Print this Article


දරුවන්ට පාඩමක්

දරුවන්ට පාඩමක්

අටලෝ දහම අනුව ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යන සියල්ලට අපට මුහුණ දීමට සිදුවේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ මේ සියල්ල සම ව විඳීමට පුරුදු පුහුණු විය යුතු බවයි. එහෙත් අද සමාජයේ බොහෝ දෙනා සතුටෙහි දී ඉතා උද්දාමයට පත්වීමත්, දුකෙහි දී කණගාටු වී මන්දෝත්සාහී වීමත් අපට දක්නට ලැබේ.

පසුගිය දා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමත්, ආසියනු කුසලාන ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරාජය වීමත් යන කාරණා දෙකට අප සමාජය මුහුණ දුන් ආකාරය පිළිබඳ විමසා බැලීමේ දී අටලෝ දහම ඉගෙන ගත්තාට යථාර්ථයට මුහුණ දීමට බොහෝ දෙනාට නොහැකි බව මනාව ප්‍රදර්ශනය විය.

විභාගයකින් මේ ලෝකයේ සිටින සියලු දෙනාම සමත්වීම කළ නොහැකි දෙයකි. යම් යම් දරුවන්ගේ හැකියාවන් හා කැපවීම් අනුව සරසවි වරම් ලැබීම හෝ නොලැබීම සිදුවෙයි. එහෙත් විභාගය අසමත්වීම ජීවිතය ම අසමත් වීමක් සේ සමහරු සිතති. විභාගය අසමත් වුව ද තවත් බොහෝ දේ මේ ලෝකය තුළ අපට කිරීමට ඇති බව අමතක නොකළ යුතු ය.

තරගයකින් දෙදෙනකුට හෝ දෙපිළකට ජය ගත නොහැකි ය. එක් කෙනකු හෝ එක් කණ්ඩායමක් පරාජය වීමත් අනෙක් කෙනා හෝ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සනාථන ධර්මතාවකි. එහෙත් බොහෝ දෙනා ජයග්‍රහණය ම පමණක් බලාපොරොත්තු වේ. අවසානයේ දී බොහෝ මානසික ආතතියකට ලක්වෙයි. බුදුරජාණන් වහන්සේ අපට අටලෝ දහම තුළින් කියා දුන්නේ මෙම අභියෝගවලට මුහුණ දෙන ආකාරයයි. අපිත් අපේ දරුවන්ට මේ පාඩම කියා දෙමු.