Print this Article


සංඝ සෝභන ගුණයෙන් යුතු කනංකේ විමලඤාණ හිමි

සංඝ සෝභන ගුණයෙන් යුතු කනංකේ විමලඤාණ හිමි

කනංකේ රාජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව ශී‍්‍ර විජයාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති රාජමහාවිහාර පිරිවෙනේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රපති කනංකේ විමලඤාණ හිමියන් අසූහත් විය සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමේ පින්කමක් ඔක්තෝබර් මස 06 වැනි දින කනංකේ රාජමහා විහාරස්ථානයේ දී සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මාතර, වැලිගම, කනංකේ ගමේදී 1936.10.06 වැනි දින ජන්ම ලාභය ලැබූ මේ පින්වත් කුලකුමරු එවකට කනංකේ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී ඤාණාලෝක නාහිමිගේ හා පැනෑටියන ශ්‍රී චේතියාරාමාධිපතිව වැඩ සිටි පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1949.03.10 වැනි දින කනංකේ විමලඤාණ නමින් සසුන් ගත වී ඇත.

ශාසනික ජීවිතයකට අවශ්‍ය මූලික බණ දහම් වත් පිළිවෙත් ප්‍රගුණ කරගත් විමලඤාණ සාමණේරයන් වහන්සේ 1957.06.05 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ දී අති උතුම් උපසම්පදාවට පත්වූහ. දක්ෂ ගුරුවරයකු වශයෙන් සේවයේ යෙදී සිටිය දී ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද හිමිකර ගෙන ඇත. උන්වහන්සේ විසින් ආරම්භ කර කාලයක් අක්‍රියව පැවති කනංකේ රාජමහා විහාර පිරිවෙන 1992 දී නැවත ආරම්භ කළේ ය. ශාසනයේ උන්නතිය සඳහා දැන උගත් ක්‍රියාශීලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් ශාසනයට ලබාදීමට ද සමත් වී තිබේ. කනංකේ විමලඤාණ හිමිපාණන් වහන්සේට දිගාසිරි හා නිරෝගී සුව ලැබේවා