Print this Article


 බුදුසරණ මෙත්සිත් අරණ යූටියුබ් නාලිකාවට සහ මුහුණු පොතට පින්වත් ස්වාමීන් වහන්සේ සහ පින්වත් මෑණියන් වහන්සේ ඉදිරිපත් කළ සදහම් දෙසුම් ඇසුරිනි

 බුදුසරණ මෙත්සිත් අරණ යූටියුබ් නාලිකාවට සහ මුහුණු පොතට

පින්වත් ස්වාමීන් වහන්සේ සහ පින්වත් මෑණියන් වහන්සේ ඉදිරිපත් කළ සදහම් දෙසුම් ඇසුරිනි

ලද අවස්ථාවේ ම පින් පුරවා ගන්න

ඔබට මේ ජීවිතයේ පින් කරන්න අවස්ථාවක් ලැබෙනවා. දන් දෙන්න. සිල් රකින්න. අන් අයට උපකාර කරන්න. මේ විදිහට විවිධ පින්කම් කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඔබට තමන්ගේ දෑතින් මේ පින්කම් කරලා පින් රැස් කර ගන්න පුළුවන්.

සමහර වෙලාවට අපට පින් කරන්න අවස්ථාවක් නොලැබුණාට තව කෙනෙක් කරන පිනකට එකතු වෙලා, සහසම්බන්ධවෙලා පින් කරගන්න පුළුවන්.

එහෙමත් නැතිනම් අවස්ථාවක් ලැබෙන්නේ නෑ පින් කරන්න. පිනට දායක වෙන්න අවස්ථාවක් ලැබෙන්නේත් නෑ. නමුත් අපට අහන්න, දකින්න ලැබෙනවා අන් අය කරන පින්කම් ගැන. ඉතින් ඔබට පුළුවන් අන් අය රැස් කරන පින දැකලා තමන් කළා වාගේ සතුටින් අනුමෝදන් වෙන්න.

අන් අය කළ පින තමන් කළා වගේ සතුටින් අනුමෝදන් වීමත් විශාල පිනක්. අනිත් අය කරන පින් අනුමෝදන් වෙලා දෙව්ලොව ඉපදුණ අය බුද්ධ කාලයේ බොහොමයක් සිටියා. මේ ආකාර තුනෙන් ම ඔබට පුළුවන් පින් රැස්කර ගන්න. මේ විදිහට ඔබේ ජීවිතයේ ලද අවස්ථාවේ ම පින් පුරවා ගන්න.

ඔබගේ ශක්තිය අසීමිතයි

බුදුරජාණන් වහන්සේ කාලය බෙදුවා පෙරබත්කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුළුයම්කිස කියලා. උන්වහන්සේගේ බුද්ධ කාලීන ජීවිතය අවුරුදු හතළිස් පහයි. දවස් හැටියට ගත්තොත් දහසය දහස් හාරසිය විසිපහයි. මේ දවස් දහසය දහස් හාරසිය විසිපහ ඇතුළේ තමන් වහන්සේගේ දර්ශනය මෙහෙයවීමේ ප්‍රතිපල හැටියට තමයි මෙවන් සුවිශාල ශාසනයක් නිර්මාණය කරලා, ලෝකය තුළ මේ මහා දර්ශනයක් උන්වහන්සේ ව්‍යාප්ත කළේ.

ඒ නිසා ලැබෙන ශක්තිය ප්‍රයෝජනවත්ව යොදා ගැනීම, ශක්තිය පිළිබඳ සිතා බලා කටයුතු කරන අවස්ථාව සැලසීම, ලැබෙන ශක්තිය ඵලදායීව ප්‍රයෝජනයට ගැනීම කියන කාරණා මත ලෝකය දිනා ගැනීම පහසුයි. ලෝකය දිනපු ඇත්තෝ හැමදාම තමන් ලැබූ ජීවිතය ගැන තෘප්තිමත් වුණා. තමන්ට ලැබුණු නිලතල, බලතල, ආයතන, තනතුරු ඔසවා තබන්න ඔවුන් කටයුතු කළා. ඒ හැමෝ ම එහෙම කළේ ඔවුන්ගේ ශක්තිය හරියට කළමනාකරණය කළ නිසා. ඒ නිසා අපට අප තුළ වන හැම ශක්තියක් ම කළමනාකරණය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට මේ දහම් අවවාදය මහඟු ඖෂධයක් ම වේවා.

ජයග්‍රහණය දක්වා ම උත්සාහය ඕනෑ

ඔබේ ජීවිතයේ ඕනෑම යහපත් දෙයක් කරද්දී සමහරවිට මුලදී එය අසාර්ථක වීමට පුළුවන්. ඔබ අසමත් වෙන්න පුළුවන්. නමුත් ඔබ කවදාවත් හිතින් කඩාවැටෙන්න එපා. උත්සාහය අත්හරින්න එපා. අවසානය දක්වා ම වීර්යය කරන කෙනෙක් වන්න. කවදාවත් මට බෑ කියන තැනට එන්න එපා. දන්නවා ද " ඔබ හිතනවාට වඩා හැකියාවක් ඔබේ ජීවිතය ඇතුළේ තියෙනවා. ඒ නිසා අධෛර්යය වෙන්න එපා. කඩා වැටෙන්න එපා. උත්සාහය අත්හරින්න එපා. ඔබට මොකුත් ම කර ගන්න බැරිවෙන වෙලාවේ පවා වීර්යය නම් අත්හරින්න එපා. අවසානය දක්වා ම, ජයග්‍රහණය දක්වා ම ගන්න උත්සාහය අත්හරින්න එපා. ඔබට උත්සාහයෙන් ම, වීර්යයෙන් ම ජීවිතය දිනන්න පුළුවන්.

ප්‍රශ්න ඉදිරියේ ආවේග නොවෙමු

ඔබ ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණදෙන කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් ප්‍රශ්න නිසා විඳවන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මේ ජීවිතයේ කොයි මොහොතකවත් සැනසිල්ලක් නැහැනේ කියලා. කොතරම් කරදර, ප්‍රශ්න, දුක් පීඩා ආවත් ඔබ කලබල වෙන්න එපා. සංසිඳෙන්න. මේ ජීවිතයේ කොතරම් කලබල වුවත්, ආවේගයට පත් වුවත් ප්‍රශ්නවලට ඒක විසඳුමක් නොවේ. අපේ ජීවිතයේ ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. හැම කෙනාගේම ජීවිතවලට කොයි පැත්තෙන් හරි ප්‍රශ්නයක්, කරදරයක්, දුක් පීඩාවක් තිබෙනවා. ඒ නිසා සංසිඳීමෙන් ඔබේ ජීවිතයේ විසඳුමක් සොයන්න. ප්‍රශ්න හමුවේ සංසිඳීම ඔබව සනසනවා.