Print this Article


අදීන ජාතියක් උදෙසා නිසි මඟ හෙළි කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ

අදීන ජාතියක් උදෙසා නිසි මඟ හෙළි කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ

යුගයේ අවශ්‍යතාවන් ඉටුකිරීම උදෙසා යුගකාරක පුරුෂයන් ලොවට අවශ්‍ය අවස්ථාවල දී බිහිකිරීම ස්වභාවික න්‍යායයි. මෙරට පමණක් නොව ලෝක ඉතිහාසයෙන් ද මේ බව මොනවට සනාථ කොට ඇත. අපේ මව්බිම සියවස් කිහිපයක් විදේශීය ආක්‍රමණයන්ට යටත්ව පැවති නිසා සිංහල සලකුණ යටපත් වී ජාතික චින්තනය මොට වී සාරධර්ම සෝදාපාළුවකට ලක්ව තිබූ අවධියක ජාතියේ පිනට මෙන් ජාතික චින්තනයේ පුරෝගාමියා වූ අනගාරික ධර්මපාලතුමාගේ පහළවීම සිදුවිය.

1864 සැප්තැම්බර් මස 17 වැනි දින මුදලි දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා හේවාවිතාරණ යන මවුපියන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය ලෙස උපන් මෙතුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස නම් තැබිණ.

මේ බෞද්ධ ප්‍රභූ කුටුම්බයේ අනුශාසකයන් වූයේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා ධර්ම ශාස්ත්‍රීය ආලෝකය යළි පැතිර වූ පණ්ඩිත හික්කඩුවේ සුමංගල ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණෝ ය. උන්වහන්සේගේ දූරදර්ශී බුද්ධිමත් අවවාද අනුශාසනා ද සිය ආදර්ශවත් මව්පිය යුවළගේ මඟ පෙන්වීම ද ළමා වියේ ධර්මපාලතුමා ලද ශ්‍රේෂ්ඨ දායාද විය.

මෙරට ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ මෙතුමා කොළඹ රාජකීය විදුහලේ ශිල්ප ශාස්ත්‍රය හදාරා නිම කළ ද බුද්ධාගම, සිංහල හා පාලි භාෂා ගැන තිබූ ඇල්ම අත් නොහැරියේ ය. ඒ නිසාම විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයන් වහන්සේ ඇසුරින් සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් ත්‍රිපිටක ධර්මය ද මැනවින් හදාරන්නට අවස්ථාව ලැබිණි. නිරන්තරයෙන් ම පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දැක්වූ ධර්මපාලතුමා ඒ නිසාම ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි භාෂාවන් ද ප්‍රගුණ කර ගත්තේ ය.

දිවියෙහි හැරවුම් ලක්ෂය

ධර්මපාලතුමා උපත ලබන වකවානුව වන විට ඉංගී‍්‍රසීන් විසින් 1815 දී ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50ට ආසන්න ය. පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි යන යටත්විජිතවාදීන්ගේ බලපෑමට වසර ගණනාවක් නතුවීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජයී යන සෑම අංගයකින් ම සිංහලයන් මේ අවධියේ පරිහානියට පත්ව සිටියහ.

1880 මැයි 17 වැනි දා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණියේ ය. එතුමාත් රුසියන් ජාතික බ්ලෙවෙස්කි මැතිනියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේ දී තිසරණ සරණගත උපාසක උපාසිකාවන් වීමෙන් අනතුරුව ඇරැඹි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඩේවිඩ් හේවාවිතාරණයන්ගේ දිවියෙහි ද හැරවුම් ලක්ෂයක් කළේ ය.

සෙන්පති ඕල්කට්තුමා පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා “සරසවි සඳරැස” පුවත්පත අරඹා බෞද්ධ ප්‍රබෝධය උදෙසා ගත් වෑයම තරුණ හේවාවිතාරණයන් තුළ පැවැති ජාත්‍යාලයට ද, දේශානුරාගයට ද, නව ජීවයක් ගෙන දුණි. එම යටත්විජිත යුගයේ ලාංකිකයකුට ලද හැකි උසස්ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරෙන් ද අස් වූ හෙතෙම 1830 දී පරම විඥානාර්ථ සමාගමට බැඳුණි.

1886 ජනවාරි 12 දින ගෘහස්ථ ජීවිතය, සිය ජාති හිතෛෂී ශාසනික කටයුතුවලට බාධාවක් බැවින්, මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව අනගාරික දිවියට පිවිස බ්‍රහ්මචාරී දිවියක් ඇරැඹීය. එතැන් පටන් දොන් ඩේවිඩ් යන නම අතහැර ‘අනගාරික ධර්මපාල” නම භාවිත කරන්නට විය.

මේ අවධියේ දී ධර්මපාලතුමන් කළ ප්‍රමුඛ කාර්යයන් වූයේ ඕල්කට්තුමා සමඟ ලක්දිව පුරා ගමන් කරමින් එතුමාගේ ව්‍යක්ත කතා සිංහලයට පරිවර්තනය කිරීමයි. එම දේශනාවන් මෙන්ම ගම් නියම් ගම් සිසාරා සිදුකළ සංචාරයේ දී අත්දුටු සිංහල බෞද්ධ ජනයාගේ අසරණ, පරාධීන ස්වභාවය ධර්මපාලතුමාගේ හද කම්පා කළේ ය. එමෙන් ම සිය හදෙහි ඇවිළෙමින් තිබූ දේශාභිමානී හැඟීම් නව ජවයකින් පුබුදුවන්නට එකී අත්දැකීම් සමත් විය.

ප්‍රථම වරට ජපානයට

ජපන් බෞද්ධයන්ගේ ගෞරවනීය ඇරියුම පිට විශේෂ ධර්මදූත ගමනක් ලෙසින් ඕල්කට්තුමා සහ අනගාරික ධර්මපාලතුමා 1889 දී ජපන් රටට ගියහ. එහිදී මිෂනාරි දුර්මත දුරු කරමින් මිෂනාරී බළමුළු දෙදරවමින් දේශනාවන් පැවැත්වූ ඔවුහු ජපානයේ විශිෂ්ට බෞද්ධ පුනරුදයක් ඇති කළහ.

එකල පරම විඥානාර්ථ සමාගම මඟින්, බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීම පිණිස සිදු කෙරුණු මහත් කාර්ය භාරයන් වැදගත් කොටසක් ඉටු කෙරුණේ ධර්මපාලතුමන් අතිනි. විශේෂයෙන් ම කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, පන්නිපිටිය ධර්මපාල වැනි ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාඨශාලා ලක්දිව පුරා පිහිටුවීමෙහිලා ධර්මපාලතුමන්ගෙන් ඉටු වූයේ පුරෝගාමී මෙහෙවරකි.

බුද්ධගයාව බේරාගැනීමේ සටන

අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය මුළුමනින් ම වෙනස්වීමට පටන්ගත්තේ බුද්ධගයාවේ වජ්‍රාසනය වන්දනා කළ මොහොතේ සිට ය. ඒ 1891 දී ය. බුද්ධගයා වජ්‍රාසන භූමිය මිසදිටු මහන්තා විසින් ආක්‍රමණය කොට තිබීම දුටු මෙතුමා බලවත් කම්පනයට පත්විය. සංවේගයට පත්විය.

එතුමාගේ සිහිනය බවට පත්වූයේ මිසදිටු මහන්තාගෙන් බුද්ධගයාව බේරාගැනීමයි. එතුමා තථාගත වජ්‍රාසනය මත නළල තබා එහිදී වැඳ බුද්ධගයා බෞද්ධ උරුමය සුරැකීම පිණිස දිවි හිමියෙන් කැපවීමට ස්ථිරසාර අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ ය. එම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නය සඵල කර ගනු පිණිස 1891 දී විද්‍යෝදය පිරිවෙනේ දී අති ගෞරවාර්හ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් “මහාබෝධි සමාගම” ඇරැඹීය.

බුද්ධගයාවේ පමණක් නොව සමස්ත දඹදිව ම සම්බුද්ධාලෝකය පතුරුවා හැරීමෙහි නියුක්ත වූ ධර්මපාලතුමා බරණැස ඉසිපතනයේ මූලගන්ධි කුටි විහාරය ද කල්කටාවේ ධර්මරාජික විහාරය ද ඉදිකරවා බුදු සසුනට පිදීය.

සිංහල ජාතිය අභිමානවත් අදීන ජාතියක් බවට පරිවර්තනය කිරීම උදෙසා 1908 දී “සිංහල බෞද්ධයා” සතිපතා පුවත්පත ආරම්භ කළේ ය. එහි ප්‍රධාන කර්තෘ පදවිය දරමින් සිංහල බෞද්ධයාගේ භෞතික ආධ්‍යාත්මික සමෘද්ධිමත් බව පිණිස ද මෙලොව පරලොව යහපත පිණිසද, අනර්ඝ උපදේශන මාලාවක් සැපයුවේ ය. ජාතිය, ආගම, ආර්ථිකය ආදී සියලුම අංශ සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ විශිෂ්ට දැක්මක් ධර්මපාලතුමා එළි දැක්වූයේ සිංහල බෞද්ධයා පුවත්පතේ ‘දැනගත යුතු කරුණු’ විශේෂාංගය තුළිනි.

ජාතිය නඟාසිටුවීමේ යුග මෙහෙවරේදී ධර්මපාලතුමා භාවිත කළ අනෙක් සාධනීය ක්‍රමවේදය වූයේ ලක්දිව ගම් දනව් නගර සිසාරා සැරිසරමින් සැම සිත් වසඟ කරනා අයුරින් සිය දේශනා පැවැත්වීම ය. 1912 දී ඇරැඹි මේ සත්කාර්යයන් සඳහා “ශෝභන මාලිගාව“ නම් විශේෂ රථය ද යොදා ගැනිණි.

නින්දෙන් පිබිදුණ සිංහලයා

එතුමා පටන්ගත් විප්ලවය සැබැවින් ම පරම අවිහිංසාව මුල්කරගත් එකක් විය. එතුමාගේ වාග් ප්‍රහාරය එල්ල වූයේ කිසිවකුට පීඩාවක් එල්ක කිරීමට නොවේ. බොරු නින්දේ වැටී සිටි ජාතියක් අවදි කිරීමේ උදාර පරමාර්ථයෙනි.

එහිදී ලක්වාසීන්ට කස පහර තලන්නාක් මෙන් වේගයෙන් කතා කළේ ය. දැඩි ස්වරයෙන් කතා කළේ ය. සිංහලයන්ගේ කුසීතකම ගැන එතුමා දෝෂාරෝපණය කළේ මෙසේයි.

“අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදා ගැනීමයි නේ. ඉතින් කොහොමද දියුණු වෙන්නේ.”

බටහිර විලාසිතාවන්ට අනුගතව අන්ධානුකරණයෙන් ක්‍රියා කළ සිංහලයාගේ අලසකම හා ප්‍රමාදය එතුමා තදින් පිළිකෙව් කළේ ය. පුද්ගල තරාතිරම පසෙකලා කොතරම් උසස් සම්මත කෙනකු වුවත්, තැන නොතැන වුවත් අවස්ථාව කෙබඳු වුවත් ඔහු පරගැතියකු නම් ඔහුව නිර්දය ලෙස විවේචනය කළේ ය. මේ අනුව ලාංකිකයන්ගේ නොමනා හැසිරීම් හා ක්‍රියා කලාපයන් නිසා අනගාරික ධර්මපාලතුමාගේ වාග් ප්‍රහාරයට ගොදුරු නොවූ කෙනෙකු නැති තරම් ය. තම ඥාතීන්ට කියා මේ සම්බන්ධයෙන් අමුතු විශේෂයක් නොදැක්වීය.

අවසන් පැතුම

එම දෙසුම් නිසා නින්දෙන් පිබිදී සිංහලයා සංකර, පරගැති සිරිත් අතහැර දමා සිංහල ඇඳුම් අඳින්නටත්, සිංහල නම් භාවිත කරන්නටත්, සිංහල බෞද්ධයන් ලෙස සිතන්නටත් හුරු පුරුදු වූහ.

ජාතියක් ස්වාධීන වන්නට නම් ආර්ථික සමෘද්ධිමත්භාවය ද අත්‍යවශ්‍ය සාධකයක් බව මැනවින් පසක් කළ ධර්මපාලතුමා ශිල්පීය ඥානය ඉහළ නංවන්නට ද දේශීය කර්මාන්ත සංවර්ධනයට ද මංපෙත් විවර කළේ ය. සිංහල තරුණයන්ට ශිෂ්‍යත්ව ලබාදී ජපානයට යවා පේෂ කර්මාන්තය, පෝසිලේන් පිඟන් සෑදීම ආදී ශිල්පීය පුහුණුව ලබා දුන්නේ ය. එපමණක් නොව ඔවුන් පුහුණුව ලබා ආපසු පැමිණි පසු ඒ ඒ ක්ෂේත්‍රයන්හි කර්මාන්තශාලා අරඹා ආර්ථිකය සවිමත් කරවන්නට ද කටයුතු සැලැස්වීය.

“සිරි දේවමිත්ත” නමින් උතුම් පැවිදි බව ලබා 1933 ජනවාරි 16 වැනි දා බරණැස ඉසිපතනයේ මූලගන්ධි කුටි විහාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. උපසම්පදාවෙන් දෙමසකට පසු ගිලන් බවට පත් උන්වහන්සේ 1933 අප්‍රේල් 29 වැනි දා අපවත් වූහ. උන්වහන්සේගේ අන්තිම ප්‍රකාශය

“නැවත විසිපස් වරක් වත් ඉපිද බුද්ධශාසනය දියුණු කරන්න ලැබේවා” යනුයි.