Print this Article


බමුණු දහමෙන් අසරණ වූ කුලකත සම්බුදු දහමෙන් සරණ ලැබූ හැටි

බමුණු දහමෙන් අසරණ වූ කුලකත සම්බුදු දහමෙන් සරණ ලැබූ හැටි

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත
මහ පිරිවෙනේ ආචාර්ය,දර්ශනපති,
කනංකේ විජිත නන්ද හිමි

අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ භාරතයෙහි පහළ වන විට කාන්තාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි වග බමුණුූ ආධිපත්‍යය දෙස අවධාරණය යොමු කිරීමෙන් පෙනී යයි. නමුත් බුදු හිමියන් ඒ සියලු ඉගැන්වීම් බැහැර කොට කාන්තාව යනු ඉතා ඉහළ වටිනා චරිතයක් බව දහම මඟින් උගන්වා ඇත.

බමුණන් විසින් වසලියක් ලෙස සැලකූ කාන්තාවට නිසි තැන උදාකර දුන් බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණුූ මඟින් එය ඉතා කදිමට සනාථ කොට ඇත. ඒ අනුව කාන්තාවට බුදුදහම මඟින් හිමි වූ වරප්‍රසාද ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

ගිහි සමාජයෙන් ලැබූ වරප්‍රසාද හා පැවිදි සමාජයෙන් ලැබූ වරප්‍රසාද යනුවෙනි.

ගිහි සමාජයෙන් මවක, ගෘහනියක, සමාජ සේවිකාවක හා උපාසිකාවක ආදී වශයෙන් එම වරප්‍රසාද ඇය විසින් ලබන ලදී.

ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාව මවක් ලෙස ඉතා ප්‍රශංසා මුඛයෙන් අගය කොට ඇති සම්බුදු හිමියෝ ආදර්ශවත් ශාස්තෘවරයකු වශයෙන්, තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් උපත ලැබූ තම මෑණියන්ට අභිධර්මය දේශනා කිරීමට දෙව්ලොවට වැඩම කළහ.

එසේම තම සුළු මව වූ මහා ප්‍රජාපතීගෝතමී දේවියට මෙහෙණි සසුන ඇරැඹීමට අවසර ලබා දී ඇයට “බුද්ධ මාතා” යන ගෞරව නාමය ද පිරිනැමූ බව බෞද්ධ සාහිත්‍යය කරුණු දක්වයි. බුදු දහම මව අගය කරන අවස්ථා බොහෝ ය. මහා මංගල සූත්‍රයේ දී “මාතා පිතූ උපට්ඨානං” යනුවෙන් මව්පිය උපස්ථානය අගය කරන අතර, වසල හා පරාභව සූත්‍රවලදී මව්පිය උපස්ථානය සිදු නොකරන පුද්ගලයා වසලයෙක් හා පිරිහීමට පත්වන අයකු බව පෙන්වා ඇත.

එසේම “මාතා මිත්තං සකාසරේ” මව නිවසේ මිතුරිය ලෙස ද අගය කරන බුදුදහම, සිඟාලෝවාද සූත්‍රයේ දී ද දරුවන් විසින් මව්පියන්ට ඉටු කළ යුතු යුතුකම් 05ක් පෙන්වා දී ඇත. ඒවා නම්,

වයස්ගත මව්පියන් පෝෂණය කිරීම, ඔවුන් රැක බලා ගැනීම, ඔවුන්ගේ දායාද ආරක්ෂා කිරීම, කුල පරපුර රැක ගැනීම හා මියගිය පසු පින්කම් කොට පින්දීමයි.

එසේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් හෙබි මව දරුවන්ගේ මුල් ගුරුවරයා බව ද, ආහුණෙය්‍ය ගුණයෙන් හෙබි ඇය දරුවන් නැමැති ප්‍රජාවට අනුකම්පා කරන බව ද බුදුරදුන් පෙන්වා දී ඇත.

බ්‍රහ්මාති මාතා පිතරෝ – පුබ්බාචරියාති වුච්චරේ

ආහුණෙය්‍යාච පුත්තානං – පජාය අනුකම්පකා

මව මෙන් ම ගෘහණිය ද බුදුදහම මඟින් බොහෝ වරප්‍රසාද ලබා ඇති බව බොහෝ කරුණු අනුව සනාථ කිරීමට හැකි ය. ඒ අනුව ගෘහනියට නිවසේ අධිපතිනිය ලෙස ක්‍රියා කිරීමේ නිදහස ලබා දුන් බුදුහිමියෝ සමාජ සංස්ථාව තුළ දිවිගෙවන සැමියන්ට විවාහයේ දී හමුවන භාර්යාවරු සත් දෙනකු පිළිබඳ “සප්ත භරියා” සූත්‍රයේ දී කරුණු දක්වති.

මාතු භරියා – මවක් වැනි බිරිය,

සඛී භරියා – මිතුරියක් වැනි බිරිය

භගනි භරියා – සොහොයුරියක් වැනි බිරිය,

දාසි භරියා – දාසියක් වැනි බිරිය,

වදක භරියා – වදකාරියක වැනි බිරිය,

චෝර භරියා – සෙරියක් වැනි බිරිය හා

ස්වාමි භරියා – ස්වාමි දියණියක් වැනි බිරියයි

මොවුන් අතර, මාතු, සඛී, භගිනි, දාසි යන භාර්යාවරු බුද්ධ දේශනාවේ දී අගය කොට ඇත. සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු අගනා යුතුකම් 05ක් උගන්වයි.

ගරු කිරීම, අවමන් නොකිරීම, සම්පත් පැවරීම, වස්ත්‍රාභරණ ලබාදීම හා පර ස්ත්‍රීන් කරා නොයෑමයි.

ගිහි සමාජයෙහි වෙසෙන කාන්තාවට සමාජ සේවිකාවක වශයෙන් සියලු වරප්‍රසාද හිමි කර දුන් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වනිතාවක – සමාජ සේවිකාවක ලෙස අගය කිරීමේ දී ඔවුන්ගේ ගුණ මෙසේ අගය කොට ඇත.

පති පූජිකා – ස්වාමියා සතුටු කරවන,

කුල නන්දනී – කුලය දූෂණය නොකරන,

ධම්ම චාරිනී – දහම අනුව හැසිරෙන,

ජන රංජනී – ජනතාව සතුටු කරන

වර අංගනී – සියලු කාන්තාවන්ට උතුම්වන යනුවෙනි.

මේ අයුරින් කාන්තාව ඇගැයීමේ දී උපාසිකාවට ද ප්‍රධාන තැනක් බුදුදහම ලබා දෙයි. උපාසිකාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය තැනැත්තියයි. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වන ඔවුන් අතර, බුද්ධ කාලයේ දිවිගෙවූ බුදුරදුන්ගේ අග්‍රදායිකාව වන විශාඛාව ද, සාමාවතී, සුමනා, බන්ධුල මල්ලිකා ආදි උපාසිකාවන් ද මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් පසක් කර ගැනීම මඟින් බුදු සමය උපාසිකාව කොතරම් දුරට අගය කරන්නේ ද යන්න පැහැදිලි වෙයි.

ගිහි සමාජයෙන් මෙන් ම පැවිදි සාමජය මඟින් ද ඒ ඒ සුදුසුකම් පරිදි තනතුරු පිරිනමා ඇත. ඒ අනුව

චිරරාත්‍රඥ භික්ෂුණිය – මහාප්‍රජාපතී ගෝතමී තෙරණිය

අභිඤ්ඤාලාභී භික්ෂුණිය – භද්දකච්චායනා තෙරණිය

ඍද්ධිමත් භික්ෂුණිය – උප්පලවන්නා තෙරණිය

ධූතාංගධාරි භික්ෂුණිය – පටාචාරා තෙරණිය

ධර්ම කථික භික්ෂුණිය – ධම්මදින්නා තෙරණිය

ආදී තෙරණින් වහන්සේ උදාහරණ ලෙස පෙන්වා දිය හැකි ය.

මෙතෙක් ලොව පහළ වූ උත්තරීතර ශෘස්තාවරයාණන් වහන්සේ වන අප ගෞතම බුදුපියාණන් වහන්සේ සමාජ ප්‍රගමනයට සුවිශාල මෙහෙවරක් සිදු කරන කාන්තාවට නිසි ගෞරවය ලබාදී ඇති අන්දම ද, එමඟින් නූතන කාන්තාව ද ජාති, කුල, ආගම්, චර්ණ භේදවලින් තොරව උන්වහන්සේ ලබා දුන් වරප්‍රසාද අනුව දිවි ගෙවන බව ද පැහැදිලි ය.