සෑගිරියේ මහා දාගැබ වන්දනා කර ගන්න. පැදුම්කඩදොර විහාරයෙන් පාන්දරින් ම පිටත් වුණා.

දවස ගෙවී යනවාත් එක්කම තෙරුන් වහන්සේට පුළුවන් වුණා සෑගිරි විහාරයට යන්න. එදා රාති‍්‍රයේ විහාරයේ වැඩ සිට පසුදා මහාදාගැබ වන්දනා කර ගත්තා. තෙරුන් වහන්සේ දරන පාංශුකූල චීවරය බොහොම පරණයි. පෙරවීමට නොහැකි තරම් දිරාපත් වෙලා. සිදුරු ඇතිවෙලා, කුඩා කැබලි විදිහට විටින් විට බිමට වැටෙන තරම් පරණයි. බොහෝ කලක් පාංශුකූල රෙදිකඩක් සෙව්වත් හමුවුණේ නෑ.

මේ නිසා තෙරුන් වහන්සේ ‘සෑගිරියට ලැබුණ සිවුරු පිරිකර ප්‍රමාණයටත් වඩා තියන නිසා එකක් ඉල්ලා ගන්න පුළුවන්. ඉල්ලලා බලන්න ඕන’යන අදහසින් භික්ෂූන් වහන්සේ වෙත වැඩම කළත් චීවරයක් ඉල්ලා ගන්න තමන් වහන්සේගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ මොහොතේ ම අදහස අත්හැර දැම්මා.

සෑගිරියේ සංඝස්ථවිරයන් වහන්සේට වන්දනා කරලා පිණ්ඩපාතය වළදලා සවස් යාමයේ පිටත් වුණා. ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කර ගන්න. එදිනත් බොහෝ සවස් වුණා. ඒ නිසා මහා විහාරයේ නවාතැන් ගත්තා. උන්වහන්සේට රාති‍්‍රයේ දී කල්පනා වුණා ‘අපරාදේ සෑගිරියේ භික්ෂූන් වහන්සේගෙන් චීවරයක් ඉල්ලා ගන්නයි තිබුණේ. ඉල්ලුවා නම් සිවුරක් නො දී ඉන්න එකක් නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ, මහා විහාරයේ තෙරුන් වහන්සේගෙන් හෝ සිවුරක් හෙට ඉල්ලා ගන්නවා’යි කියලා හිතලා එදින සැතපුණා. උදෑසන අවදිවෙලා, මළුපෙත් මං අමදලා, උදේ පිණ්ඩපාතය වළදලා මහාබෝධීන් වහන්සේ වන්දනා කරන්න පිටත් වුණා. මහාබෝධියට ප්‍රවේශ වන දොරටුව ළඟට යනකොට ම රාති‍්‍රයේ ඇතිකර ගත්ත අදහස අපිරිසුදු එකක් යැයි කල්පනා කරලා ඒ අදහසත් අත්හැර දැම්මා.

පසු දින පැනඹමලුව නමින් ප්‍රසිද්ධ විහාරයට වැඩම කළා. එදින රාති‍්‍රයේත් සිවුරක් විහාරවාසී ප්‍රධාන තෙරුන්ගෙන් ඉල්ලා ගැනීමට සිතක් පහළ වුණා. ඒත් උදෑසන වන විට අදහස වෙනස් කර ගත්තා.

ඊළග දවසේ තවත් ප්‍රධාන තෙරුන් වහන්සේ නමක් සමඟ පිටත් වුණා මහාසෑය වන්දනා කර ගන්න. තමන් වහන්සේට පහළ වුණ අදහස් සියල්ල ම පාහේ අනෙක් තෙරුන් වහන්සේට කියමින් තමයි ගමන් කළේ. ඒ අවස්ථාවේ අනෙක් තෙරුන් වහන්සේ හිතනවා

‘අපොයි, මේ භික්ෂුවට එක අරමුණක් නෑ. විතර්කය පිරුණු හිතක් තියෙන්නේ.මේ වගේ අයට නිවන් දකින්න නම් අමාරුයි’ කියලා. මෙහෙම කල්පනා කරමින් දෙදෙනා වහන්සේ ම ගමනේ යෙදුණා. පසු දින රාති‍්‍රයේ රෝගී මිනිසකුගේ මලපහ පිස දමා ඉවත දැමූ වස්ත්‍රයක් පාර අයිනේ කසළ ගොඩකට විසී කර තිබුණා. පාංශූකූලික තෙරුන් වහන්සේ එය දැකලා එක්වරම එතැන නතර වුණා. තව තවත් ළං වෙලා බැලුවා. හිතට බොහොම සතුටක් දැනුණා. වහාම දෑත් දොහොත් මුදුනේ තබා වන්දනා කළා.

අනෙක් තෙරුන් වහන්සේ මහා පුදුමයෙන් ඒ දිහා බලා ඉදලා ‘පින්වත් තෙරුන් වහන්ස, ඔබ වහන්සේ මේ වන්දනා කරන්නේ නිලමැස්සන් පිරුණු කසළ ගොඩකට. මෙසේ වන්දනා කරන්නේ කුමක් නිසාද?යි ප්‍රශ්න කර සිටියා. උන්වහන්සේ එයට පිළිතුරු දෙමින්

‘ස්වාමිනි, මහ තෙරුන් වහන්ස, මම කසළ ගොඩ වැන්දේ නෑ. පුණ්ණදාසියගේ මළසිරුර ඔතලා තිබුණු වස්ත්‍රයේ නැළි හතරක් පමණ පණුවන් පිරී සිටිය කතා පුවත ඔබ වහන්සේට මතක නැද්ද? අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පණුවන් ඔක්කොම ගසා දමලා ඒ වස්ත්‍රය අරගත්තා. එවැනි උතුමන් වහන්සේ කෙනෙකුගේ ශාසනයේයි මම පැවිදි වෙලා ඉන්නේ. මම මහණ වුණ දවසේ ඉඳලා පාංශුකූල චීවර දරන භික්ෂුවක්. මේ අවස්ථාව මට උදා වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා. උන්වහන්සේ උදෙසා'යි මම නමස්කාර කළේ යැ’යි පිළිතුරු දීලා එතැන ම වැඩ සිට විදර්ශනා භාවනා වඩලා අනාගාමීඵලයට පත් වුණා.

එම වස්ත්‍රයත් අරගෙන පැදුම්කඩදොර විහාරයට නැවතත් වැඩම කරලා වස්ත්‍රය පිරිසුදු කර ගත්තා. වස්ත්‍රය චීවරයකට උචිත අයුරින් කඩ කපලා මහලා පඩු පොවලා පොරවාගෙන නැවතත් විදර්ශනා භාවනාවට එළැඹුණා.

ඒ අවස්ථාවේ උන්වහන්සේ නැවතත් නැගිට්ටේ අරහත් ඵලය ලබාගෙනයි කියලා කතා පුවතක් අංගුත්තර අටුවාවේ චතුක්කනිපාත වණ්ණනාවේ සඳහන් වෙනවා. පංශුකූල වත ආරක්ෂා කර ගත් උන්වහන්සේ පිරිසුදු, නව වස්ත්‍ර කෙරෙහි ආශා නො උපදවා නිවන ලබා ගත්තා.

තමන්ගේ සිතිවිලිවලට ඉඩ දී අලුත් සිවුරක් එක විහාරයකින් හෝ ඉල්ලා ගත්තා නම් එයට සිත ඇදී ගිහින් භාවනාව මඟ හැරෙන්න ඉඩ තිබුණා. ඒ නිසා සිත පවසන දෙයට වඩා බුද්ධිමත් ව, නිවනට ළඟාවීමට වැදගත් වන අදහස් ම, නිතර ම කි‍්‍රයාවේ යෙදවිය යුතු බව මේ කතා පුවතින් අපට පෙන්වා දෙන්වා. තමන්ගේ අරමුණ වෙනුවෙන් ම කටයුතු කිරීම ජයග්‍රහණයට හේතුවන බවත්, මේ කතා පුවත අපට තවදුරටත් පැහැදිලි කර දෙනවා. ජීවිත සාර්ථක කර ගන්න වැදගත් ම උපදේශයක් මේ කතා පුවතින් කියා දෙනවා.