මසැසට පෙනෙන ලෝකය මනසින් දකින්න
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම,
ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
දවසක් ආහාර ගත් හාවෙක් බෙලි, තල් ගසින් යුත් වනයක නිදන්නට විය. නින්දට පෙර අහස දෙස
බලන ඔහුට මේ අහස කඩා වැටුණොත්, මේ පොළව පෙරළුණොත් කුමක් වේවි දැයි සිතිවිල්ලක් පහළ
විණි.
මේ සිතිවිල්ලෙන් ම ඌට නින්ද යාගෙන එද්දි බෙලි ගෙඩියක් තල් අත්තකට කඩා වැටිණි. මෙය
විශාල හඬකි. ඌට සිතුණේ අහස කඩා වැටුණ බවකි. පොළව පෙරළී ගිය බවකි. බිය වූ හාවා
දුවන්නට විය.
මේ මොකදැයි, මේ මොකදැයි ඌට මුණ ගැසුණ කැළේ අනෙක් සත්තු විමසූහ. අහස කඩා වැටුණා.
පොළව පෙරළෙනවා, පණ බේරාගන්න දුවනවා, අනෙක් සත්තු මෙය අසා ඒ ගැන විමසීමකින් තොරව
දුවන්නට වූහ. හාවෝ, මුගටියෝ, මුවෝ, ගොන්නු, මී හරක්, අලි ඇත්තු මේ ආදි සියලු සත්තු
දිවූහ. වනයෙහි කලබලයක් විය.
මේ කලබලය දුටු සිංහයා කවර කලබලයක් දැයි ඔවුන්ගෙන් විමසී ය. එවිට අහවලා මෙසේ කීවා. ඒ
නිසා දුවනවා. සත්තු පිළිතුරු දුන් හ. අවසානයට මේ හාවා හමු විණි. ඌ ද තමා ලද
අත්දැකීම කීවේ ය. සිංහයා ඌ හා අනෙක් සතුන් හා එක්ව එතැනට ගොස් විමසා බලා බෙලි
ගෙඩියක් තල් අත්තකට වැටුණ අවස්ථාව පෙන්වා, එය බිය විය යුතු කාරණයක් නොවන බව
දැන්වීය.
පන්සිය පනස් ජාතක පොතෙහි එන දද්දභ ජාතකය තුළ දක්නට ලැබෙන මේ කතන්දරය තුළ විමසා බලා
කටයුතු කිරීම තුළින් කලබල නතර වෙන බව නිදර්ශනය කරයි.
මෙවන් කරුණක් පූර්විකාව වශයෙන් ගත්තේ විමසා බලා කටයුතු නොකිරීම නිසා ඇතිවන අනවශ්‍ය
කලබල හා හානි පාඩු අප සමාජය තුළත් දක්නට ලැබෙන බැවිනි. අප කලබල කරන උණුසුම් වාර්තා
විටින් විට අප සමාජය තුළ ඇති වෙයි. මෑත දී ඇති වූ කලබලය නම් චැනල් ෆෝ වාර්තා
චිත්‍රපටය යි.
දේශපාලනය තුළ පමණක් නොව විවිධ ආගමික සිදුවීම්, සමාජ සංස්කෘතික සිදුවීම් අරභයා අප
කලබලයට පත් වන අවස්ථා බොහෝ වෙති.
සසුන තුළ ද මෙවන් උණුසුම් රැළි මතු වෙයි. කෙනෙක් බුදු උපත ලක් දිව යැයි කියති. තව
කෙනෙක් එය ඉන්දියාවේ සිදු වූ බව කියති. කෙනෙක් අපාය, දිව්‍ය ලෝකය මේ මිනිස් ලොවම
ඇති බව කියති. තව කෙනෙක් එය ප්‍රතික්ෂේප කරති. තව කෙනෙක් පුද පූජා අගයති. තව කෙනෙක්
ඒවාට ගරහති. මේ රැලිවලට හසුව ඔවුන් පසු පස යන බොහෝ පිරිසක් වෙසෙති. මේ දෘෂ්ටිවාදයන්
බව ඔවුහු නොදනිති. උච්ඡේදවාදය, සර්වාස්තිවාදය, අකිරියවාදය, දස මිථ්‍යා දෘෂ්ටිය ආදි
වු සියලු දෘෂ්ටිවාද මේ තුළ දක්නට ලැබෙයි. මේ නිසා උසස් මිනිස් භව අනර්ථ කර ගනියි.
පරලොව අනර්ථ කර ගනියි. සසරින් එතෙර වීමක් නොව සසර නතර වී දුකින් දුකට පත් වෙයි.
විමසා බලා කටයුතු නොකොට, මුළාව කටයුතු කරන අවස්ථා අප සමාජය තුළ බොහෝ දක්නට ලැබෙයි.
ලාංකීය සමාජ සංස්කෘතිය තුළ බොහෝ දුරට අන්ධ අනුකරණය දක්නට ලැබෙයි. ගෙයක් දොරක්
හැදුවත්, ඊට උපකරණ ගත්තත්, යාන වාහන ගත්තත් විමසීමකින් තොරව අන් අය කරන නිසා කරන
බවක් දක්නට ලැබෙයි.
මෙලොව දිනිය හැකි, පරලොව දිනිය හැකි, නිවනින් සැනසිය හැකි, කදිම චර්යාවකි, විමසා
බලා කටයුතු කිරීම.
වණ්ණුපථ ජාතකයෙහි නිරුදක කතරක අතරමං වූ සාත්තු නායකයා දිය ලබා ගත්තේ විමසා බැලීම
නිසයි. ඔහු අනෙක් අය මෙන් නොපෙනෙන දෙවියකුට යාඥා කළේ නැත. නොපෙනෙන වෙනත් බලවේග
විශ්වාස කළේ නැත. තමන්ගේ ස්වාමියා තමන්, තමන්ට යමක් කර ගත හැක්කේ තමන් තුළින් යන
හැඟීම් ඇති කොට ගෙන කාන්තාරයට බැස විමසා බැලී ය. විමසා බලන ඔහුගේ නෙතට තණ පඳුර
දකින්නට ලැබිණි. ප්‍රඥාවන්ත ඔහු මෙතැන ජලය ඇතැයි එතැන කනින්නට විය. කැන බලද්දී එතැන
පතුලේ ගලකි. වීර්යය නිසා ඒ ගල ද බිඳ ජලය ලබා ගත්තේ ය. මෙහි පළමු පියවර විමසා
බැලීමයි. නිසම්මකාරි ගුණය ජයග්‍රහණයට හේතුවක් බව ධම්මපදට්ඨකථාවෙහි කුම්භඝෝෂක
කථාවස්තුව තුළ ද දක්නට ලැබේ. වර්තමානයේ වුවත් විමසා බලා තීන්දු තීරණ ගනී නම්, ඒ
තුළින් උසස් ප්‍රතිඵල ලැබි ය හැකි ය. විමසීමකින් තොරව ගන්නා තීන්දු තීරණ පදනම් කොට
ගෙන විවිධ ආයතන තුළ, විවිධ පුද්ගලයන් අතර විවිධ කලබල ගොඩනැඟෙයි. විමසා බලා කටයුතු
නොකිරීම කේළම්වලට අවස්ථාවකි. බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හි විමසා බලා
කටයුතු කිරීමේ අගය පැහැදිලි කොට ඇත. විමංසක, කාලාම, සන්දක, චේතෝඛිල ආදි සූත්‍ර
දේශනා කිහිපයක ම විමසා බලා කටයුතු කිරීමේ අගය දක්වයි.
මාඅනුස්සවේන(අනුශ්‍රැතියෙන් හෙවත් ඇසූ පමණින් යමක් නොපිළිගන්න)මා පරම්පරාය
(පරපුරෙන් පරපුරට පිළිගෙන පැමිණි පමණින් ම යමක් නොපිළිගන්න)මා ඉතිකිරාය (මෙය මෙසේ
යැයි මිනිසුන් අතර පැතිර පවතින පමණින් යමක් නොපිළිගන්න)මා පිටකසම්පදානෙන (ආගමික
ග්‍රන්ථවල සඳහන් වූ පමණින් යමක් නොපිළිගන්න)මා තක්කහේතු (තර්කයට එකඟ වූ පමණින් යමක්
නොපිළිගන්න)මා නයහේතු (කිසියම් න්‍යායකට ගැළපුන පමණින් යමක් නොපිළිගන්න)මා ආකාර
පරිවිතක්කෙන (පෙනෙන හැටියට හරි යැයි ද සිතා යමක් නොපිළිගන්න)මා
දිට්ඨිනිජඣානක්‍ඛත්තියා (තමන් පිළිගෙන ඇති කිසියම් දෘෂ්ටියකට ගැලපෙන නිසා ද යමක්
නොපිළිගන්න)මා භබ්බරූපතාය (කියන පුද්ගලයාගේ යහපත්කම ගැන සලකා ද යමක් නොපිළිගන්න )මා
සමණො නො ගරු (මේ අපේ ගුරුතුමා යැයි ද සිතා යමක් නොපිළිගන්න) කාලාම සූත්‍රයේ දී
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති.
යමක් පිළිගත යුත්තේ කෙසේ ද යන්න ධර්මයේ ගුණ තුළ දක්නට ලැබෙයි. පච්චත්තං වේදිතබ්බො
විඤ්ඤූහීති තම නැණ තුළින් පරීක්ෂා කොට යමක් ධර්මයට ගැළපේ ද, විනයට ගැළපේ ද එය
පිළිපදින්න යැයි උන්වහන්සේ දේශනා කරති.
විමංසක සූත්‍රයේ දී උන්වහන්සේ දුටු දේ, ඇසූ දේ පමණක් පිළිගන්නා ලෙස දක්වති.
ඇස්වලින් බලා, කන්වලින් අසා තමන්ට ප්‍රත්‍යක්ෂ නම් එය පිළිගන්නා ලෙස දක්වති.
බුදු රජාණන් වහන්සේ පළමුව කියන්නේ තමා විමසන ලෙසයි. භද්දවග්ගිය කුමාරවරු
තිස්දෙනාගෙන් උන්වහන්සේ විමසන්නේ වඩාත් වැදගත් වන්නේ තමා ගැන සෙවීම ද ගැහැනියක ගැන
සෙවීම ද යන්නයි. එසේනම් පළමුව තමන්ගේ කාය සමාචාරයන්, වාක් සමාචාරයන් විමසිය යුතුයි.
එය ධර්මයට විනයට ගැළපේ නම් එය අනුගමනය කිරීම හා නොගැළපේ නම් එය සකස් කර ගැනීම සිදු
කළ යුතු බව උන්වහන්සේ දක්වති. මේ විමසීම නිතර නිතර කිරීමේ වැදගත්කම උන්වහන්සේ
දක්වති. අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං යන්නෙන් අදහස් කරන්නේ එයයි. අනතුරුව අන් අයගේ කාය
වචී සමාචාරයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එවිට සත්‍යය දැක්ක හැකි වෙයි. සත්‍ය
දැක පිළිපදිනවා විනා. මඟ හොඳට තිබේ නම් දෑස ද පෙනේ නම්, කිම බැදිවල යන්නේ මං මුළා
වූවන් සේ යන්නෙන් අපට පැහැදිලි කරන්නේ එයයි. නිවැරැදිව බුද්ධ, ධම්ම, සංඝ හඳුනා
ගන්නට, පින පව හඳුනා ගන්නට ඒ පිළිබඳ විමසුමක නිරත විය යුතු බව විමංසන සූත්‍රය තුළ
දක්වයි.
චේතෝඛිල, සන්දක ආදි සූත්‍ර දේශනා තුළ දක්වන්නේ විමසීමක් නොමැති වූ කල අප තුළ
විචිකිච්චා හෙවත් සැකය ගොඩනැඟෙන බවත් ඒ සැකය නිසා විවිධ මිත්‍යා ඇදහිලි විශ්වාසවල
නිරත වී, කම් සැපට ලොල් වී, රූපයට ලොල් වී සිත දූෂ්‍ය කොට ගෙන සසර ගමන දිගු කර
ගන්නා බවයි.
විමර්ශනය පිළිබඳ ක්‍රමවේදය දක්වා ඇත්තේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළයි. තමන්ගේ
කය විමසීම කායානුපස්සනා, තමන් විඳින දේ විමසීම, වේදනානුපස්සනා, තමන්ගේ සිත විමසීම,
චිත්තානු පස්සනා, ධර්මය විමසීම ධම්මානුපස්නා ලෙස දක්වා ඇත්තේ එයයි.
එසේ හෙයින් සුපින්වත හාවුන්ගේ බසට මුළා වී කලබල නොවෙමු. කලබල නොවෙමු. නොමඟ නොයමු.
සසර මග දිගු නොකර ගනිමු. සිංහයකු සේ විමසා බලා කරුණු දැන නිසි සේ කටයුතු කොට මෙලොව
දියුණුව ලබමු. පරලොව දියුණුව ලබමු. නිවනින් සැනසීම ලබා ගනිමු. |