Print this Article


බෝසත් ගුණයෙන් හෙබි මඩිහේ පඤ්ඤාසීහ මහනා සමිඳු සිරිත

බෝසත් ගුණයෙන් හෙබි මඩිහේ පඤ්ඤාසීහ මහනා සමිඳු සිරිත

2023 සැප්තැම්බර් 08 වැනි දිනට යෙදුණු අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන්ගේ 20 වන වර්ෂ පූර්ණ ගුණානුස්මරණය නිමිත්තෙනි

මෑත කාලීන සංඝ ශාසනය තුළ පහළ වූ ඉතා ම දුර්ලභ මාණික්‍යයක් බඳු වූ මඩිහේ මහනාහිමිපාණන්, ‘උතුම් ස්වාමීන් වහන්සේ නමක් යනු මෙබඳු කෙනෙකැ’ යි හුවා දැක්විය හැකි තරමේ පරමාදර්ශී චරිතයකින් ශෝභමාන වූහ. උන්වහන්සේ සිල්වත්කමේ ප්‍රතිමූර්තියකි; කරුණා පුංජයකි; එමෙන් ම ඍජු බවේත් එඩිතර බවේත්, සංකේතයකි.

අතිපූජ්‍ය වේරගම්පිට සිරි රේවත මාහිමිපාණන් වහන්සේ යටතේ, කුඩා වියෙහි දී ම පැවිදි බිමට පත් මඩිහේ පඤ්ඤාසීහ සාමණේරයන් වහන්සේ, පැවිද්දකු විසින් උගත යුතු ‘හෙරණ සික, දින චර්යාව, පිරිත් පොත’ ආදී බණ දහම්, ඉතා මැනැවින් හදාළහ. පැවිදි වී මාස හතකට පසුව, උන් වහන්සේ බම්බලපිටිය සිරි වජිරාරාම පින් බිමට පැමිණෙන්නේ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමිපාණන් වහන්සේ වේරගම්පිට මාහිමිපාණන්ගෙන් කළ ඉල්ලීමක් අනුව ය. එහි දී මඩිහේ පඤ්ඤාසීහ සාමණේරයන්, පැළෑණේ වජිරඤාණ මාහිමිපාණන් ගේ ශිෂ්‍යයකු ව උන්වහන්සේ යටතේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යාපනයත්, භික්ෂු ජීවිතයට අදාළ පුහුණුවත් ඉතා හොඳීන් ලබා ගනිති.

අප යම් ගුරුවරයකු යටතේ ලබන පුහුණුව, ශික්ෂණය, නිවැරැදිව ම ලබා ගැනීමේ වටිනාකම කොතරම් ද යන වගට මඩිහේ මාහිමියන්ගේ චරිතය දෙස් දෙයි. උන්වහන්සේ පසු කලෙක ලෝකය වටා ධර්ම සංචාරයෙහි යෙදෙමින්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැනි ලෝ-සුපතළ මහා පුණ්‍යභූමියක් බිහි කරමින්, රාජ්‍ය නායකයන්ට පවා අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින්, මහා භික්ෂු ගණයකට උදාර නායකත්වය දෙමින් කටයුතු කිරීමට අවශ්‍ය පෞරුෂය, දැනුම, තැන්පත් බව ලබා ගත්තේ ශ්‍රේෂ්ඨ ගුරු ඇසුර නිසාවෙනි.

වයස 42 වන විට උන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ධුරයට තෝරා පත් කරගනු ලබන්නේ, උන්වහන්සේ එවකට ඒ සඳහා සිටි සුදුසු ම ස්වාමීන් වහන්සේ වූ නිස යි. මහානායක ධුරයට පත් වී උන්වහන්සේ පළමුවෙන් ම සිදු කළ කටයුත්ත වන්නේ, විවිධ කොටස්වලට බෙදී තිබූ අමරපුර නිකාය එක්සත් කිරීම යි. පසු කලෙක උන්වහන්සේ එම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ ප්‍රථම උත්තරීතර මහානායක ධුරයට ද පත් වූහ.

සිංහල ජාතියේ දියුණුව වෙනුවෙන් පුදුම තරම් කැපවුණු මහනාහිමිපාණන් නිතර ම පැවැසූ වදනක් වූයේ,

“අනේ සිංහලයිනි, සමඟි වන්න. සිංහල සමඟිය සිංහල - දෙමළ - මුස්ලිම් ජාතික සමඟියේ පදනම යි” යන්න ය. මඩිහේ මහනාසමිඳුන් සැබෑ ජාත්‍යාලයෙන්, නිස්සරණධ්‍යාශයයෙන්, ලාභාපේක්ෂාවකින් තොර ව ක්‍රියා කළ ආකාරය වත්මනේ ක්‍රියාත්මක ඇතැම් ඊනියා ජාතිකවාදී සංවිධානවලට සහ පුද්ගලයන්ට හරිමඟ පෙන්වන්නකි. උතුරු - නැඟෙනහිර ජාතිවාදී ප්‍රශ්න විසඳන්නට නම්, සිංහල පවුල් ඒ පළාත්වල පදිංචි කරවීම සුදුසු බවත්, හැම ජාතියකට ම ලංකාවේ සුහද ව වාසය කරන්නට අවස්ථාව සැලැසිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. උන් වහන්සේගේ උපදෙස් පිළිපැද්දේ නම්, අද ඇති වී තිබෙන බොහෝ ජනවාර්ගික ගැටලු ඇති වන්නේ නැත.

මහානායක මාහිමිපාණ-කෙනකු වුවත්, කුඩා ළමයකු තරමේ අහිංසක කමක්, කරුණාබර හදවතක් උන්වහන්සේ සතු විය. මහරගම ධර්මායතනයෙහි දී අප ඒ දිනවල හැමදා ම දුටු දෙයක් වූයේ, කූඹින්ට කන්නට කියා තමන් වහන්සේ වැඩ සිටි පුටුව අසල ටීපෝව මත උන් වහන්සේ සීනි ටිකක් දමා තිබීම යි. හිස මඳක් ඇල කරගෙන, කරුණාබර මුහුණින්, නමුත් ප්‍රතාපවත් ශරීරයෙන්, අතිශය සංවර සංසුන් ගමනින් උන්වහන්සේ වැඩම කරන අයුරු අදටත් මැවී පෙනෙයි. අවවාදයටත් වඩා තම ජීවිතයෙන් ම තව කෙනකුට හැදෙන්නට උන් වහන්සේ ලබා දුන්නේ ආදර්ශයකි.

සිල්වත් බවින් අගතැන්පත් වූ මඩිහේ මාහිමියන්, සවස් යාමයේ දී පිරිකරක් වශයෙන් හෝ පිළිගන්වන කිරිපිටි පැකැට්ටුවක්වත් අතින් නො ඇල්ලූහ. උපසම්පදා විනය කර්මයන් පැවැත්වෙද්දී, රෑ එළිවන තුරු සීමා මාලකයෙහි එක ම ආසනයෙන් වැඩ හිඳීන්නට තරම් අධිෂ්ඨාන ශක්තියක් උන් වහන්සේ සතු වී ය.

“මිනිහා නොහදා රට හදන්නට බැහැ - මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු”,

“මහණකම හොඳීන් කළොත් නිවන - වරදවා කළොත් නිරය” - මේ උන් වහන්සේ නිතර පැවැසූ ප්‍රකාශයන් දෙකකි.

ලෝකය වටා මහා ධර්ම සංචාරයක යෙදෙමින්, විවිධ රටවල බුදු දහම තහවුරු ව පිහිටන්නට අනුශාසනා කොට, යළි මවුබිමට වැඩම කළ පසු පැවැසූ වදන වූයේ, “ලෝකයේ හැම රටකට ම වඩා හොඳ රට ලංකාව බව” යි. ත්‍රිපිටකය මුල් වරට පරිගණක ගත කරන්නට කටයුතු ආරම්භ කළේ උන්වහන්සේ ලෝකයේ නව ප්‍රවණතාවන් පිළිබඳ ලබා ගත් අවබෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි.

අදටත් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි මාසික සීල සමාදානයේ පන් දහසකට අධික පිරිසක් සහ වෙසක් පොසොන් දිනවල දස දහසකට අධික පිරිසක් සිල් සමාදන් වන්නේත්, දහම් පාසලෙහි අට දහසකට අධික ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේත්, මඩිහේ මහනාහිමිපාණන් දැමූ අඩිතාලම නිසාවෙනි. උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද පාසලක් අදටත් යාපනයේ ‘මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලය’ නමින් ක්‍රියාත්මක වෙයි.

අප සියලු දෙනාමත්, නිල නොලත් සඟ රජුන් ලෙස විරුදාවලි ලැබූ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය හදාරා, ඒ මතින් අපේ ජීවිත ශෝභමාන කර ගනිමු, ඔපවත් කර ගනිමු. බෝධිසත්ත්ව චරිතාදර්ශයෙන් පූජනීය වූ මඩිහේ මහ නාහිමිපාණන් වහන්සේට උතුම් සම්බෝධිය සාක්ෂාත් වේ වා...!

***************

බුදුකුරු මඩිහේ මහනා සමිඳු

උතුම් බුදු බව පතා සසරේ
යළි යළිත් හෙළ බිමේ ඉපදී
ලොවට සෙත සලසන්න කුළුණින්
ජනිත වූ බුදුකුරු සමිඳුනේ

මඩිහේ මහනා සමිඳුනේ
පුදමු පා යුග බැතියනේ

හිමි මුවින් නිරතුරුව වදහළ
මිනිසා හදා රට සැදිය යුතු
රුවන් කියමන සැම දනන් හද
නිදන් කළ දැයේ මහ නැණවතු

මඩිහේ මහනා සමිඳුනේ
පුදමු පා යුග බැතියනේ

හෙළ දෙස බස රැසට විපත් කල
කෙසර සිහ රජු ලෙසින් නොපැකිළ
අභීතව සිහ නාද පැතිරූ
නිල නොලත් සඟ රජු ය හිමි සඳ

මඩිහේ මහනා සමිඳුනේ
පුදමු පා යුග බැතියනේ

සසුනඹර දිදුලන පහන් තරු
සහස් ගණනින් ලොවට පුද කළ
මහා පින්කෙත ඔබ ය සමිඳුනි
වඩිනු මැන සිරිලකට මතු මතු

මඩිහේ මහනා සමිඳුනේ
පුදමු පා යුග බැතියනේ

***************

මඩිහේ මහනා හිමි මහිම

විසි වසරකට පෙර
නිමා කළ දිවි මෙහෙවර
මඩිහෙ මාහිමිවර
සිහි කරමු අපි වෙමින් බැතිබර

සිල් තෙද ගුණ දිලුණ
පැනසර ගුණෙන් සුනිපුණ
මහණකම හෙබැවුණ
වඳීමි පදසර මහිමි සඳු වුණ

මිනිහා හදා මිස
හදනු බැරි රට කිසි ලෙස
වදහළ සමිඳු බස
සිතමු ගැඹුරින් නඟා ජන ගොස

හැර අසමඟිය පිල්
රැක නිරතුරු ව පන්සිල්
නො ම ගෙන සිරිත් බොල්
හදමු මේ රට එයට මේ කල්

කුලුණු මෙත් දහරින්
මුදු මොළොක් බස් වහරින්
කී දෑ අනුසරින්
පෙනේ මහිමි ගෙ මහිම විතරින්

ජාතික සමඟියට
දැල්වූ මහරු එළි වැට
හැම දෑ නඟනුවට
තනන මං විය එක රටක් කොට

රට විපත දැක්කම
නැඟිණි හිමි හද කැක්කුම
නායකයො ඔක්කොම
නො සැලැකූ නා සමිඳු රන් කෙම

රට යවන හරි අත
ධර්මවිජය යි පිළිවෙත
නො ගිය ඒ මං පෙත
ඉතින් දැන්වත් යමු ද හිතවත

අද සමිඳු නැති මුත්
හැම දෙන එ බස අගයත්
නැති පාඩුව මහත්
කරමු මාහිමි මෙහෙය සුපවත්

සසුනට පුන් සඳු ය
මෙ දැයට පහළ නෙතිඳු ය
එකසර කෙසරිඳු ය
මඩිහෙ අප මහා නා සමිඳු ය