Print this Article


අත්හැරීම දුකට නොව සතුටටයි

අත්හැරීම දුකට නොව සතුටටයි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩවෙසෙන කාලයක ඒ නුවර හිටියා එක තාත්තා කෙනෙක්. හදිසියේම වගේ ඒ තාත්තා ගොඩක් ආදරය කරපු එයාගේ එකම පුතා මරණයට පත් වුණා. ඒ තාත්තාට ඒක දරාගන්න බැරිව ගියා. ඉතින් ඔහු මොකද කළේ? කෑමක් බීමක් ගත්තෙත් නෑ. වැඩක් පලක් කළෙත් නෑ. හැම වෙලාවක ම පුතාගේ සොහොනට ගිහිල්ලා

“මගේ පුතා කොහේද? මගේ පුතා කොහේද? කිය කියා හඬන්න පටන් ගත්තා. ඉතින් ඔහොම සොහොනට යන එන අතරේ දවසක් ඔහුට හිතුනා දෙව්රම් වෙහෙරට යන්න ඕන කියලා. ඔහු ගියා.

ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පැත්තක වාඩි වුණා.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය, ඔබගේ ඉඳුරන් වෙනදා වගේ ප්‍රසන්න නෑ. මොනවා හරි හිතේ පසුතැවිල්ලක් තියෙනවා කියලා. එවිට ඒ තාත්තා කියනවා “බුදුරජාණන් වහන්ස, මගේ ඉඳුරන් කොහොම ප්‍රසන්න වෙන්න ද? මට හිටිය එකම පුතා කලුරිය කළානේ. ඉතින් මට කෑමක් බීමක් ගන්න හිතෙන්නෙත් නෑ. වැඩක් පලක් කරන්න හිතෙන්නෙත් නෑ. මම හැම වෙලාවෙ ම කරන්නේ සොහොනට ගිහිල්ලා අඬන එකයි” කිව්වා.

ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ තාත්තාට බොහොම ලස්සන ධර්ම කාරණාවක් වදාළා.

“පින්වත් ගෘහපතිය, ඒක එහෙම තමයි. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, කියන මේවා හටගන්නේ පි‍්‍රයදේවල්වලින් ම තමයි.” ඒත් ගොඩක් දුකෙන් හිටපු අර තාත්තාට ඒ දහම් කාරණාවේ ඇති ගැඹුරු වැටහුණේ නෑ. ඒනිසා ඔහු බුදුරදුන් වදාළ දහම් කාරණය පිළිගත්තේ නෑ. ඒ වෙනුවට ඔහු මෙහෙම කීවා. “නෑ බුදුරජාණන් වහන්ස, පි‍්‍රයදේවල්වලින් දුක හටගන්නේ නෑ. පි‍්‍රයදේවල්වලින් හටගන්නේ සතුටයි. සොම්නසයි කියලයි මම නම් හිතන්නේ කියා.

ඉහත සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ පිය ජාතික සූත්‍රයෙන් උපුටාගත් කොටසකි. එදා පුතු මළ සොවින් අඬා වැලපුණු පියා තුළින් නිරූපණය වන්නේ සාමාන්‍ය පෘථග්ජනයා පි‍්‍රයදේවල් කෙරෙහි දක්වන සංකල්පයයි. පෘථග්ජන අප ද අර පියා මෙන්ම අප ආදරය කරන යම් පුද්ගලයකු හෝ යම් වස්තුවක් අහිමි වූ විට අඬා වැළපෙනවා නොවේද? එපමණක් නොව අර පියා මෙන්ම අප ද කල්පනා කරනුයේ පි‍්‍රය දේවල්වලින් දුක ශෝකය නොව සතුටට සොම්නසම ඇති වන බවයි. සැබැවින් ම පි‍්‍රය දේවල් තුළ සතුටක් සොම්නසක් නැත්තේම නොවේ. එහි තාවකාලික වූ සතුටක් අන්තර්ගතව පවතී. එහෙත් ඒ තාවකාලික සතුටට යටින් ඊට වඩා විශාල වූ දුක්ඛ ස්වභාවයක් පවතී.

එහෙත් අවාසනාවකට මෙන් පි‍්‍රය දේවල් අභ්‍යන්තරයේ පවත්නා එකී භයානකකම හඳුනාගන්නට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප බොහෝ දෙදෙනකුට නැත. ඒ නිසාම අප ද පි‍්‍රය දේවල් බොහෝමයක් මම මගේ යැයි ග්‍රහණය කරගෙන ඒවා වෙනස් වන විට අඬා වැළපෙනවා නොවේද?

කුදුගත්සඟියේ උදාන පාලියේ තියෙනවා ලස්සන සූත්‍ර දේශනාවක්, ඒ තමයි විශාඛා සූත්‍රය.

ඒ සූත්‍රයට අනුව අපේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩවෙසෙන සමයක දිනක් විශාඛා උපාසිකාව ගොඩක් ආදරය කරපු එයාගේ මිනිබිරියක් කලුරිය කළා. ඉතින් විශාඛාව මිනිබිරියගේ අවසාන කටයුතු ටික හමාර කරලා දිය නාලා තෙත් වූ ඇඳුම් සහ කෙස්වැටිය සහිතව පූර්වාරාමයට ගියා. ඇය ගියේ වෙනදාට වඩා ටිකක් ප්‍රමාද වෙලයි. ඇය බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පසෙක වාඩි වුණා.

බුදුරජාණන් වහන්සේ විශාඛාවගෙන් මෙහෙම ඇසුවා.

උපාසිකාවෙනි, තෙත් වුණු ඇඳුම් හා කෙස් වැටිය සහිතව නුඹ මේ කොහේ ඉඳලාද ආවේ?

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මගේ පි‍්‍රයමනාප මිනිබිරියක් කලුරිය කළා. ඇයගේ අවසන් කටයුතු ටික අවසන් කරලයි මම මේ ආවේ.”

විශාඛාවනි, මේ සැවැත්නුවර යම් තරමක් මිනිස්සු ඉන්නවාදයි ඒ තරමට නුඹට දරුමුණුපුරන් ඉන්නවාට නුඹ කැමති ද?

“භාග්‍යවතුන් වහන්ස, ඒ තරමට මට දරු මුනුබුරන් ඉන්නවා නම් ඒත් මම කැමතියි.”

“විශාඛාවනි, මේ සැවැත්නුවර දවසකට කී දෙනෙක් විතර කලුරිය කරනවාද?”

“බුදුපියාණන් වහන්ස, සමහර දවසක දසදෙනෙක් හත් අට දෙනෙක් ඇතැම් විට එක් කෙනෙක් දෙන්නෙක් හරි කලුරිය කරනවා.”

විශාඛාවෙනි මොකද හිතෙන්නේ ඔබට සැවැත්නුවර මිනිසුන් තරමට දරුමුණුබුරන් හිටියා නම් හැමදාම තෙත වස්ත්‍රවලින් ම සැරසිලා තෙත කෙස් සහිතව ම ඉන්න වේවි නේද?

“බුදුපියාණන් වහන්ස, මට ඒ තරම් බොහෝ දරුමුනුපුරුන් අවශ්‍ය නෑ”

විශාඛාවෙනි, යමකුට පි‍්‍රයවස්තු සීයක් තියෙනවා නම් එයාට දුක් සීයක් තියෙනවා. යමෙකුට පි‍්‍රයවස්තු අනූවක් තියෙනවා නම් එයාට දුක් අනූවක් තියෙනවා. යමෙකුට පි‍්‍රය වස්තු අසූවක් තියෙනවා නම් එයාට දුක් අසූවක් තියෙනවා. යමෙකුට පි‍්‍රය වස්තු හැත්තෑවක්, හැටක්, පණහක් තියෙනවා නම් එයාට දුක් ද ඒ තරමට ම තියෙනවා. යමෙකුට පි‍්‍රයවස්තු එකක් තියෙනවා නම් එයාට එක දුකක් තියෙනවා. යමෙකුට පි‍්‍රයවස්තු නැත්නම් එයාට දුකකුත් නෑ. ඔහු ශෝක නැත්තෙක්. රාගාදී රජස් නැත්තෙක්, උපායාස නැත්තෙක් යැයි මම කියනවා යැයි වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා වටිනා ගැඹුරු උදාන වාක්‍යයක් ද දේශනා කළා.

ලෝකයේ නන්වැදෑරුම් වූ ශෝක, ඇඬුම්, වැළපුම් හා දුක් ඇත් ද ඒ සියල්ල පි‍්‍රය වස්තු නිසා ම, පි‍්‍රය වස්තු හේතු කොටගෙන ම පහළ වෙත්. පි‍්‍රය වස්තුවක් නැති කල්හි ඒවා පහළ නොවෙයි.

ඒ නිසා යමකුට ලොව කිසිම තැනක පි‍්‍රයයෙක් නැත් ද ඔහු සුවැත්තේ ය. පහවූ ශෝක ඇත්තේ ය. එබැවින් ශෝක නැති බව, කෙලෙස් දූළි නැති බව (රහත් බව) කැමති ඇත්තෝ ලොව කිසිවකුටත් පි‍්‍රය බවක් නොකරන්නෝ ය.

මෙකී බුදුවදන් හිතේ තියාගෙන අවබෝධයෙන් යුක්තව පි‍්‍රය දේවල් පරිහරණය කරනවා නම් කොච්චර වටිනවද බලන්න. “ මට ගොඩක් ආදරය කරන මගෙ දරුවෝ, මව්පියෝ, සැමියා, බිරිඳ, නෑදෑයෝ හැමදාම ඉන්න පිරිසක් නොවෙයි. ගේ දොර වතුපිටි, මුදල් හදල් ආදියත් එහෙමයි. ඒවත් විනාශ වෙලා යනවා. ඒ හැමදෙයක් ම ත්‍රිලක්ෂණ ධර්මයට ගොදුරු වෙනවා. මමත්, මම පි‍්‍රයකරන පුද්ගලයන් හා වස්තු අතර ඇත්තේ තාවකාලික බැඳීමක් විතරයි. කොයි වෙලාවේ හරි මට පි‍්‍රයකරන දේවල් මගෙන් වෙන් වෙලා යනවාමයි. නැතිනම් මට ඒ දේවල් අතහැරලා යන්න වෙනවාමයි. කියලා අපි නිතර ම නුවණින් කල්පනා කරලා තියෙනවා නම්, ඒ තැනැත්තා පි‍්‍රය දේවල් අහිමි වුණාම ශෝක කරන්නේ නැහැ. වැලපෙන්නේ නැහැ.” බුදුරජාණන් වහන්සේ වදාළා තමන් කැමැති පුද්ගලයන් එක්ක වුණත් ඕනවට වඩා මිතුරුකම් ගොඩනඟාගන්න එපා කියලා.

එහෙම ඕනවට වඩා යමකුට ඇලුණොත් ඒ අය නොදැක ඉන්න බැරිව යනවා. නොදක ඉන්න එක දුකක් වෙනවා. ඒ නිසා අප දැනගෙන ඉන්න ඕන අප ගොඩක් ආදරය කරන පුද්ගලයන් හා වස්තු කවදා හරි අපට ලොකු දුකක් උරුම කරලා දෙන බව.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පි‍්‍රය දේවල් නිසා දුක් නොවී ඉන්න ක්‍රමයක්. ඒ තමයි කෙලෙස්මලවලින් තොර, ආශා විරහිත, නිවුණ ශාන්ත කෙනෙක් වීම. අන්න එහෙම වුණදාට අප කාටත් ශෝක පරිදේවාදියෙන් තොරව ශාන්තව විසිය හැකියි.

ඒ නිසා කිසි දෙයක් කෙරෙහි ඇල්මක් ඇතිකර ගන්න එපා. පි‍්‍රය – අපි‍්‍රය කිසිත් නැති පුද්ගලයාට උතුම් නිවන සාක්ෂාත් කර ගත හැකි වෙනවා.

- අයන්ති විතාන